තවම අඬන්න පටන් ගත්තේ නැහැ
බංකොලොත්භාවයට පත්වී තිබෙන රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට පත් කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට හදන අපි එකට මාලිමාවට මැයෙන් ගම්පහ නගර සභා පිටිය පැවති ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේය. එහිදී ඔහු මෙසේද පැවසීය.
නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න ඕනේ. තවම අඬන්න පටන් ගත්තේ නැහැ. මේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. සාමාන්‍ය පුරවැසියන් නොසැලකිල්ලට භාජනය කරමින් ඔවුන් රට පාලනය කරගෙන ගියා. දශක හතකට වඩා වැඩි කාලයක් ඔවුන් විරාජමානව මේ රට පාලනය කළා. ඒ පැරණි දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය යටතේ තිබුණු බලය සැප්තැම්බර් 21වැනිදා පොදු ජනතාව අතට මාරු වුණා. එම බල හුවමාරුවේදී විශාලතම පිම්ම අරන් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. එය සාමාන්‍ය බල හුවමාරුවක් නොවෙයි. අපේ රටේ දේශපාලන බලය තාත්තා, බිරිඳ, දුව පාලනය කරපු කාලයක් තිබුණා. තව කාලයක තාත්තලා පුතාලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක මාමලා බෑනලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක අයියලා මල්ලිලා අතේ දේශපාලන බලය තිබුණා. ඒ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු කරන්න මේ රටේ ජනතාව සමත් වුණා.
ඔවුන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමකට ලක්වේ යැයි ඔවුන් කිසිදා හිතන්න නැතුව ඇති. ඔවුන් හැමදාම හිතුවේ තමන්ගේ පවුලෙන් අනෙකාගේ පවුලට සිදුවන බල පෙරළියක් විතරයි. ඒ නිසා අද ඔවුන් විශාල වේදනාවකට, කෝපයට පත්ව සිටිනවා. මූණ කාගේද බලන්නේ නැතුව ටීවී එක දිහා බලාගෙන ඇහුවොත් මේ දවස්වල කියන්නේ එකම කතාවක්. මොකක්ද ඒ කතාව. සති තුනකින් ආණ්ඩුව වැටෙනවා කියලා. අවුරුද්දයි ආණ්ඩුව වැටෙනවා කියලා. මේ ආණ්ඩුවට පුරුදු නෑ කියලා. ලකුණු ගොඩයි, මූණු ගොඩයි, පාට ගොඩයි. හැබැයි එකම කතාව. එයාලට මේ පරාජය දරාගන්න බැහැ. ඒගොල්ලෝ පරාජයෙන් කම්පනයට පත් වී සිටිනවා. ගම්පහ දේශපාලන බලය හසුරවපු හැටි ඔබ දන්නවා. මිනුවන්ගොඩ පැත්තේ දේශපාලන බලය හසුරවපු අය අද ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. සමහරු හිතනවා මේ පාලනය බිඳ වට්ටන්න පුළුවන් කියලා. මේ රට ගොඩනැගීමකින් තොරව අපි බලය අත්හරින්නේ නැහැ.
සමහරු 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට මේ පරිවර්තනය දරාගන්න බැහැ. මේ පරිවර්තනය බිඳ දැමීමට ඒගොල්ලෝ කල්පනා කරනවා. ජනතාව කල්පනා කරන්නේ රට දියුණු කරන්නයි. ඒ නිසා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දය නොදුන් විශාල ප්‍රමාණයක් නොවැම්බර් 14 වැනිදා ඡන්දය ලබා දෙනවා. විපක්ෂයේ කල්පනාව ලංකාව වට්ටන්න. ජනතාවගේ කල්පනාව රට දිනවන්නයි. අපි ඒ අයට අභියෝග කරනවා සැප්තැම්බර් මාසේ 21වැනිදා ගත්ත ඡන්ද ප්‍රමාණයවත් ලබා ගන්න කියලා.
මම ඊයේ හිටියේ යාපනය දිස්ත්‍රික්කයේයි. ඒ ජනතාව දීර්ඝ කාලයකට පසුව අපිව වැළඳගෙන තිබෙනවා. සහෝදරයෙක් පණිවිඩයක් එවා තිබෙනවා ඊයේ යාපනයට අවුරුදු වගේ කියලා. උතුර, දකුණ, නැගෙනහිර භේදයකින් තොරව පොදු ජනයාගේ බලාපොරොත්තු අපේ පාලනය කෙරෙහි තබා තිබෙනවා. පැරණි පාලකයාට තිබෙන්නේ මේ රට වට්ටන්නේ කොහොමද කියන බලාපොරොත්තුවයි. ඒ අය කොච්චර ප්‍රතික්ෂේප වෙලාද කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීමක් තිබ්බේ නැහැ. එයාලා සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල අවලාද නැගුවා. අද ඒවා අසත්‍ය බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණයකින් කෙළවර කිරීම අපේ අරමුණයි.
එතකොට කට්ටිය කියනවා අපිට හරි පාර පෙන්වන්න ඒගොල්ලොත් පාර්ලිමේන්තු එවන්නලු. ඇති තරම් කැලෑ පාරවල්වල ගිහිල්ලා දැන් කියනවා අපිට හරි පාර පෙන්නන්න පාර්ලිමේන්තු යවන්නලු. මේවා දුකට කියන කතා. මේ පාර හදන්න ඕනෑ ශක්තිමත් ආණ්ඩුවක්. මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුත්තේ ඒ නිසයි.
අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයා බලය ලැබුණහම රිසි රිසිසේ ජනතා මුදල් පාවිච්චි කර තිබෙනවා. වාහන ආනයනය කිරීම තහනම් කාලයේ ඒ අයට වාහන ගෙන්වන්න පුළුවන්. ඒ අය හිතු හිතු දේ කරනවා. එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ පදවන්න පුළුවන්. එම දේශපාලන අධිකාරිය හිතුවේ තමන්ට රිසි රිසි දේ කිරීමට දේශපාලනය බලය ලැබී තිබෙනවා කියලයි. තමන්ට හිතුනාම කාබනික එළවළු කන්න ඕනේ කියලා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ඉඩමේ මිනිස්සු දාලා එළවළු වගා කරනවා. ජනාධිපති කාර්යාලයේ වාහන 863ක් තියෙනවා. ජනාධිපති ධුරය අතහැර යනකොට වාහනත් අරගෙන යනවා. සේවකයොත් අරගෙන යනවා. ඔවුන් හැමදාම හිතාගෙන හිටියේ ඔවුන්ට රිසි රිසි දේ කරන්න පුළුවන් කියලා.
දැනටමත් අපි තුන්දෙනාගේ ආණ්ඩුව වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. මේ රටේ ආර්ථිකය හීන් නූලකින් ගැටගහලා තියෙන්නේ. ඒ නිසා මෙය සීරුවෙන් පියමන් කරගන්න ඕනෑ. ඒ නිසා අපි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය සමනය කරමින් සිටිනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තුන්වන සමාලෝචනය සිදු කරමින් තිබෙනවා. ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් එවිට අපිට අත්පත් කරගන්න පුළුවන්. දෙසැම්බර් මාසය වන විට ඉදිරි මාස හතර සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ලබන වසරේ ඉදිරිපත් කරන අයවැය මගින් ආර්ථිකයට නව දිශානතියක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000ක් වැඩි කර තිබෙනවා. අස්වැසුම තව ලැබිය යුතු කණ්ඩායමක් සිටිනවාද කියා සමාලෝචනය කරමින් තිබෙනවා. ඊළඟ අයවැයෙන් උපයන විට බද්ද සාධාරණ අඩු කිරීමකට ගෙන එනවා. ආහාරපාන කිහිපයක වැට් බද්ද ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් මාර්ග අහිමි පවුල්වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ලබන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම දීමනාව ලබාදෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදී තිබෙනවා. සහනාධාර දීමනාවන් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් වනතුරු යම් දීමනාවක් යම් සහනාධාරයක් ලබාදීමට අප කටයුතු කරනවා. දුප්පත්භාවයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අපි ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික, අධ්‍යාපනික වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරනවා.
“පිරිසුදු ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කඩේකට ගියාම හොඳ ආහාර වේලක් ගැනීමේ හැකියාව, පාරෙන් පලතුරු එළවළු ගන්නවනම් එහි ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, මිනිස්සුන්ට ජරාව කන්න දෙන එක නවත්වනවා. රට පුරා පිරිසිදු වැසිකිළි පද්ධතියක් නිර්මාණය කිරීම, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂාව මෙම වැඩසටහන යටතේ තිබෙනවා. “පිරිසිදු ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක කරනවා. කුණු ප්‍රතිචක්‍රීය කිරීම සඳහා කර්මාන්තශාලා ඇති කරනවා. මේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ සඳහා අරමුදලක් ස්ථාපිත කරනවා.
මේ රට නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් කරනවා. ඉහළ සිට පහළ පුරවැසියා දක්වාම මේ රටේ නීතියට යටත්. මත්ද්‍රව්‍යයෙන් තොර රටක්, අපරාධවලින් තොර රටක් අප නිර්මාණය කරනවා. රාජ්‍ය දේහය පුරා පැතිරී තිබෙන වංචාව දූෂණය ජාතික ජන බලවේගය විසින් අවසන් කරනවා. ජාතික ජන බලවේගය කණ්ඩායම තමන්ගේ පෞද්ගලික වුවමනාවක් නිසා දේශපාලනය කරන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව, බංකොලොත්භාවයට පත්වී තිබෙන මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ජාතික ජන බලවේගය විසින් පත් කරනවා.
මෙච්චර කල් දේශපාලකයා කියන චරිතය පිළිබඳව ජනතාව හිතන් හිටපු ආකාරය වෙනස් වී තිබෙනවා. ජනාධිපති කියලා ලොකු ලෝගු පෙරවාගෙන හිටියේ. දැන් ජනතාවට තේරෙන්න ගන්නවා ජනාධිපතිවරයා, ඇමැතිවරයා, මන්ත්‍රීවරයා කියන්නෙත් පොදු ජනතාව සමග වැඩ කරන මිනිස්සු කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැදගත්ම තීන්දුව ගන්න තියෙන්නේ නොවැම්බර් මාසයේ 14 වැනිදායි. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
එල් බෝඩ් පාර්ලිමේන්තුවක් ආවොත් රට ඉවරයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මරදානේ අවසන් ජනරැළියේදී කියයි
අප හඳුන්වා දුන් ගමනෙන් ඈත් වෙන්න එපා
එල් බෝඩ් පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවසන් ජනරැළිය අමතමින් මරදානයේදී ඊයේ (11දා) පැවසීය.
ජනපතිගේ සිට මාලිමාවේ කිසිම පාලකයෙකුට පළපුරුද්දක් නැති බව දැනටමත් ඔප්පු වෙමින් තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පළපුරුද්ද මෙන්ම කළ පුරුද්ද ඇති ගෑස් සිලින්ඩර අපේක්ෂකයන් බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යවන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
කොළඹ මරදානේ පැවති මෙම අවසන් ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මේ රටේ තිබුණු පෝලිම් සියල්ල අප විසින් නතර කළා. අපි මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සියල්ල කළමනාකරණය කර ගත්තා. 2028 වන විට අප ණය ගෙවීම ඇරැඹිය යුතුයි. ඊට 2042 වෙන තුරු කල් තිබෙනවා. ණය ගෙව්වේ නැතොත් නැවත පෝලිම් යුගයකට යන්න වෙනවා.
මේ වනතුරු ජනපති ආර්ථික දැක්ම කියලා නැහැ. විශාල අවිනිශ්චිත බවක් තිබෙනවා. දැන් සහල් හොයාගන්නට බැහැ. පොල් මිල පොල් ගහටත් වඩා උස වී තිබෙනවා. බඩු මිල නෙළුම් කුළුන වගේ උඩට යනවා. බිත්තර මිල වැඩි වෙනවා.
මේවා විසඳගන්න ආණ්ඩුවට පුළුවන්ද?
මේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයේ දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ගෙනාවා. දැන් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? මූල්‍ය අරමුදල සමග කොළඹදී සහ වොෂින්ටන් නුවරදී සාකච්ඡා කළා. දැන් තුන්වන වාරිකය ගැනීම සඳහා සාකච්ඡා කරනවද?
මාලිමාව ජනාධිපතිවරණයේ දී බදු සහන දෙන බව කිව්වා. ඒවා ලැබෙනවාද? නැද්ද? කියා ප්‍රකාශයක් කරන්න.රට ඉදිරියට යනවා නම් සියයට අටක විතර වාර්ෂික ආර්ථික සංවර්ධනයක් තිබිය යුතුයි. මේවා ලබා ගන්නේ කොහොමද? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තබාගන්නවාද? කියා කියන්න. මාලිමාව ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනට සිදුවී තිබෙන්නේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන ආර්ථික වැඩසටහන අනුව ආණ්ඩු පාලනයේදී කරන්න පුළුවන්ද?
ජාතික ජන බලවේගයේ වියත් මගේ අය ඉන්නවා. ඔවුන් ගෝඨාභය ජනාධිපතිවරයා නැති කළා. මේ අයත් නැති කරන්න ඔවුන් දැන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා. රටට විවෘත ආර්ථිකයක් තිබිය යුතුයි. මා හැම වෙලේම ආර්ථිකය විවෘත කළා.මාලිමාවේ තිබෙන සැලසුම් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඒ බව දැන් ඔප්පු වෙමින් තිබෙනවා. අප හඳුන්වා දුන් ගමන යන්න. මේ ගමනෙන් ඈත් වෙන්න එපා. එහෙම වුනොත් මේ ආර්ථිකය හසුරුවන්නට බැහැ.
මාලිමාවේ ආර්ථික සභාවෙන් වැඩ කරන්න බෑ. එතන ඉන්නේ කවුද? වාණිජ විද්‍යාව ගැන දන්න අය ඉන්නවා. ව්‍යාපාර කළමනාකාරීත්වය, සමාජ විද්‍යාව ගැන දන්නා ඉන්නවා. සංස්කෘත භාෂාව ගැන දැනුම තියෙන අයත් ඉන්නවාලු. මොවුන් ආර්ථිකය ගැන දන්නේ මොනවද? නොදන්න මිනිස්සු ඉන්න පළපුරුදු නැති ආණ්ඩුවක් මේ. ජනාධිපතිගේ සිට කිසිම කෙනෙකුට පලපුරුද්දක් නෑ. මේ අයගේ ඉන්න අපේක්ෂකයො කවුද කියලා දන්නවද? සැඟවුණු අපේක්ෂකයා හොයා මන්ත්‍රී කරන්න කියලා කියනවා. ඉතින් පළපුරුදු නැති අය පාර්ලිමේන්තුවට ගන්නවද?
දැන් තිබෙන්නේ එල් බෝඩ් ආණ්ඩුවක්. එල්බෝඩ් ආණ්ඩුව සහ එල් බෝඩ් පාර්ලිමේන්තුව තිබුණොත් හරිම ප්‍රශ්නයක් ඇතිවෙනවා. රට විනාශ වෙනවා. අප එල් බෝඩ් ආණ්ඩුවක් පත් කර ගන්නවාද? සිලින්ඩරයට පාර්ලිමේන්තුව දුන්නොත් යම්කිසි දෙයක් කරන්න පුළුවන්. අප එය ප්‍රායෝගිකව කර පෙන්වා තිබෙනවා. ආර්ථිකය ආරක්ෂා කරන්න සිලින්ඩරය පාර්ලිමේන්තුවට යවන්න. කුණු ඉවත් කරන්න මාලිමාව අබාන්ස් එකට යවන්න.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්ෂකයෝ ඇතුළු විශාල පිරිසක් මීට සහභාගි වූහ.
චමින්ද සිල්වා
අනුර කුමාර දිසානායක පොරොන්දු අමතක කර ජනතාව අතරමං කරලා – සජබ නායක සජිත් ප්‍රේමදාස රත්නපුරදී කියයි
අනුර දිසානායක ජනතාවට ලබා දුන් බලාපොරොත්තු සහ පොරොන්දු සියල්ලක් අමතක කර දමා සමස්ත ජනතාව අතරමං කරන වැඩ පිළිවෙළක නිරත වෙලා සිටිනවා යැයි සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රත්නපුරදී පැවැති ජනහමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
ජනාධිපතිවරණයේදී රට සංවර්ධනය කරන, රට දියුණු කරන, ජනතාවට ශක්තිය ලබාදෙන ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කළා. අපි ඒ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව රටේ කොට්ඨාසයක් පිළිගැනීමට ලක් කළා. තවත් කොට්ඨාසයක් අපටත් වැඩිය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කටයුතු කළා. අද වන විට ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ජනතාවට ලබා දුන් බලාපොරොත්තු පොරොන්දු සියල්ලක්ම අමතක කර දමලා. ඔවුන් මේ රටේ සමස්ත ජනතාව අතරමං කරන වැඩපිළිවෙළක නිරත වෙලා සිටිනවා. නිර්ධන පත්තිය නියෝජනය කරමින් රටේ සමස්ත ජනතාවට විශාල සේවාවක් කරනවා කියන ඒ පොරොන්දු අද වන විට උල්ලංඝනය කරමින් සිටිනවා.
පොඩි මනුස්සයාව රකිනවා කියලා ජනතාව රැකගන්නවා කියලා නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ආණ්ඩුව ප්‍රකාශ කරනවා එය අසත්‍යයක් බව. එවැනි දෙයක් සිදුකරේ නැතිනම් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය රිවස් කර ගන්නයි අපි ඉල්ලා සිටිනවා. රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර එය ප්‍රවෘත්ති නිවේදනයක් හරහා වෙනස් කිරීමට නොහැකියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේත් සැලසුමක් තිබුණා මේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වසා දමා ඒ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන්න. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙත් අදහසක් තිබුණා ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන්න. 2022 පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග කණ්ඩායම දැඩි විරෝධතාවයක් දක්වා ත්‍රිපෝෂ සමාගම පෞද්ගලීකරණය කිරීමෙන් වළක්වා ගැනීමට කටයුතු කළා.
එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව සත්‍යය අවබෝධ කරගෙන සමගි ජන බලවේගයට බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ලබාදීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා සමඟ ජන බලවේග ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමට අපට හැකියාව ලැබෙනවා. ඒ ආණ්ඩුව තුළ අපි ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ වැඩසටහන අකුරටම ඉටු කිරීමට කටයුතු කරනවා.
පසුගිය ජනාධිපතිවරණ වේදිකාවලදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා බඩු මිල අඩු කරන බව. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බව. නමුත් වර්තමාන රජය බඩු මිල අඩුකිරීම කෙසේ වෙතත් පොල් සඳහා පෝලිං යුගයක් නිර්මාණය කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් දරාගත හැකි මිලකට ජනතාවට ලබාදීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ඒ වගේම වරායෙන් තෙල් ගොඩබාන මිලක් ජනතාවට තෙල් ලබාදීමේදී අයකරන මිලත් අතර විශාල වෙනසක් තිබෙන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. අල්ලස දූෂණය වංචාව නිසා මේ දේ සිදුවන බවත් විශාල කොමිස් මුදලක් විවිධ මැති ඇමැතිවරුන් අතට පත්වන බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ සියල්ල ඉවත් කොට ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රයේ අනුගමනය කරන්නේ නැති බවත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා පත්කළ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා තෙල් මිල අඩු කළහොත් රට කඩාගෙන වැටෙනවා කියලා.
ඉන්ධන මිල අඩු කිරීමට පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විධායක ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා තෙල් මිල අඩු කිරීමට. පසුගිය දවසක වර්තමාන ආණ්ඩුව ඉන්ධන මිල ඉතා සුළු මුදලකින් අඩු කළා. නමුත් ඒ අඩු කළේ ඔක්ටේන් අනූ පහ පෙට්‍රල් ලීටරයක මිලයි. ඒ වගේම සුපර් ඩීසල් මිලත් අඩු කළා. එයින් රටේ ත්‍රී රෝද වෘත්තිකයන්ට කිසිඳු සෙතක් සැලසෙන්නේ නැහැ. කුඩා වාහන යොදාගෙන ව්‍යාපාර කරන පිරිසට එයින් සහනයක් සැලසෙන්නේ නැහැ. එහි වාසිය ගලාගෙන යන්නේ සල්ලිකාර පුද්ගලයින්ට. එයින් සාමාන්‍ය ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. කෙසේ නමුත් අනුර දිසනායක ජනාධිපතිවරයා තෙල් මිල සූත්‍රයේ හිරකාරයෙකු බවට පත්වී තිබෙනවා.
ඒ වගේම අපි බිහි කරන ආණ්ඩුවව තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ජනතා පීඩනය අඩු කරන, සහන වැඩි කරන අලුත් ගිවිසුමක් නිර්මාණය කිරීමට අපේ ආණ්ඩුව නායකත්වය ලබාදීමට කටයුතු කරනවා. ඉදිරි අවුරුදු නවයක කාල වකවානුව තුළ අපට හැකියාව තිබෙනවා සීග්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට. ඒ කාලය තුළ අපට විදේශ සංචිත ප්‍රමාණයේ ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපනයන ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැබෙනවා. කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, නිෂ්පාදන කර්මාන්තය, තේ කර්මාන්තය වැඩිදියුණු කොට රට ශක්තිමත් වූ පසු නැවත ණය ගෙවීම 2033 සිදු කිරීම අපේ රටට කළ හැකි දෙයක්.
ඒ වගේම රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහකට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඔවුන්ට අගතියක් වුණ පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවන්නට අපිට හැකියාව ලැබුණා. වර්තමාන රජය දෙසැම්බර් 15 සිට නැවත පරාට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කරමින් යනවා. රටේ කර්මාන්ත ශක්තිමත් කරන වැඩපිළිවෙළ, අධ්‍යාපන සෞඛ්‍ය කරන වැඩපිළිවෙළ, ගම් හදා නගර හදන වැඩපිළිවෙළ ඔබ තෝරාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ ශක්තිය සමගි ජන බලවේගයට ලබාදෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය සමගි ජන බලවේගයට ලබාදී ජනතා ආශීර්වාදයෙන් යුතු පොදු ජන හිතකාමී ආණ්ඩුවක් බිහිකිරීමට අපි කටයුතු කරනවා.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා
මේ රටේ බලයට පත් වුන ජනාධිපතිවරු නවදෙනාගෙන් කියපු දේ නොකරපු එකම ජනාධිපති අනුර කුමාර දිසානායක බව මේ වන විට රටේ ජනතාවට සනාථ වී තිබෙනවා. රටේ ආණ්ඩු බලය අනුර දිසානායක ජනාධිපතිවරයාට දෙනවාද නැතිනම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සජිත් ප්‍රේමදාස අගමැති කරනවාද කියා රටේ ජනතාව මේ වන විට කල්පනා කරමින් සිටිනවා.
අනුර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා අඩු මිලට හාල් ලබාදීමට කටයුතු කරනවා කියලා. නමුත් හාල් මිල සීඝ්‍රයෙන් මේවන විට ඉහළගොස් තිබෙනවා.අනුර දිසානායක ජනාධිපතිවරයා හාල් මෝල්කාරයින්ගේ සල්ලිවලට යට වෙලා ඒ හාල් මෝල් කාරයින්ගේ මුදල් මැතිවරණ ව්‍යාපාරවලට යොදවාගෙන අද කරගන්න දෙයක් නැතුව සිටිනවා.
වරුණ ලියනගේ මහතා
මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් අඩියක්වත් පසු පසට නොතබා මේ රටේ අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගැනීමට එකතු වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
ඉමිතියාස් බාකිර් මාකාර් මහතා
ජාතික ජන බලවේග ආණ්ඩුවට රට ගොඩගැනීමට කිසිදු සැලසුමක් නැහැ. නිවැරදි කණ්ඩායමක් නැහැ. නිවැරදි වැඩපිළිවෙළක් නැහැ. ඔවුන්ට ආණ්ඩු බලය ගත්තාට පසුව තමයි එහි ගැඹුර පෙනී තිබෙන්නේ. ඔවුන්ට බලය ගත්තාට පසුව තමයි රටක් පාලනය කිරීම පිළිබඳව වගකීම දැනී තිබෙන්නේ. නමුත් ඔවුන් මේ වන විටත් ඉබාගාතේ ගමන් කරමින් සිටින්නේ. මේ ආකාරයට රට ගොඩගැනීමට හැකියාවක් නැහැ.
ලෝකයේ කිසිඳු රටක් වමේ ප්‍රතිපත්ති අනුගමනය කර ශක්තිමත් වුණේ නැහැ. ඒ රටවල් සියල්ල බංකොලොත් භාවයට පත් වුණා. ලෝකයේ සියලුම කොමියුනිස්ට් රටවල් මේ වන විට බංකොලොත්භාවයට පත්වී තිබෙනවා. ලෝකයේ ශක්තිමත් වී තිබෙන්නේ කොමියුනිස්ට් ප්‍රතිපත්ති වලින් ඈත් වුණ රටවල් පමණයි.
හේෂා විතානගේ මහතා
අනුර දිසානායක ජනාධිපතිවරයා ජනතාවට රට ගොඩනඟන වැඩපිළිවෙළ පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැහැ. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසට එවැනි වැඩපිළිවෙළක් නැහැ. මේ රටේ ආර්ථිකය හදන ක්‍රමවේදයක් සහ ආර්ථික දැක්මක් රට වැටී තිබෙන අගාදයෙන් ගොඩ ගන්නා ක්‍රමය ජනතාවට ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේග කණ්ඩායමේ ආර්ථික දැක්ම පිළිබඳ රටට ඉදිරිපත් කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ඔවුන්ට එවැනි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා ඔවුන්ට ජනතාව ඉදිරියේ එක වැඩපිළිවෙළක් පිළිබඳව ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. මාක්ස්වාදය කරපින්නාගෙන පැමිණි අනුර දිසානායක ඇතුළු පිරිස මේ වන විට ධනවාදයේ අන්තයට ගොස් තිබෙනවා.
ජනාධිපතිවරණයට වඩා ඡන්ද ටිකක් මහ මැතිවරණයේදී අපේක්ෂා කරනවා – ශ්‍රීලපොපෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අවසන් ජන හමුවේදී කියයි
ශ්‍රීලනිප හා එජාප වගේ නොවෙයි අපි ඉතාමත් ශක්තිමත්
පසු ගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ජන්ද සංඛ්‍යාවට වඩා ජන්ද සංඛ්‍යවක් මෙවර මහ මැතිවරණයටදී අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (11දා) සංවිධානය කළ අවසන් ජන හමුවේදීය. එහිදී ඒමහතා මෙසේද පැවසීය.
ජනාධිපතිවරණයක් අවසන් වෙලා අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා ලබන 14දා. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී අපි පක්ෂයක් විදිහට අභියෝගවලට ඊට පෙර සිටම මුහුණ දුන්නා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ ගත්තු ණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කරපිට වැටුණා. විදුලිබල පද්ධතියට එක මේගාවොට් එකක්වත් එකතු කළේ නැහැ. ඒ නිසා විදුලි අර්බුදයද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාලයේ ගොඩනැගුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය හිස ඔසවාගෙන එන අවස්ථාවේ කොවිඩ් වසංගතයත් ඇති වුණා. එම අවස්ථාවේ අවංකව අරගල කළ පිරිසක් හිටියා. ඒ වගේම ඒ අරගලයෙන් දේශපාලන වාසි ලබාගත්ත පිරිසක් හිටියා. ඒ දේශපාලන වාසි ලබාගත්තු පිරිස ජයග්‍රහණය කළා. අද අලුත් ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් බලයට පත්වෙලා තිබෙනවා.
කෙසේ වුවත් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඉතාම කෙටි කාලයක් තුළ. අපි පැහැදිලිවම පක්ෂයක් විදිහට අපේ අරමුණු ඉෂ්ට කරගත්තා. වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තිබෙන ඉරණම දැක්කාම සහ එක්සත් ජාතික පක්ෂයට අත්වෙලා තිබෙන ඉරණම දැක්කාම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට ඉතාමත් ශක්තිමත්ව මේ මැතිවරණයට මුහුණදෙනවා. ඒ වගේම අපේ පාක්ෂිකයාට, අපේ ශාඛා සමිතියට, බල මණ්ඩලයට, අපේක්ෂකයන්ට අනාගතය ගොඩනගන්න පුළුවන් දේශපාලන බලවේගයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙමින් පවතිනවා. මේ මැතිවරණය තුළ අපේ පක්ෂය ඇතුලේ යම් වෙනස්කම් රාශියක් ඉටුකරමින් නූතන පරම්පරාවට ගැලපෙන දේශපාලන බලවේගයක් බවට පක්ෂය වෙනස්වෙමින් පවතිනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අවස්ථාවේ අපේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තරව ගත්ත තීන්දු තීරණ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද නොදාන්න ගිය බොහෝ පාක්ෂිකයෝ නැවත වතාවක් ඡන්ද පොළට යන ප්‍රවණතාවයක් අපි දැක්කා.
මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ ඉතාම තරුණ කණ්ඩායමක් අපි අපේ මැතිරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් අහන්න පුළුවන් ඇයි ජ්‍යෙෂ්ඨයෝ ඉල්ලන්නේ නැත්තේ කියලා? මොවුන් පහුගිය ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙන්නෙ නැහැ කියන කාරණයත් සමඟම ඒ සඳහා නව නායකයෝ මේ දිස්ත්‍රික්කවලින් බිහිකල යුතුයි කියන මතයේ සිට අලුත් කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටිනවා. කාන්තා අපේක්ෂිකාවන් ජාතික ලැයිස්තු ඇතුළු 24 ක් ඉදිරිපත්වෙලා තිබෙනවා. මේ අනුව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සමස්ත අපේක්ෂකයන්‍ගෙන් 62% ට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 50 ට අඩු තරුණ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව අපි ප්‍රතිපත්තිමය දේශපාලනය කරන දේශපාලන බලවේගයක්. වෛරය, ක්‍රෝධය , ඊරිසියාව, කුහකත්වය කේන්ද්‍ර කරගෙන යන දේශපාලන බලවේගයක් නොවේ. අපි මේ රටේ අනාගතවාදීව ඊළඟ පරම්පරාවට මේ රට ගොඩනැගිය යුතුයි කියන මතය වගේම දැක්මක් එක්ක දේශපාලනය කරන කණ්ඩායමක්. එදා ජනාධිපතිවරණ මැතිවරණය වෙලාවේ නොයෙක් හේතුන් නිසා සමහර පිරිස් ඡන්දය දාන්න ගියේ නැහැ. ඒ වගේම තවත් සමහරු වෙනත් දේශපාලන බලවේගවලට ගියා. කෙටි කාලයක් තුළ අපේ කඳවුරේ ඡන්ද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වැල් බැඳගත්තා ඔවුන්ගේ ප්‍රතිපත්ති වමේ දේශපාලනිකව හෝ ආර්ථික ප්‍රතිපත්ති නොවුණත්. මේ කාරණත් එක්ක අපි පසුබෑමකට ලක්වුණා. නමුත් අද නැවතවතාවක් හැම දිස්ත්‍රික්කයකම පහුගිය ජනාධිපතිවරණයේදී අපිට ඡන්දය පාවිච්චි නොකළ බොහෝ පිරිස් අපේ පක්ෂය සමඟ නැවතවතාවක් අත්වැල් බැඳගනිමින් සිටිනවා. ඒ අනුව අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා අපේ අපේක්ෂක කණ්ඩායම නව මුහුණුවරක් එක්ක මේ මැතිවරණය තුළ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් නියෝජනය කරන්න අපට හැකියාව ලැබෙයි කියලා. අපිට පැහැදිලිවම වැඩපිළිවෙලක් තිබෙනවා. අද වර්තමාන ආණ්ඩුව දිහා බැලුවාම ඔවුන් මැතිවරණ වේදිකාව තුළ කියපු බොරු පොරොන්දු ඉෂ්ට කරගන්න විදිහක් නැතිව අද කෙඳිරිගානවා. ඔවුන් මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධ වෙන්න කියපු සියලු කාරණා ඔප්පු කරගන්න විදිහක් නැතිව සිටිනවා. වෙනසක් හොයාගෙන මාලිමාව සමඟ සම්බන්ධ වෙචිච සමහර තරුණ සහ උගත් බුද්ධිමත් කියන දේශපාලඥයොත් බොරුකාරයෝ බවට පත්වෙලා සිටිනවා. අපි ආණ්ඩුවෙන් පැහැදිලිව අහන්නේ ඔබ මේ රටේ තරුණ ප්‍රජාවට රැකියා උත්පාදනය කිරීම සඳහා ගන්නා වැඩපිළිවෙළ කුමක්ද? ආර්ථිකමය වශයෙන් මේ රට ඉදිරියට අරගෙන යන්න මේ ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? එය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ නම් එය ක්‍රියාත්මක කරන්න ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මේ අනුව පහුගිය කාලසීමා තුළ ආණ්ඩුව කියපු බොරු අද ආණ්ඩුව විසින්ම තමන් අවබෝධයෙන් ප්‍රකාශ කළා කියන තැනට වැටිලා තිබෙනවා. මේ මැතිවරණය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. අපි මේ රටේ උතුරත් දකුණත් යාකරපු පක්ෂයක්. ජාතීන් අතර අසමගිය ඇති කරලා රට බෙදන්න උත්සහ කරන දේශපාලන පක්ෂයක් නොවේ. අපි පැහැදිලිව ඒකීය රට ආරක්ෂා කළයුතුයි. ඒ අනුව මම ගෞරවයෙන් අපේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද පොළට යන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙනුත්, ඔබ විශ්වාස කරන, ඔබ නියෝජන කරන්න පුළුවන්, ඔබේ හඬ පාර්ලිමේන්තුවේ අවදි කරන්න පුළුවන් ඔබේ මන්ත්‍රීවරු පත්කරලා පාර්ලිමේන්තුවට යවන්න කියලා ගෞරවනීය ආදරණීය ඉල්ලීම කරනවා.
එරික් ගාමිණී ජීනප්‍රීය