පාරම්පරික පොල්තෙල් නිෂ්පාදන සංගමයේ කැඳවුම්කරු
පසුගිය වසරේ (2024) මුල් මාස 10 තුළ පිරිපහදු නොකළ තෙල්, පොල්තෙල් නමින් ආනයනය කර රට පුරා අලෙවි කිරීමෙන් රජයට රුපියල් බිලියන 05ක හෙවත් කෝටි 5000ක බදු ආදායමක් අහිමිකර ඇති බවත්, එම මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
පිරිපහදු නොකළ තෙල් කිලෝ මිලියන 39,000ක් මෙසේ ආනයනය කර මෙම බදු වංචාව සිදුකර ඇති බවත් මෙම වංචාව සිදුකර ඇත්තේ සීනි, ලූනු, පොල්තෙල් වැනි බදු වංචා කළ පුද්ගලයන්ම වීම විශේෂත්වයක් බවත්, ඔවුන් එම වංචා කළ මුදල් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හෝ අයකර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පෙරේදා (04දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම ආනයනික තෙල් රටේ අලෙවි කිරීමේදී ද කිසිම අවස්ථාවක බිල්පත්වල සටහන් නොවන නිසා බදු අය කර ගැනීමක් සිදු නොවන බවත් පිටකොටුවේ වෙළෙඳුන් කිහිප දෙනෙකු මාර්ගයෙන් එම තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුවන බවත් ඒ මහතා කීය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට සියයට 18ක බද්ද පනවා ඇතත් ආනයනික තෙල් සඳහා බද්ද ඉවත් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති නිසා මෙරට පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට අයත් ආයතන සියයට 90ක් වැසී ගොස් ඇති අතර, එහි සේවය කළ ලක්ෂ හතරක පමණ පිරිසකට රැකියා අහිමිවී ගොස් ඇති බවත් ඔහු කීය. බොහෝ ආයතන හිමිකරුවන් බංකොලොත් වී ඇති අතර එම ආයතන මූල්‍ය ආයතනවලට සින්නවීමට නියමිත බවත් ඔහු කීය.
රජයට බදු නොගෙවා වංචා කළ පිරිසගෙන් එම බදු අයකර ගත නොහැකි නම් ඔවුන් සතු දේපළ හෝ පවරාගෙන එම බදු අයකරගන්නා ලෙසත්, එමෙන්ම දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ යුතු බවත් ඔහු කීය.
චමින්ද සිල්වා