ලංකාවට ගෙනා කුඩු ජාවාරම්කරුවකුගේ ජීවිතාරක්‍ෂාව පතා මවගෙන් රිට් පෙත්සමක්

174

සිය පුත්‍රයාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව සැඟවූ ආයුධ පෙන්වීමේ මුවාවෙන් පිටතට රැගෙන ගොස් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් දහවල් කාලයේදී මිස අඳුරු වැටුණු පසු ඔහුව සිර මැදිරියෙන් පිටතට නොගන්නා ලෙසට හා ඔහුගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා කුප්‍රකට හෙරොයින් ජාවාරම්කරුවකු හා අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන සලිදු මල්ෂික ගුණරත්න නමැත්තාගේ මව ඊයේ (14) අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) ව්‍යවස්ථාව අනුව අධිකරණයක් හමුවේදී වැරදිකරුවකු වූ පුද්ගලයකුට පවා නීතිය විසින් නියම කරන ලද නියමිත ක්‍රමවේදයකින් තොරව තම ජීවිතය අහිමි නොකර ගැනීමේ අයිතිය ඇති බැවින් කිසිදු අවස්ථාවකදී සිය පුත්‍රයාගේ මාංචු නොගලවන ලෙසට ඖෂධ අධිමාත්‍රා ලබාදී ඔහුගේ මරණය සිදු නොකරන ලෙසටත් පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන ලෙසත් ශිරානි මල්කාන්ති ප්‍රනාන්දු නමැත්තිය එම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සැකකාර සිය පුත්‍රයාගේ දෑත පිටුපසට කර මාංචු දමා දිවීමට නොහැකි වන සේ පාදවලට ද දම්වැල් යොදන ලෙසටත්, පය ලිස්සා බිමට වැටී මියගිය බවට කරුණු දැක්විය හැකි බැවින් ඔහුව තට්ටු ගොඩනැගිලිවලට හෝ කඳු මුදුන්වලට රැගෙන නොයන ලෙසටත් නියෝගයක් කරන්නැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම මගින් පෙත්සම්කාරිය ඉල්ලා තිබේ.

මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මරණය සිදුවූ අන්දමින් විමර්ශනවලට රැගෙන යෑමේදී වෙනත් පුද්ගලයන් විසින් වෙඩි තැබූ බවට පැවසිය හැකි බැවින් එසේ නොවීමට වගබලා ගන්නා ලෙසට නියෝගයක් කරන ලෙසත් පෙත්සම්කාරිය එමගින් ඉල්ලා තිබේ.

මෙම රිට් ආඥා පෙත්සම අද (15) සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment