පොලිස් පොඩ්ඩන්ට අරියාදු කරන ලොක්කන්ට දැල එළයි

479

කොමිසම පැමිණිලි ඉල්ලයි

පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් අනවශ්‍ය ආකාරයට දැඩි පීඩනයකට ලක්කරන උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කරමින් සිටියි.

මේ ආකාරයට කනිෂ්ඨ නිලධාරීන් පීඩාවට ලක්කර ඔවුන්ට රැකියාව එපා කරවන තත්ත්වයට පත් කළ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකුම පසුගිය සති කීපයේදී වහාම මාරකර යැවීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කළ අතර එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගෙන තිබේ.

මේ ආකාරයට කනිෂ්ඨ පොලිස් නිලධාරීන් හිංසනයට පීඩනයට ලක්කරන උසස් පොලිස් නිලධාරීන් වෙතොත් වහාම ඔවුන් පිළිබඳ ජාතික පොලිස් කොමිසම වෙත නිර්නාමිකව හෝ පැමිණිලි කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී පොලිස් කොමිසමේ උසස් නිලධාරියකු කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් හිංසනයට ලක්වන කනිෂ්ඨ නිලධාරීන්ගෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

පොලිසියේ රාජකාරි කරන්නෙත් හැඟීම් දැනීම් තියෙන දහසකුත් එකක් ප්‍රශ්න මැද ජීවත්වන මිනිසුන්. ඒ වගේ අය අනවශ්‍ය ආකාරයට පීඩාවන්ට ලක් නොකළ යුතුයි. එහෙම වුණාම ඒ නිලධාරියාගෙන් නියම රාජකාරියක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉහළ නිලධාරීන්ගෙන් පීඩාවට ලක්වන පහළ නිලධාරියා ඒක පිටකරන්නේ පාරෙ ඉන්න සාමාන්‍ය මිනිසුන්ගෙන්. ඒ නිසා මේ වගේ නිලධාරීන් ගැන පොලිස් කොමිසම දැඩි අවධානය යොමුකර තිබෙනවා යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment