මෙරටින් මුල් වරට කළු දිලීර මරණයක්

191

ලංකාවේ පළමු වතාවට ‘කොවිඞ් නිව්මෝනියා’ හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ මරණය වාර්තා වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප‍්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා පවසයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඞ් නිව්මෝනියාව වැලඳීමෙන් මෙකී පුද්ගලයා සැප්තැම්බර් මස 29 වැනිදා මිය ගොස් ඇත. මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සැප්තැම්බර් මස 29 වැනිදා යොමු කළ බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසයි. මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ (21 දා) දින ලැබුණු බවත් ඒ අනුව මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ති‍්‍රමාලි ජයසේකර මහත්මිය විසින් මෙම පරීක්ෂණය සිදු කර ඇති බව ද අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය. මෙරට කොවිඞ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලීර සංකූලතා හේතුවෙන් මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය මෙය බව ද අධිකරණ වෛද්‍ය නිලධාරියා පැවසීය. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය මහත්මිය විසින් සිදු කරනු ලැබීය. මියගිය පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

ලලිත් චාමින්ද,එස්.කේ. කළුආරච්චි – ගාල්ල සහ හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment