බල්ලා නොකඩවා බිරුවේ මොකක් හරි සංඥාවක් දෙන්න වගේ – මොහොතකින් පස්කන්ද කඩා වැටී නිවස යට වුණා

382

අඹේපුස්සේ බලතව සිදුවීමේ අතුරු කතාවක්

බල්ලා නොකඩවා බිරුවේ මොකක් හරි සංඥාවක් දෙන්න වගේ - මොහොතකින් පස්කන්ද කඩා වැටී නිවස යට වුණා

මේ දිනවල පවතින අධික වර්ෂාව හමුවේ අඹේපුස්ස බලතව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවස මුළු මනින්ම විනාශ වී ඇත. පෙර දිනයේ (3දා) පාන්දර 2.30ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර නිවසේ ඇති කරන බල්ලා නිසා තමාගේ සහ තම කුඩා පුතුගේ ජීවිත බේරුණු බව ගේ හිමි කාන්තාව වන ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

මේ සිද්ධිය ටික වේලාවකට කලින් ඉඳලම බල්ලා දිගින් දිගට ම බුරන්න පටන් ගත්තා. මම හිතුවෙ වහින නිසා එයා ගෙට එන්න හදනවා කියලයි. ඒ එක්කම අමුතු ශබ්දයක් ආවා. එළියට ගිහින් බලන කොට ගෙයි පිටුපස ඇති ඉවුර ඇවිත් ගෙට හේත්තු වෙලා. මම ඉක්මනින්ම පුතාට ඇහැරව ගෙන එළියට ආවා. ඒත් බල්ලා බුරන එක නතර කළේම නැහැ. ඒ එක්කම කන්ද පැත්ත බලන කොට ම විශාල ශබ්දයක් එක්කම කන්ද ඇවිත් සම්පූර්ණයෙන්ම ගේ යට කරගෙන ගියා. මම පුතාව කිහිල්ලට හිර කරගෙන පහළට පැන්නා. අපි දෙන්නම රෝල් වීගෙන ගියා. ඒ ශබ්දය ඇහිලා පහල ගෙදර මාමා පුතේ පුතේ කියාගෙන කෑ ගහගෙන ආවා අපි ඉන්න තැන හොයගෙන. ඒ ඇවිත් ටෝච් එක ගහලා බලන කොට ගෙයක් තිබුණු තැනක්වත් හොයා ගන්න නැහැ යැයි ඇය හැඬූ කඳුළෙන් අප හා පැවසූ අතර මොනවා වුණත් මගේ පුතාව බේරගන්න මට පුළුවන් වුණා යැයි ද ඇය කඳුළු පිරි දෙනෙත්තින් පැවසුවාය. මේ සිද්ධිය වනවිට ඇයගේ සැමියා වන මහේෂ් කුමාර මහතා රුකියාව ට ගොස් සිටි අතර දියණිය ශිෂ්‍ය භට කණ්ඩායම සමගින් රංටැඹේ ශිෂ්‍ය භට පුහුණු කඳවුර වෙත ගොස් සිට ඇත.

මේ සිදුවීම නිසා මේ දරුවන්ගේ පාසල් පොතපත පවා අහිමිව ඇති අතර ඇඳිවත පමණක් ඉතිරි වී ඇත. මෙවන් විපත් රටට ම සිදුවී ඇති මොහොතක විශේෂයෙන් රජයේ මෙන්ම පරිත්‍යාගශීල්ගේ අවධානය යොමුවණු ඇතැයි විශ්වාස කරමු.

සටහන සහ ඡායාරූප සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment