බිලියන 3 ක් දෙනවාද? නැද්ද? දැනුම් දෙන්නැයි ඉල්ලා ලිපියක්

231

මැ. කො. මුදල් ලේකම්ගෙන් ඡන්දෙට සල්ලි ඉල්ලයි!

මැතිවරණ කටයුතු ආරම්භ වී ඇති නිසා දැනට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය කඩිනමින් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (25 දා) ලිඛිතව දැනුම් දීමට නියමිතය.

මැතිවරණ කටයුතු සඳහා පුනරාවර්තන වියදම් (එදිනෙදා වියදම්) සඳහා රුපියල් බිලියන 03 ක් පමණ ගණන් බලා ඇති බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙනු ඇත. මෙම මුදල් ප්‍රමාණය ලබා දෙනවාද නැතිද යන්න දැනුම් දෙන ලෙස එම ලිපිය මගින් ඉල්ලා සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටියේය.

මැතිවරණ නියාමන පනත කථානායකවරයා විසින් බලාත්මක කළහොත් මෙම මැතිවරණයේදී අපේක්‍ෂකයකු විසින් ප්‍රචාරක කටයුතු සඳහා ඡන්දදායකයකු වෙනුවෙන් දැරිය හැක්කේ රුපියල් 15 ක් බව පෙරේදා (23 දා) මැතිවරණ කොමිසමේදී දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී දැනුම් දී ඇත.

මෙම මුදල පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ පනත බලාත්මක කර මැතිවරණ කොමිසම විසින් අදාළ වියදම් ප්‍රමාණය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බව ද නිලධාරීන් එහිදී පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. මේ අනුව දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක අපේක්‍ෂකයකුට තම කොට්ඨාසයේ සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව මුදල් ප්‍රමාණය තීරණය කළ හැකි බව ද පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

පුනරාවර්තන කටයුතු සඳහා යන සියලුම වියදම් ඇතුළත් විස්තරයක් මේ සමඟ මුදල් අමාත්‍යාංශයට යැවීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment