මේ වන විට මේ රටේ ජනගහනයෙන් ලක්‍ෂ ගණනාවක්ම ශ්‍රී දළදා වන්දනා ආගමික මෙහෙයුමට සම්බන්ධ වී සිටිති. සිරි දළදා වන්දනාව සඳහා පෝලිම්වලට එකතු වන සියලුම බැතිමතුන්ගේ අදහස වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන සිය ජීවිතයේ එක් පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීමය. මේ ශුද්ධ වූ පරමාර්ථය සඳහා මේ වන විට මේ රටේ බොදු සමයේ මුදුන්මල්කඩ කිහිපයක්ම තිබේ. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉන් එකකි. ශ්‍රී මහ බෝ සමිඳුන් තවත් එකකි. රුවන්මැලි මහා සෑය තවත් එවැනි ශුද්ධ වූ වස්තුවකි. මේ රටේ දුකට පත් ජනයා සිය මානසික ආතතිය තුරන් කර ගැනීම සඳහා තම තමන්ගේ ආගම්වල ශුද්ධ ස්ථාන වෙත රොක් වෙති.
සිරි දළදා වන්දනාවට සහභාගි වෙමින් සිටි පිරිස අතර හටගත් එක් සිද්ධියක් මේ මොහොතේ දී සමාජ මාධ්‍ය මගින් හුවා දක්වනු ලැබේ. වීඩියෝවකින් දැක්වෙන පරිදි සිරි දළදා වන්දනාවට සහභාගි වන පෝලිමකට කිසියම් පුද්ගලයකු ඇතුළු කළ යුද හමුදා සෙබළකුට පොලිස් නිලධාරියකු විසින් ඉතා පහත් ලෙස බැණ වදින ආකාරය එම වීඩියෝව මගින් පෙන්වයි. මේ සිද්ධිය සිරි දළදා වන්දනාව නමැති ක්‍ෂීරසාගරයක් බඳු ක්‍රියාවලියට හෙළන ලද කෙළපිඩකි. මේ රටේ යුද හමුදාව රටේ ඒකීයත්වය පතා විශාල යුද්ධයක නිරත විය. එහිදී යුද හමුදා සෙබළු දහස් ගණනින් මියගොස් තවත් දහස් ගණනක් අබ්බගාතයන් බවට පත්වූහ. එවැනි කැප කිරීමකට දායක වූ යුද හමුදාවේ සෙබළකුගේ කිසියම් වරදක් (සුළු හෝ) විසඳන ක්‍රමයක් තිබේ. එය මුළු රටටම පෙනෙන පරිදි යුද හමුදා සෙබළාට පහත් ලෙස බැණ වැදීම නොවේ. යුද හමුදාව සහ පොලිසිය යන දෙකම මේ රටේ සාමය පවත්වාගෙන යෑමට තුඩු දෙන්නා වූ වැදගත් ඒකක වෙති. ඒ අනුව එක් ඒකකයක් කෙරෙහි වෘත්තීයමය ගෞරවයක් අනෙක් ඒකකය තුළ තිබිය යුතුය. යුද හමුදා නිලධාරියා අවැඩක් කළේ නම් පොලිසියේ රාජකාරිය වන්නේ රටටම ඇසෙන පරිදි ඔහුට බැණ වැදීම නොව ඔහු සම්බන්ධව ඉහළට දැනුම් දීමයි. එයට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන මේ රටේ ඇත. කිසියම් කාරණයක් සඳහා දසදහස් ගණනක ජනතාවක් නීත්‍යානුකූල ලෙස පෙළගැසී සිටින විට ඒ මැද්දට බැතිමතකු වේවා, අන් කවරකු හෝ වේවා බැස්සවීම සාමය කඩාකප්පල් කරන ක්‍රියාවක් විය හැකිය. එහෙත් ඔහු එවැන්නක් කරන්නට ඇත්තේ කවර සානුකම්පිත තත්ත්වයක් මතද? එය දන්නේ ඔහු පමණි. උත්තම ශ්‍රී දළදා වන්දනාව පැවැත්වෙන මේ දිනවල ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව (මෙම බැණුම් ඇසූ සෙබළා ද ඇතුළුව) කරනුයේ, කළේ මහඟු කැපකිරීමකි. ඔවුන් මහජනතාවට දක්වන ආදරය ළෙන්ගතුකම නිල ඇඳුම්වලට එහා ගිය මනුස්සකම ද දෝරේ ගලන්නේය. නීත්‍යානුකූල ක්‍රියාවකට නොගොස් මෝඩ රිළවුන් සේ කෑගසන්නට පටන් ගැනීම පොලිසිය වැනි මහජන ආරක්‍ෂාව සුරකින ආයතනයකට ගැළපෙන්නේ නැත. නිල ඇඳුමක් ලා ගත් නිලධාරියකුට (සෙබළෙකුට) ‘සිවිල්’ බලය දඩමීමා කරගෙන පොලිසිය මෙහෙම කරත්දී සාමාන්‍ය මහජනතාව ගැන කෙබඳු කතාද? යැයි කෙනකු සිතන්නට පුළුවන. පොලිසියට ඉවසීම හික්මීම පළමුව පුරුදු කළ යුතුය. එහෙත් හමුදා සෙබළා මෙහිදී කළ ‘ඉවසීම’ ගැන ඔහුව අගයන්නට මැලි නොවිය යුතුය. එහෙත් ඉවක් බවක් නැතිව කෑ ගැසීමෙන් පෙර කී පොලිස් නිලධාරියා මුළුමහත් පොලිස් දෙපාර්තමේන්තුවේම සායම දියකර ඇත. කුඩු ගැසීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කිරීම, අමානුෂික ලෙස මිනිසුන්ට පහර දීම, එසේ පහර දීමෙන් මිනිසුන් මැරීම වැනි කාරණා නිසා පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිටත් සිය නම ඉතා නරක ලෙස වණ කරගෙන ඇත. හැබැයි මේ වණ කිරීම කරගෙන ඇත්තේ නරක පොලිස්කාරයන් කිහිපදෙනකු විසිනි. පොලිස් දෙපාර්තමේන්තුවේ අනූදහසකට කිට්ටු කාර්ය මණ්ඩලයක් සිටී. මේ අනූදහසෙන් අසූනව දහසක්ම යහපත් පුද්ගලයෝ ය. ගම කන්නේ ඉතිරි දාහය.