තාත්තා මියගිහින් : අම්මා රිමාන්ඩ් – කුසට අහරක් හව්හරණක් නැති සිගිති පුතා උසාවියෙන් රැඳවුම් භාරයට

1366

මව බන්ධනාගාරගත වීමෙන් පසු කුසට අහරක් මෙන්ම හව්හරණක්ද නොමැතිව සිටි 10 හැවිරිදි පාසල් සිසුවකු මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව රඳවා තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා 12 වැනිදා දිවුලපිටිය පොලිසියට නියම කළේය.

මෙම දරුවාගේ පියා ඉකුත් වසරේ මියගොස් ඇති අතර සිය බාලවයස් දියණිය ලිංගික කටයුතු සඳහා මුදලට විකිණීමේ චෝදනාව සම්බන්ධයෙන් මව බන්ධනාගාරගත කර ඇත. අනතුරුව එම දරුවාව රැකබලා ගැනීම සඳහා ආච්චි අම්මා විසින් භාර ගෙන ඇගේ නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ආච්චි අම්මා විසින් රැගෙන ගිය මෙම දරුවාව ආච්චි අම්මා විසින්ම බස් රථයකට නංවා නැවත නිවසට එවා ඇති බවත් ඉන් අනතුරුව කිසිවකුගේ හව්හරණක් නොමැතිව සිටි මෙම පිරිමි දරුවා දිවුලපිටිය පොලිසිය භාරයට ගෙන ඇති බව අධිකරණයේදී සඳහන් විය. දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවූ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එම වාර්තාව ලබන 22 දාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පරිවාස නිලධාරිවරයාට නියම කළේය. දරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් දිවුලපිටිය පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙසේ පරිවාස වාර්තාවක් කැඳවීමට නියම කෙරිණි.

දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ මව ඇයගේ අවුරුදු දාහතරක් වයසැති දියණිය ලිංගික කටයුතු සඳහා පුද්ගලයන්ට විකිණීමේ චෝදනා මතද එම බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනය සඳහා ලක්කළ සැකකරුවන් දෙදෙනකුද දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබේ. අතවරයට ලක්වූ දැරිය අධිකරණ නියමයෙන් මීගමුව ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බව අධිකරණයේදී සඳහන් විය.

දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ උපදෙස් මත උ.පො.ප. සුබසිංහ සහ පො.කො. බංඩාර (81532) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment