පොළොන්නරුවේ හිටපු පොහොට්ටු-ශ්‍රීලනිප මන්ත්‍රීලා පිරිසක් එජාපයට එක්වෙති

88

බෙදෙන්න දෙයක් නෑ අපි එකතුවෙමු – එජාප සභාපති

පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා අපේක්‍ෂකවරුන් ඇතුළු පනහකට අධික පිරිසක් ඊයේ (14 දා) සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.

පිටකොට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට පැමිණි මෙම පිරිස එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අතින් සිය නව සාමාජික කාඩ්පත ලබාගත් අතර පසුව එම පිරිස අබේවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවකට ද එක් විය.

එහිදී අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“අද මෙතැනට පැමිණි ඔබ සියලු දෙනා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ ගැන මට සතුටුයි. නමුත් අපි කිසි කෙනෙක් පක්‍ෂ වශයෙන් බෙදී වෙන්විය යුතු නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය ලබාගත් දා සිට කියන්නේ අපි සියලු දෙනාම එකතුවෙමු කියලා. මොකද අපි සියලු දෙනාම එකතු වුණොත් පමණයි අපිට මේ රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. අපි මීට පෙර බෙදී වෙන්වී කටයුතු කළා. මැතිවරණවලට තරග කළා. නමුත් අවසානයේදී අපිට වුණේ බංකොළොත් රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්න. දැන් ඒ වුණ දේ වෙලා අවසානයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාරගත්තේ කිසි කෙනෙක්ට දොස් කියලා නෙමෙයි. එතුමා මීට පෙර රට පාලනය කළ නායකයන්ගේ වැරදිත් භාරගෙන ඒවා දැන් නිවැරදි කරමින් රට ඉදිරියට ගෙනයමින් තිබෙනවා.

කෙසේ හෝ ඉදිරියේදී අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුව තිබෙනවා. සපත්තු කුට්ටමට ඡන්දේ දුන් යුගය දැන් ඉවරයි. ඒ නිසා අපි අලුත් ගමනක් යා යුතුයි. ඒ වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ වෙනුවෙන් අරගෙන තිබෙනවා. ඔබ රටේ මහජනතාව වශයෙන් ඊට සහයෝගය ලබා දුන්නොත් මේ රට ආසියාවේත්, ලෝකයේත් දියුණු රටක් බවට පත්වන බව මට නම් සියයට සියයක් විශ්වාසයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පොළොන්නරුව දිස්ත්‍රික් නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ද සහභාගි විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment