කිතුනු බැතිමතුන් ඇතුළු සමස්ත රටවැසියන්ගේ හදවත් කම්පාකරවූ පාස්කු ප්‍රහාරයට අද (21දා) ට වසර හයක් සපිරේ.
2019 අප්‍රේල් 21 වන දින එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 273 දෙනකු ජීවිතක්‍ෂයට පත්වූ අතර තවත් පුද්ගලයෝ 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලුදෙනා ‘ඇදහිල්ලේ වීරයෝ’ (හීරෝස් ඔෆ් ෆේත්) ලෙස වතිකානුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය 18 වැනි දිනට යෙදුණු මහ සිකුරාදා දිනයේ දිවයිනේ සියලු දේවස්ථානවලට ආරක්‍ෂාව ලබාදී දේව මෙහෙයන් පැවැත්වූ අතර අද (21දා) දිනයේ ද පෙරවරුවේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ සියලු දෙව්මැඳුරුවල මළවුන් සිහිකරමින් සීනු හඬ නාද කරනු ලැබේ.
මීට අමතරව ජීවිතක්‍ෂයට පත්වූවන් සහ ඉන් පීඩාවට ලක්වූවන් සිහිපත් කරමින් අද (21දා) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් සහ මඩකලපුව සියෝන් යන දෙව්මැඳුරුවල විශේෂ දේව මෙහෙයන් පවත්වන බව කොළඹ අගරදගුරු මැඳුර පවසයි.
2019 අප්‍රේල් 21 වැනිදා මෙම ත්‍රස්ත ප්‍රහාරය සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස සිදුකරන ලදී. එදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට (පෙරවරු 9.12ට), ශ්‍රැන්ග්‍රිලා හෝටලයට (පෙරවරු 8.54ට), කොළඹ කිංග්ස්බරි හෝටලයට (පෙරවරු 8.47ට), කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට (පෙරවරු 8.45ට), කටුවපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයට (පෙරවරු 8.45ට), මඩකලපුව සියෝන් දේවස්ථානයට (පෙරවරු 9.10ට) මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වුණි. මීට අමතරව ටාජ් සමුද්‍ර හෝටලයට ප්‍රහාරය එල්ල කිරීමට භාරව සිටි පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් නවාතැන්පළේදී (දහවල් 1.30 ට) බෝම්බය පුපුරුවාගෙන තිබිණි. දෙමටගොඩ මහවිල පාක් හි පදිංචි ව්‍යාපාරික මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම්ගේ නිවසේදී ඔහුගේ ලේලිය පිපිරවීම සිදුකරගෙන තිබුණේ එදින දහවල් 2.25 ට පමණය.
නෝමන් පලිහවඩන, චමින්ද සිල්වා