පැතූ සෙනෙහස නොලැබුණැයි පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි

138

අගලවත්තේ පදිංචි 33 හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් යතුරුපැදියක නංවා කටු පොල් කැලයකට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

පැතූ සෙනෙහස නොලැබුණැයි පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත මර්වින් සමරනායක මාවතේ පදිංචි සිය විවාහයෙන් දික්කසාද වූ 33 හැවිරිදි ඩී.ඩී. මධුශානි නැමති තරුණියකි. ඇය විවාහක කාන්තාවක් වන අතර පසුව විවාහයෙන් දික්කසාද වී අගලවත්ත ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සමගින් ඇසුරක් පවත්වා තිබේ. ඇය ඉකුත්(18)දා තම පෙම්වතා හමුවී ඇති අතර දෙදෙනාම යතුරුපැදියක නැගී අගලවත්ත මුලටියන දොළහේන කටු පොල් වගාවක් සහිත ප්‍රදේශයකට ගොස් තිබේ. එහිදී ඇතිවූ බහින්බස් වීමක් මත තරුණයා විසින් තරුණියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරයි. ගෙලෙහි කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිටි තරුණියගේ සිරුර දුටු ප්‍රදේශවාසීන් මතුගම මූලස්ථාන පොලිසිය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව මතුගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. උඩවත්ත මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබේ. තරුණිය ඝාතනය කර ඇතැයි සැක කරන ඇගේ පෙම්වතා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
මතුගම විශේෂ – අනුර ජයසේකර


advertistmentadvertistment