සා පෙළ විභාගයෙන් A – 9 හපන්නු 10,863 ක් 6566කට F- 9 යි

230

498 කගේ ප්‍රතිඵල අත්හිටුවයි
2,31,982 ක් උ. පෙළට සුදුසුකම් ලබති

සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් 10,863 ක් විෂයයන් 9 ටම ඒ සාමාර්ථ ලබාගෙන ඇත. විෂයයන් 09 ම අසමත් සංඛ්‍යාව 6566 කි.

විභාගය සඳහා පෙනී සිටි සිසුන් 3,31,982 ක් අතරින් මෙම පිරිස ඒ 09 ලබාගෙන ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. විභාග අපේක්‍ෂකයන් 498 කගේ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ද ඒ මහතා කීය.

අත්අකුරු මාරුවීම, ජංගම දුරකථන තබාගෙන විභාගය ලිවීම (26 ක්), හැඳුනුම්පත් නොමැතිවීම (318ක්) වැනි සිදුවීම් නිසා මෙම පිරිසගේ ප්‍රතිඵල අත්හිටුවූ බවත්, ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකින් පසු හැකි අයට ප්‍රතිඵල නිකුත් කිරීමටත්, වැරදි කළ බවට තහවුරු වන අයට විභාග තහනමක් පැනවීමට සිදුවන බවත් විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කොමසාරිස් ජනරාල්වරයට පැවසීය. විභාග ප්‍රවේශ පත්‍රය අත්සන් නොකළ සිසුන් පවා සිටින බව ද හෙතෙම කීවේය.

විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 2,31,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් සපුරා ඇති අතර එය සියයට හැත්තෑහතරයි දශම පහයි දෙකකි (74.52%)

ලබන දෙසැම්බර් 18 වැනිදා පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර විභාග ප්‍රවේශපත්‍රයක් නිකුත් නොකරන බවත්, විභාග අපේක්‍ෂකයන් සඳහා පැමිණීමේ ලේඛනයක් භාවිතා කිරීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment