ආණ්ඩුව හිරවෙලා!

1017

Whistle Blowers යනුවෙන් ජාතියක් මේ ලෝකයේ සිටියි. ජාතියක් යැයි කිව්වාට එය ජන වර්ගයක් නොවේ. ඔවුන්ගේ රාජකාරිය වන්නේ ළඟ එන විපතක්, දූෂණයක්, විපතක්, වංචාවක් වැනි අවකල් ක්‍රියාවක් ගැන මහජනතාවට දැනුම් දීම ය. වසර 2010 දී ජුලියන් ඇසෑන්ජ් නමැති විස්ල් බ්ලෝවර් කෙනෙක් ලොව පහළ විය. ඔහු අතිදක්ෂ කොම්පියුටර් හැකර් කෙනෙකි. 2010 දී ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ආරක්ෂක අංශවල පරිගණක පද්ධතියට රිංගා ගත් ජුලියන් ඇසෑන්ජ් ඇමරිකාව සහ වෙනත් රටවල් අතර හුවමාරු වූ කේබල් පණිවිඩ රැසක් එළියට දැමීමට පටන් ගත්තේය. ඇමරිකන් ආණ්ඩුව විවිධ අවස්ථාවල දෙන ලද දේශපාලන සහ යුද හමුදා ගේම් ගැන මේ කේබල් පණිවුඩවල සඳහන් විය.

ඇෆ්ගනිස්තාන සහ ඉරාක යුද්ධවල දී ඇමරිකාව කළ ඇතැම් වැරදි සහගත ක්‍රියා ගැන ද මේ කේබල් තුළ කරුණු තිබිණ. මේ අනුව ටික කාලයකට රෙද්දක් ඇඳගෙන පාරට බැසීමේ හැකියාවක් ඇමරිකන් ආණ්ඩුවට නැති විය.

කිසියම් රටක ආරක්ෂක ජාලය විසින් ආණ්ඩුවේ අනු දැනුම ඇතිව ගහපු ගේම් ගැන හෙළිවීම ඉතා නරකය. ඒ අනුව ජුලියන් ඇසෑන්ජ් විසින් කරන ලද්දේ අලුත බැඳපු ජෝඩුවක් නිදා ගන්නා ඇඳ එම ජෝඩුව පිටින් ම මහ පාරට ගෙනවුත් තැබීමය. හැබැයි මේ සිද්ධියෙන් පසු පලාගිය ජුලියන් ඇසෑන්ජ් වෙනත් රටකට අයත් තානාපති කාර්යාලයක සැඟවුණේ ය. ඉන් ස්වල්ප කලකට පසු අනුන්ගේ නරක පෙන්නුවාට ජුලියන් ඇසෑන්ජ් ද නරක මිනිහකු බව හෙළිවූයේ ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වූ බැවිනි. මේ නිසා ජුලියන් ඇසෑන්ජ් පිළිබඳ ජනතාව තුළ තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවිය. ඒ වනවිට ඔහු ජීවත් වුණේ ඔස්ට්‍රේලියාවේ ය. රාජ්‍යය රහස් ලීක් කිරීමට එරෙහිව ඔහු සම්බන්ධයෙන් නඩුවක් පැවරීම සඳහා ඇමරිකන් ආණ්ඩුව ඔහු එරටට පිටුවහල් කරන ලෙස ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලීමක් කළේය. ඒ වනවිට ස්ත්‍රී දූෂණ චෝදනාව හෙළි වීම නිසා ජුලියන් ඇසෑන්ජ් පසුවූයේ ද රෙදි නැතිව පාරේ යායුතු තත්ත්වයකය. ඔහු විශාල මානසික අගාධයකට තල්ලුවී තිබිණ. ඒ නිසා කවර හෝ වෙලාවක ඇසෑන්ජ් සියදිවි නසා ගැනීමට කල්පනා කළේය. මේ බව දැනගත් ඔස්ට්‍රේලියන් අධිකරණය ඇසෑන්ජ් පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඇමරිකන් ආණ්ඩුව මහ පාරට බැස්සවූ ජුලියන් ඇසෑන්ජ් අදටත් තැන තැන සැඟවෙමින් ජීවත් වෙයි. ඇමරිකාවට වෛර කරන විවිධ පාර්ශ්ව ජුලියන් ඇසෑන්ජ්ට සහයෝගය පළකරමින් ඔහු නඩත්තු කරයි. කිසිදු සුදනෙක් අප හිතන තරම් සුදු පාට නැත. ඔහු තුළ යම් ප්‍රමාණයක කළු පාටක් ද තිබේ. විස්ල් බ්ලෝවර් චරිතය රඟපාන වැඩි දෙනෙක් මෙවැනි කළු පැල්ලම් සහිත අය වෙති. පසුගියදා චැනල් 4 රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයක් නිසා ලොකු කලබලයක් ඇති විය. මේ වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණේ දැනට ස්විට්සර්ලන්තයට පැන ගොස් සිටින අසාඩ් මව්ලානා නමැත්තෙකි. ඔහු පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක යැයි කියන අතර පාස්කු බෝම්බය පුපුරවන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ යළි බලයට ගෙන එනු පිණිස යැයි වාර්තා චිත්‍රපටය මගින් කියා තිබිණ. ලංකාවට විශාල අපකීර්තියක් වූ මේ වාර්තා චිත්‍රපටයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා තිබුණේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. ඔහු සිංහල නොවන ජාතියකට අයත් බැවින් ජාති ද්‍රෝහියකු නොව දේශද්‍රෝහියකු ලෙස හැඳින්විය හැකිය. ඒ කතාව දිගට ම කියන්නට ගියොත් මේ පුදගලයාගේ නමද කීමට සිදුවේ. එබැවින් ඒ ගැන කතා කිරීම මෙතැනින් නවත්වනු ලැබේ. මේ අතර පසුගියදා විස්ල් බ්ලෝවර් අසාඩ් මව්ලානා ට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් මතුවිය. සයින්දමරුදු ප්‍රදේශයේ ජීවත්වන ඉංග්‍රීසි ගුරුවරියක් විසින් කියන පරිදි අසාඩ් මව්ලානා ඇය රවටා ව්‍යාජ ලෙස විවාහ කරගෙන ඇත. ඉන්පසු දින 10ක් පමණ තමාට ලිංගික අතවරවලට මුහුණ දීමට සිදුවූ බව ද ඇය කියයි. අසාඩ් මව්ලානා තමාට කළ ලිංගික හිරිහැරය සහ වංචා අඩංගු අභියාචනයක් ඇය විසින් ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිට භාර දී ඇත. චැනල් 4 වීඩියෝවට සහභාගි වීමෙන් පසු අසාඩ් මව්ලානාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අලුත් රස්සාවක් පවා දී තිබිණ. ඔහු දැනට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස සේවය කරයි. මෙවැනි රස්සාවලට හොඳ පඩි ගෙවනු ලැබේ. වෙනත් පහසුකම් ද තිබේ. අසාඩ් මව්ලානා තවත් චැනල් 4 චිත්‍රපට තුන හතරකට පෙනී සිටීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරට පත්වීමට පවා ඉඩ ඇත.

මේ අතර තවත් කුඩා කතාවක් කියමු. චැනල් 4 චිත්‍රපටයෙන් පසු පාස්කු බෝම්බය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ලක් රජය විසින් ඇමරිකාවේ FBI ආයතනයෙන් ඉල්ලනු ලැබ ඇත. එහෙත් FBI ආයතනය එය ප්‍රතික්ෂේප කර තිබේ. එම ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත් ලෙස පරීක්ෂණ පවත්වා ඇති නිසා අලුත් පරීක්ෂණ අනවශ්‍ය බව ඇමරිකාවේ මතය වී ඇත. එමතු ද නොව, ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය ඇමරිකාවේ FBI ආයතනය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව පරීක්ෂණයක් කර ඇති අතර සැකකරුවන්ගේ නම් ලිස්ට් එකක් ද ලක් රජයට භාර දී ඇත. දැන් එම සැකකරුවන් විශාල ප්‍රමාණයකට නඩු පවරා ඇති බැවින් අලුත් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ඇමරිකාවේ FBI ආයතනය යළි තහවුරු කර ඇත.

අපේ කාදිනල්තුමා හැම තිස්සෙම කියන්නේ පාස්කු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් පමුණුවන ලෙසය. මේ නිසා අපේ රජය එක තැනක හිරවී ඇත. එනම් ඇමරිකාව කියන පරිදි පරීක්ෂණයක් නොපවත්වා ඉන්නවාද? නැත්නම් කාදිනල්තුමා කියන පරිදි පරීක්ෂණයක් පවත්වනවා ද? යන සන්ධිස්ථානය තුළය.

advertistmentadvertistment
advertistmentadvertistment