‘මේ ලංකාද්වීපයෙහි අප ආණ්ඩුවට පැමිණි ගරුතර ගොවැන්නදෝරු උතුමාණන් වහන්සේට මේ සමග අත්සන් තිබෙන රෛගන් කෝරලේ පානදුරේ සහ වෙනත් ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදැහිලි සමූහය විසින් නමස්කාර කොට ඔප්පු කර සිටින වගවාසගම් ලේඛන වූ ඉල්ලුම් පත්‍රයයි. මේ පත්‍රයේ ඉල්ලුම් කරන ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයින් අතරෙන් ස්වල්ප වූ සිය ගණනක් අත්සන් කර තිබීම සුදුසු වූ ඒත්තුගැන්වීමක් සේ සිත්වලට ගෙන ඊට ක්ෂමාව සහ අවසර ඉල්ලීම පිට අත්සන් තබාපු කඩදාසි පත්‍රත් මේ සමග ඔප්පු කර සිටිනවාය.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවදියේ බුද්ධාගම

ලංකාව නොයෙක් විට බොහෝ සතුරු ආක්‍රමණවලට ලක් වුවද දාසය වන සියවසේ පැමිණි පෘතුගීසි ආක්‍රමණිකයන් ද ඉන්පසු පැමිණි ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණවලට ලක් වීම අතර බරපතළ වෙනසක් තිබෙන බව පැහැදිලිය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරට බුද්ධ ශාසනය ආරම්භ කළ දා පටන් රටේ පාලකයන් ඒ සාර්ධර්ම අනුව කටයුතු කළ පිරිසක් විය. සතුරු ආක්‍රමණ වලදී බුද්ධ ශාසනයට හානි පැමිණුන ද ඒ තත්ත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම රජවරුන්ගේ ප්‍රමුඛ යුතුකම විය. එහෙත් යටකී යුරෝපා ආක්‍රමණ වලින් පසුව ඒ තත්ත්වය වෙනස් විය. නවීන අවි ආයුධ සහ නාවික ශක්තිය හමුවේ රටේ ආරක්ෂාව බිඳ වැටුණි. යුරෝපාකරයේ වැසියන් අදහන ආගම ද වෙනස් වූ නිසා එයට මුහුණ දීම ද අසීරු විය. කෝට්ටේ ධර්මපාල කුමරු පෘතුගාල් රජු ඉදිරියේ අභිෂේක කිරීම නිසා තත්ත්වය තවත් දරුණු විය. කුමරු කතෝලික ආගම වැළඳ ගැනීමත් බුද්ධ ශාසනයට පූජා කළ කෝට්ටේ රජමහා විහාර ඉඩම් කතෝලික පියවරුන්ට පැවරීමත් සිදු වීමෙන් රටේ නිලතල දැරූ බොහෝ අය ඒ ආගමට හැරී තාන්න මාන්න ලබා ගැනීමට උත්සාහ කළහ. කෝට්ටේ සත්වන බුවනෙකබාහු රජුට ද කතෝලික ආගමට හැරීමට බල කෙරුණු නමුත් එය සිදු නොවීය. ඔහු මිය යන්නේ පරංගි සෙබළෙකුගේ වෙඩි පහරෙනි. අනතුරුව පෘතුගීසි බලකොටුවට සීමා වූ දොන් ජුවන් පෙරිය බණ්ඩාර හෙවත් ධර්මපාලයන් ඔවුන්ගේ සිරකරුවකු විය. දළදා වහන්සේ රහසේම සීතාවක රාජ්‍යයට රැගෙන ගොස් පසුව සබරගමු කුරුවිට දෙල්ගමුවේ සැඟවූ හෙයින් සම්බුද්ධ ශාසනය නිරුපද්‍රිතව පැවතුණි. නමුත් කලකට පසුව සීතාවක රාජසිංහයන් ද ශිව භක්තියට හැරුණු බැවින් ඊළඟට සම්බුද්ධ ශාසනයේ ආරක්ෂකයා වූයේ පළමුවන විමලධර්මසූරිය රජතුමාය. ඔහු රටේ හීන වී ගිය උපසම්පදාව නැවත පිහිටුවීය.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවදියේ බුද්ධාගම

පරංගි ලන්දේසි කාලවලදී ශක්තිමත් වෙමින් නැවත පරිහානියට යමින් පැවතෙමින් පැවති බුද්ධ ශාසනය බි්‍රතාන්‍ය යුගයේ දී බලවත් අනතුරකට පත් විය. මිෂනාරීන් බුරුතු පිටින් ලංකාවට පැමිණ රජයේ අනුග්‍රහයෙන් මිෂනාරි පාසල් පිහිටුවමින් කළ ආගම් ප්‍රචාරය නිසා සිංහල බෞද්ධයන් විශාල පිරිසක් කතෝලික, මෙතෝදිස්ත, බැප්ටිස් ආදී ආගමික නිකායන් සරණ ගියහ. ආණ්ඩුවේ තනතුරක් ලබා ගැනීමට නම් ආගම අත්හැරිය යුතු බවට සම්මතයක් ඇති විය. සිංහල ජන සමාජය පමණක් නොව දෙමළ ජන සමාජයේ ද මතය එය විය. විවිධ තානාන්තර ලබා ගැනීම පිණිස ආගම අතහැරි බෞද්ධයන් ක්‍රිස්තියානිකාරයන් ලෙසට පෙනී සිටිමින් රහසේ බෞද්ධ පිංකම් පවත්වන්නට පුරුදු විය. ඒ අනුව ආගම කතෝලික වුවද සංස්කෘතියෙන් ඔවුන් බෞද්ධ වූහ. මේ නිසා මෙවැනි ක්‍රිස්තියානිකාර බෞද්ධයන්ට යම් යම් වාරණ නියෝග පැණවීමට ඉංග්‍රීසි ආණ්ඩුව මුල් කාලයේදී පසුබට නොවීය. 1817 – 18 ජාතික විමුක්ති අරගල පරිසරයක සිංහලයන් කෙරෙහි සැකමුසුව බැලීම ආණ්ඩුවේ සිරිත විය. ඒ නිසා නොයෙකුත් නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහ. එවැනි වාරණ නියෝග නිසා පීඩාවට පත් ජනතාව ආණ්ඩුකාර තැනට පෙත්සම් යවමින් මේ නියෝග ඉවත් කරගන්නා ලෙසට අයැද සිටියහ. ජාතික ලේඛනාගාරය සතුව තිබෙන 5-63-152-7 දරන ලියැවිල්ලේ මේ බැව් සඳහන් කර ඇත. එම ලියැවිල්ලේ සඳහන් කරුණු මෙසේය.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවදියේ බුද්ධාගම

‘මේ ලංකාද්වීපයෙහි අප ආණ්ඩුවට පැමිණි ගරුතර ගොවැන්නදෝරු උතුමාණන් වහන්සේට මේ සමග අත්සන් තිබෙන රෛගන් කෝරලේ පානදුරේ සහ වෙනත් ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදැහිලි සමූහය විසින් නමස්කාර කොට ඔප්පු කර සිටින වගවාසගම් ලේඛන වූ ඉල්ලුම් පත්‍රයයි. මේ පත්‍රයේ ඉල්ලුම් කරන ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයින් අතරෙන් ස්වල්ප වූ සිය ගණනක් අත්සන් කර තිබීම සුදුසු වූ ඒත්තුගැන්වීමක් සේ සිත්වලට ගෙන ඊට ක්ෂමාව සහ අවසර ඉල්ලීම පිට අත්සන් තබාපු කඩදාසි පත්‍රත් මේ සමග ඔප්පු කර සිටිනවාය.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවදියේ බුද්ධාගම

1/ පළමු වෙනුව මතු කී බුද්ධ ඇදහිල්ලේ දේශනාව පවත්වන නිවැරදි තෙරුන් වහන්සේලා යම් කිසි බෝග දැරීමත් වෙළඳන් කිරීමක් නොහොත් නියම පඩි නඩත්තුවක් ලැබීමත් නොව මෙම ඇදහිලිවන්ත අපි සහ අපේ දූ දරු නොයෙක් දෙනාටත් හොඳ නොහොඳ කියා පහදා සමාදාන භාවයක් පුහුණු කරමින් අපේ උපකාරයෙන් රක්ෂා වී සිටින ක්ෂාන්ති වූ ගුරුවරයෝය.

2/ දෙවැනිව එවැනි තෙරුන්වහන්සේලාගේ දැනමැතිකමේ හැටියට හැසිර සිටින අනුන් තමන් කොට උපමා ගෙන අපි අපේ ශක්ති පමණින් වෑයන් කොට මෙහි ආගමේ සිරිත් ප්‍රකාර අපේ ගෙවල් වල බණ කියැවීම ද යන් යන් වතුවල වෙහෙර විහාර පන්සල් බණමඩු, පහන් මඩු යනාදිය කෙරීමෙන් ඒ ඒ තන්හි දේශන පැවැත්වීම ද අසරණ ස්ථාන වල මාවත් ඒදඬු පාලම් අම්බලම් පින්තාලි පොකුණු ආදිය කෙරීම ද මවුපිය ගුරුවරුන් හා ගිලනුන්ට යාචකයන්ට උපකාර කිරීම ද රාජ අමාත්‍යාදී සුදුසු තැන් වලට යටත් වීමද වෙනත් නොයෙක් සුබ කර්මාන්ත කටයුතු රටට පැමිණෙන වසංගත රෝග උපද්‍රව කාලවලදී තම තමන්ට පැමිණෙන නානා ප්‍රකාර විපරීත රෝගවලදී ඊට ආරක්ෂා පිණිස අප විසින් කරනවාය. එවිට ඒ රෝග උපද්‍රව වලින් අනන්ත කාලවලදී නිරෝගී බවට පැමිණ සිටින අපි දැනටත් මේ යෙදී එන රෝග උපද්‍රවවලට ඒ කටයුතු සිරිත් ලෙස කරකියා ගනිමු නම් පළමු ලෙස පිහිට ලැබෙන බවට අපේ හදවල් සාක්ෂිව සිටිනවා පමණක් නොව අප අතරේ ඒ කටයුතු කිරීමෙන් ගොවැර්නමේන්තුවට කිසිම අලාභයක් කනගාටුවක් නැති බව හාමුදුරුවන්ට ඒත්තු වේය.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවදියේ බුද්ධාගම

3/ තෙවනුව මෙම බුද්ධ ඇදහිල්ල පළමු සිට අරමණ අමරපුර යනාදී නොයෙක් ගම්භීරාදී රාජ්ජ වලත් පැවත මේ ලංකාවේත් පැවතෙනවාය. මේ ලංකාද්වීපයේ මනුෂ්‍යවාසයට බොහෝ මනුෂ්‍යයන් සමග විජය රාජොත්මයාණන් වහන්සේ වගුරටින් ඇවිත් වර්ෂ 2363 පමණ පසුවන අතරේ පැවත එන මේ බුද්ධ ඇදහිල්ල මින් පෙර මේ රටට පැමිණ ඒරොප්පාකාර ආණ්ඩු වලදීත් එම ආණ්ඩුකාර තැන් වහන්සේලාගේ නඩු මාර්ග වලට සහ ක්‍රියාවලටත් එකඟව ඔවුන්ගේ නම්බුව පවත්වාගෙන යාමට මීට සිටිය සමහර අයවල් විසින් ක්‍රිස්තියානිකමද දෙකක් කෙරෙමින් ඒ සමග ඒ ආණ්ඩුවලදී බුද්ධ ඇදහිල්ල නොකඩවා සිරිත් ලෙස පවත්වාගෙන ආ හෙයින් ඉතා ස්වල්පයක් අතරේ බුද්ධ ඇදහිල්ල නැති නමුත් බොහෝ අය අතරේ මෙම සිරිත් ප්‍රකාර නොවෙනස්ව බුද්ධ ඇදහිල්ල පවත්වා ආ ප්‍රකාර මේ ආණ්ඩුවේදීත් පවත්වා එනවාය. එයින් එය සිරිතක්ව අප කෙරෙහි මිශ්‍රව පවතිනවාය.

මෙම ලියැවිල්ල මීට අවුරුදු 206 කට පෙර එනම් වර්ෂ 1819 දී එකළ පැවති ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කරන ලද්දකි. පානදුරවාසී බෞද්ධයන් පත්ව සිටි පීඩාකාරී තත්ත්වයෙන් මිදීම සඳහා අනුගමනය කළ මෙම ක්‍රියා මාර්ගයෙන් පැහැදිලි වනුයේ නම්බුව පිණිස හෝ තනතුරු පිණිස ආගම අත්හැරියද ඔවුහු සංස්කෘතියෙන් සිංහල බෞද්ධයන් වූ බවයි. මේ කාලයේ ආරම්භ කරන ලද බෞද්ධ පුනර්ජීවන අරගලය තවත් මුවහත් කරන්නට හේතු වූයේ මිෂනාරීන් සෘජුවම බෞද්ධ ඇදහිලි වලට සහ ග්‍රන්ථයන් ට දැඩි විවේචන එල්ල කිරීමයි. ඒ දුර්මත වලට පිළිතුරු දීමට පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ආගමනය සිදු වීමෙන් පරවාද මථනය කිරීම පහසු විය මිගෙට්ටුවත්තේ හිමියන්ගෙන් පසු ආනගාරික ධර්මපාල තුමා ඇති කල බෞද්ධ ප්‍රබෝධය නිසා පහත රට පළාත් වල විශාල බෞද්ධ ප්‍රගමනයක් ඇති විය. අමද්‍යප සටන් සහ බුද්ධ ගයාව බේරා ගැනීමට කළ සටන් සමගින් ජාතික නිදහසට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් නිර්මාණය විය. එහෙත් දහනව වන සියවස මුල් භාගයේ දී ආගම අත්හරිමින් නම්බුව සඳහා කටයුතු කළ බොහෝ පිරිසක් විය. ඔවුහු අතරින් පිරිසක් යළිත් බෞද්ධයන් බවට පත් වුවද දැඩි මිෂනාරි බලපෑම් තිබෙන පළාත් වල එය සිදු නොවීය. නමුත් ඔවුහු ද සංස්කෘතියෙන් බෞද්ධ වූහ. පෙර දක්වන ලද ලියැවිල්ල පරිදි භික්ෂූන් වහන්සේලාට ද ගෞරව කරමින් සංහිඳියාවෙන් කටයුතු කළහ. බෞද්ධ සහ කතෝලික පිරිස් අතරේ අවාහ විවාහ පවා සිදු වූයේ මේ මිශ්‍ර සංස්කෘතික ලක්ෂණයන් නිසාය. සිංහල බුද්ධාගම යනුවෙන් විද්වතුන් විසින් හඳුන්වන සංස්කෘතික ලක්ෂණයන් අදටත් අප ජන සමාජයේ නොනැසී පවතී. සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී මෙන්ම පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී දුකට පත් මුහුදුබඩ පළාත් වල කතෝලික මුස්ලිම් ජනතාවට සෑම අතකින්ම උදව් උපකාර ලැබුණේ සිංහල බුද්ධාගමේ අනන්‍ය ලක්ෂණයන් වූ අනුනට උපකාර කිරීමේ ගතිගුණ නිසාය.

(එදා ලේඛනගත බස් වහරින්ම මෙය පළවේ)


මතුගම සෙනෙවිරුවන්


advertistmentadvertistment