බද්දේගම අභිමානය කෙළසන සුරා කඩය අපට එපා…..

7

බද්දේගම අධිකරණ සංකීර්ණය ආසන්නයේ ආරම්භ කිරීමට යෝජිත මත්පැන් අළෙවි සැලට විරෝධය පළ කිරීම සඳහා වූ උද්ඝෝෂණයක් බද්දේගම නගරයේ ඔරලෝසු කණුව වට රවුම ඉදිරිපිටදී 01දා උදෑසන පැවැත්විණි.

බද්දේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලිවිටියේ සුමන නායක ස්වාමීන් වහන්සේ, බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය බලගොඩ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ, ප්‍රමුඛව ප්‍රදේශයේ විහාරස්ථාන රැසක මහා සංඝරත්න වැඩම කර සිටි අතර ඔරලෝසු කණුව වටරවුමේ පිහිටි ගනේගම ශ්‍රී සරණංකර නායක ස්වාමීන් වහන්සේ පිළිරුව ඉදිරිපිට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මත්පැන්හලට එරෙහි උද්ඝෝෂණය ආරම්භ කෙරිණ. ගනේගම ශ්‍රී සරණංකර නාහිමි පදනම සහ බද්දේගම ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

උද්ඝෝෂකයෝ මහා සංඝරත්නය පෙරටුව බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට ගොස් ප්‍රදේශීය ලේකම්වරියට විරෝධතා සන්දේශයක් බාරදීමට උත්සාහ කළ අතර, ඒ අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ස්වාමීන් වහන්සේලා කිහිප නමකට කාර්යාලය තුළට වැඩමකර සන්දේශය භාර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරිය කළ සඳහන් කිරීමට උද්ඝෝෂණයේ යෙදුන පිරිස ඉල්ලා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරියට කාර්යාලයෙන් පිටතට පැමිණ සන්දේශය භාර ගන්නා ලෙසයි. ඒ අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ සිට විරෝධතා පාඨ හඬ නගන්නට වූහ. ටික වේලාවකින් ප්‍රදේශීය ලේකම්වරිය සිය නිල කාමරයෙන් එළියට පැමිණ කාර්යාල පරිශ්‍රයේදී ස්වාමීන්වහන්සේලා අත තිබූ සන්දේශය බාර ගත්තාය. ඉන් අනතුරුව විරෝධතා පාඨ හඬ නගමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් එළියට පැමිණ පිරිස සාමකාමීව විසිර ගියහ.

බද්දේගම – ඕෂධ ගමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment