බස් ගාස්තුව සියයට 4.24 කින් බස්සයි

46

අවම ගාස්තුව රු.27යි අවම ගාස්තුව

රු. 25 කළ හැකියි – අංජන කියයි

ඉන්ධන මිල ගණන් අඩු කිරීම හේතුවෙන් සමස්ත බස් ගාස්තුව සියයට 4.24කින් සහ අවම ගාස්තුව රුපියල් 27 දක්වා රුපියලකින් ඊයේ (01දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව පෞද්ගලික සහ ශ්‍රී ලංගම මෙන්ම අධිවේගී මාර්ගයන්හි ධාවනය කෙරෙන බස් රථවල ගමන් ගාස්තු අඩු කෙරේ.

ඉන්ධන මිල පහත හෙළීම හේතුවෙන් අවම බස් ගාස්තුව රුපියලකින් සහ සමස්ත බස් ගාස්තුව සියයට 3.5කින් පමණක් අඩුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට කීය.

එහෙත් බස් ගාස්තුව සියයට 04කින් සහ රුපියල් 28ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 25 දක්වා අඩුකළ හැකිබව, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

මිල සූත්‍රයට අනුව ඩීසල් මිල රුපියල් 24කින් අඩුකළ අතර පසුගිය ගාස්තු සංශෝධනයේදී ඩීසල් මිල රුපියල් 11ක් ලෙස රුපියල් 35කින් අඩු කෙරිණි.

අකිත පෙරේරා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පාසල් වෑන් ගාස්තු අඩු කරන්නේ නෑලු

රජය විසින් ඉන්ධන මිල අඩු කළ ද පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩුවක් සිදුනොවන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර මහතා පවසයි.

මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 21කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 24කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රු. 33කින් ද අඩුකර ඇති නමුත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පවසන ඒ මහතා වාහනවල රක්ෂණ මුදල් ඉහළ යෑම, වාහන සඳහා ආදායම් බලපත්‍ර, දුම් සහතික සහ යෝග්‍යතා සහතික නිකුත් කිරීමේදී අධික මුදලක් වැයවීම ආදිය නිසා මෙලෙස පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවත් ප්‍රකාශ කරයි.

සදුනි -තාරකා- ¤ රශ්මි දිසානායක

ගාස්තුවට කොළේ වහන බස් – පාසල් වෑන්වලට මගීන්ගෙන් දෙස් පිට දොස්

අවස්ථා දෙක තුනකදී ඉන්ධන ගාස්තු අඩු කළත් ඇඟට දැනෙන පරිදි බස් ගාස්තු අඩු නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරන බව මගී ජනතාව ඊයේ (02දා) පිටකොටුවේදී ‘දිවයින’ට පැවැසූහ.

බස්, පාසල් වෑන්, ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන්නේ නම් ඉදිරියේදී බස් සංගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද මගීහු පැවසූහ.

එහිදී මගීන් දැක්වූ අදහස් මෙසේය.

බිබිල ජානක කුමාර මහතා,

“මම කොම්පඤ්ඤවීදියේ පුද්ගලික ආයතනයක වැඩ කරන්නේ. කිරුළපන බෝඩ් වෙලා ඉන්නෙ. දැන් අවස්ථා දෙක තුනකදි ඩීසල් මිල රුපියල් 34කින් අඩුවෙලා තියෙන්නේ. නමුත් මේ බස් සංගම් බස් ගාස්තු අඩු කරන්නේ රුපියලකින්, රුපියල් දෙකකින්. මේවා අසාධාරණයි. ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නෙ වහාම මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න කියලයි.”

කොට්ටාව නලින් ප්‍රේමවංශ මහතා,

“මගේ දරුවෝ දෙන්නා පාසල් වෑන්වලිනුයි පාසලට යන්නේ. දැන් ඒ ගාස්තුවත් දරාගන්න බැහැ. පෙට්‍රල්, ඩීසල් මිල අඩු කරලත් ඒ අය දෙමාපියන්ට සහනයක් දෙන්නෙ නැහැ. පෙට්‍රල් මිල, ඩීසල් මිල වැඩි කරපු ගමන් පැය කීපයක් තුළ පාසල් වෑන් ගාස්තු, බස් ගාස්තු වැඩි කරනවා. දැන් මේ එකෙක් හූම් සද්දයක් නැහැ. පාසල් වෑන් ගාස්තු දෙමාපියන්ට දැනෙන විදිහට අඩු කළේ නැතිනම් අපි ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා.”

කැස්බෑව නාලිකා දමයන්ති මහත්මිය,

“පෙට්‍රල් ගාස්තු අවස්ථා කීපයකදී අඩුවෙලා තියෙන වෙලාවේ ත්‍රීවීල් ගාස්තු රුපියල් 30කින්වත් අඩු කරන්න ඕන. දැන් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක් ගන්නවනෙ. මගී ජනතාවට දැන් උපරිම සහන දෙන්න පුළුවන්. පෙට්‍රල්, ඩීසල් ගාස්තු වැඩි කළා නම් මේ අය පළමුවැනි කිලෝමීටරයට මෙච්චරයි දෙවැනි කිලෝමීටරයට මෙච්චරයි කියලා වැඩි කරලත් ඉවරයි.”

වැල්ලම්පිටිය සුදත් කුමාර මහතා,

“බස් සංගම් කියන්නෙ මාෆියාවක්. ඒ අයට ඕන විදිහට තමයි බස් ගාස්තු තීරණය කරන්න හදන්නෙ. මේ වෙලාවේ මගීන් වන අපිට සහන දෙන්න ඕනෙ. බස් සංගම් ඒ සහන දෙන්නෙ නැත්නම් ජනාධිපතිතුමා හරි මැදිහත් වෙන්න.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment