මහනුවර ලංකාවේ අවසන් රාජධානිය බැවින්ම නගරය පෞරාණික වටිනාකමකින් අනූනය. බෝගම්බර බන්ධනාගාරයේ පැවැති ගොඩනැඟිල්ල ආසියාවේ එකම ලෝක උරුම ස්මාරකය බව පොදු මහත් ජනතාවට පමණක් නොව, බලධාරීන්ට පවා මේ වනවිට අමතකව ගිය බවක් පෙනෙන්නට තිබේ. පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත්ව ඇති බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි හෝ භූමිය යොදාගනු ලබන්නේ කුමන කාරණයකට ද යන වගට තොරතුරු විවෘතව ජනගත කරන්නේ නම් ජනතාවගේ සිත් හි මේ පිළිබඳ විනිවිද භාවයක් ඇතිවනු නිසැකය.

විටින්විට බාහිර තාප්පය බිඳ බිම දමා prison park ලෙස නම් කරමින් මහජනතාවට විවෘත විවේකී උද්‍යානයක් නිර්මාණය කිරීමට එවකට පැවැති ආණ්ඩුව කටයුතු කළහ. තවත් විටෙක එහි ගොඩනැඟිලි සංකීර්ණය ආශ්‍රිතව අභ්‍යන්තර භූමියේ දේශීය නිපැයුම් සහිත වෙළෙඳ කුටි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඇති බවට ද හාහූවක් පැතිර ගියහ.

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය හෙවත් බන්ධනාගාර ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවන්නේ 1870 දශකයේ දීය. 1976 වසරේ දී විවෘත කරන ලද බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිල්ල අක්කර දහතුනක භූමියක් තුළ ස්ථාපිත කොට ඇත.

ප්‍රංශයේ බැස්ටිල් කොටුව ආකාරයේ ප්‍රධාන පිවිසුම සහිත හා මුරකුලුනු සතර දෙසින් දැක්වෙන ආකාරයට ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ල වර්ගඅඩි නවදාහක රෝහලක් ද සහිත තට්ටු තුනක කුටි තුන්සිය අසූ දෙකක් සහිත කුටිවලින් අනූන ගොඩනැඟිල්ලකින් යුක්තය.

මෙම භූමිය 2014 වසරේ ජනවාරි පළමුවැනිදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉවත්කොට නාගරික සංවර්ධන මණ්ඩලය යටතට පවරනු ලැබුවේ එවකට පැවැති ආණ්ඩුව විසිනි. ඒ වනවිට අක්කර දහතුනෙන් අක්කර හතක් වන ආකාරයෙන් ඇතුළත පිහිටි කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඇමෙරිකන් ඩොලර් මිලියන 40ක ආයෝජනයක් වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම මත මිල කැඳවා ගන්න තිබීම ද සුවිශේෂී කාරණයක් විය. නමුත් ජන අරගල සිද්ධීන් ආණ්ඩු වෙනස් වීම් සිද්ධීන් ආදිය මත මෙහි සැලසුම් සියල්ල ක්‍රියාත්මක වීම අඩපණ විය.

බෝගම්බර බන්ධනාගාර පුරාවිද්‍යා ස්මාරකය තීරණාත්මක අදියරක

නමුත් මෑත කාලීනව නැවත යම් යම් ඉදිකිරීම් හෝ ඉදිකිරීම් සිදු කරන්නට යන බවක් ඇඟවෙන වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක වීම දක්නට ලැබේ.

දෙදහස් දහතුන වසරේ එවකට පැවැති රජය විසින් බෝගම්බර සිපිරි ගෙය දුම්බර පල්ලෙකැලේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව මේ දක්වා ම එම ගොඩනැඟිල්ල භාවිතයට ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹ තිබුණේ නැත. වර්තමාන මහනුවර නගර සංවර්ධනයේදී එය යොදාගත යුතු ආකාරය පිළිබඳ විවිධ මතිමතාන්තර මේ වනවිට පළවීම හේතු කොටගෙන පැහැදිලි එමෙන්ම නිශ්චිත තීරණයකට පැමිණේ යැයි බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයේ පසුවන බව ප්‍රකාශ කරන්න පුළුවන්. මෙම භූමියේ ගොඩනැඟිලි සංකීර්ණය පිළිබඳ තීරණ ගැනීමේදී එය හොඳින් හිතා මතා කළ යුතු වන්නේ යම් දවසක ඉතිහාසය විසින් එම තීරණයන්ට ප්‍රශංසා කිරීම හෝ සාප කිරීම සිදුකළ හැකි බැවින් බව මතක තබාගත යුතුය. තවත් විදිහකින් අවධානය යොමු කරනවා නම් මේ සම්බන්ධ ගතයුතු තීරණ හා ක්‍රමවේද පැහැදිලි ලෙස තක්සේරු කළ යුතු මට්ටමක පැවැතිය යුතුය. නොඑසේනම් එහිලා තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය.

මහනුවර නගර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම බන්ධනාගාර ගොඩනැඟිල්ල සහිත භූමිය වර්තමානයේ අතිශය ඉහළ මිලකට වටිනාකම තක්සේරු කළ හැකි ය. නමුත් රටක සියල්ල මුදලට යටත් කළ පමණින් එයට අභිමානවත් රටක් ලෙස නැඟී සිටිය නොහැකිය. විශේෂයෙන්ම ලංකාව ගත්විට වර්තමානයේ අපට ඉතිරිව ඇත්තේ අපගේ උරුමය පමණක් යැයි හැඟෙන තරමට අප පිරිහී ගොස් ඇති බව නොරහසකි. එම නිසා සංවර්ධනය සිදුවිය යුත්තේ එහි ඇති වටිනාකම රැකෙන අයුරින් මිස සියල්ල විනාශ කරමින් නොවේ. තිරසාර සංවර්ධනය යනු පවතින අනාගත පරම්පරාවන්ට ද පවත්වාගෙන යෑමට මඟ පාදා දෙමින් සිදු කරන සංවර්ධනයකි.

මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යාත්මක වශයෙන් සහ ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන එම වර්ගයේ එකම ගොඩනැඟිල්ල වන අතර එහි අභ්‍යන්තර හා බාහිර ගති ලක්ෂණ නැවත ගොඩනැඟිය නොහැකි අනන්‍යතාවයකින් යුක්තය.

බෝගම්බර බන්ධනාගාර පුරාවිද්‍යා ස්මාරකය තීරණාත්මක අදියරක

තවත් සුවිශේෂී කරුණක් වන්නේ ද එංගලන්තයේ නගර මධ්‍යයෙහි මෙම ගොඩනැඟිලි ආකෘතියම භාවිත කරමින් බන්ධනාගාර පවත්වාගෙන යෑමය. තවද පුරාවිද්‍යාත්මක වශයෙන් ස්මාරක වටිනාකම (memorial value) ලෙසද කලාත්මක හා සෞන්දර්යාත්මක ( artistic and eesthetic) භෞතික වස්තුවක් ලෙස ද මෙය අගය කළ හැකියි. එම නිසා මෙම ගොඩනැඟිලි භූමිය දේශීය හා විදේශීය සංචාරකයන්ට නැරඹීම සඳහා භාවිත කළ හැකි ස්ථානයක් ලෙස වැඩි දියුණු කළ හැකිය. සමස්තයක් ලෙස ගොඩනැඟිල්ල ද තවදුරටත් ගොඩනැඟිල්ලේ දක්නට ලැබෙන විශේෂතා අනුඅංග ලෙසත් ප්‍රදර්ශනය කළ හැකිය. ලොව පවතින ප්‍රදර්ශිත එකම අංග සම්පූර්ණ බන්ධනාගාරයක් ලෙස මෙය නම් කළ හැකි තත්ත්වයක ද පවතී. මෙවැනි පැරණි ගොඩනැඟිලි, රජමාලිගා, දේවස්ථාන ලොව සෑම රටක ම පාහේ සංරක්ෂණය කොට මහජන ප්‍රදර්ශනය සඳහා වෙන් කොට තබා ඇත. වර්තමානයේ අතිශය දියුණු නගරයක් වන පිලිපීනයේ මැනිලා නුවර මධ්‍යයෙහි අහස උසට දිවෙන නවීන මන්දිර ගොඩනැඟිලි සමූහය අතර දෙවන මහ ලෝක යුද්ධ සමයේ විනාශ වූ ගොඩනැඟිලි සමූහයක් නටඹුන් ලෙස දැනුදු මහජන ප්‍රදර්ශනය සඳහා ඉතිරිකොට තබා සුරක්ෂිතව ප්‍රදර්ශනය කරන්නට ඔවුහු කටයුතු කරති.

වසර 141ක් පමණ පැරණි පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර ඇති බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය රැක ගනිමින් තවදුරටත් සංරක්ෂණය කළ යුතුය. සුදුසු පරිදි භාවිතයට ගැනීම වඩාත් වැදගත් බව මම ප්‍රකාශ කරන්න කැමැතියි. බන්ධනාගාර ගොඩනැඟිල්ල සැලකීමේදී රටේ උරුමයක් ලෙස පුරාවිද්‍යා ආඥාපත්වලට අනුව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කොට ඇති අතර පවතින නීතිය යටතේ එහි කිසිදු කොටසක් කඩා දැමීම, වෙන් කිරීම, විකෘති කිරීම හෝ නව අංග එක් කිරීම කළ නොහැකි බව සමස්ත රට වැසියන්ම දැනගත යුතුයි.

ඇතැම් අවස්ථාවලදී මුල්කෘතියට හානි නොවන අයුරින් සුදුසු පරිදි අවශ්‍ය අංග බාහිරව එක් කළ හැකි අතර එයද කළ යුත්තේ අදාළ දියුණු කිරීම් නිර්දේශ කළ පසුව පමණයි. නීතියට අනුව අදාළ අංශ මගින් පමණයි.

ශ්‍රී ලංකාවේ නම් මෙහි පූර්ණ බලධාරියා වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වන අතර අවසන් තීරණය විෂය භාර අමාත්‍යවරයා සතුයි.

මහනුවර නගරයේ ලෝක උරුම නගරයක් ලෙස නම් කර 1988 වර්ෂයේදී ලියාපදිංචි කොට ඇති අතර මෙම ස්මාරකය ලෝක උරුම ස්මාරකයක් ලෙස ද නම් කර ඇත. ලෝක උරුමයක් වන මහනුවර නගරය පිළිබඳව තීරණ ගැනීමේ දී ප්‍රවේශම් වියයුත්තේ භූමියක පුරාවිද්‍යා ස්ථානයක හෝ ජෛව විවිධත්ව ස්ථානයක පුරාවස්තුවක හෝ ස්මාරකයක එම තක්සේරු අගය ගිලිහී ගියවිට එය ලෝක උරුම ලේඛනයෙන් ඉවත් කිරීමට බලධාරීන්ට ඇති නෛතික හැකියාව පදනම් වන නිසාවෙනි. එබැවින් බෝගම්බර බන්ධනාගාර ස්මාරකය රැකීම ප්‍රදේශයට මෙන්ම රටට වැඩදායකය.

මෙම ස්ථානයට වඩාත් ගැළපෙන්නේ නැරඹූම් මධ්‍යස්ථානයක් ( Visiting site) ලෙස දේශීය හා විදේශීය ජනයාට ප්‍රදර්ශනය කිරීමය. ස්මාරකය ආරක්ෂා වන ආකාරයෙන්ම ආදායම් ඉපැයිය හැකි ලෙසටත් එම ව්‍යාපෘතිය සකස් කළ හැකිය. විධිමත්ව සැලසුම් සහගතව එය කළ යුතු බව තරයේ මතක තබා ගතයුතුය. මන්ද බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළ අවස්ථාවේ පැමිණි ජන සංඛ්‍යාව විමර්ශනය කිරීමෙන් ඒ සඳහා යම් අදහසක් ලබාගත හැකිය. වර්තමානයේ මහනුවරට පැමිණෙන පිරිසේ ප්‍රමුඛ මධ්‍යස්ථානය වන්නේ ශ්‍රී දළදා මාලිගාවයි. ඉන් අනතුරුව බොහෝ දෙනාගේ සංචාරය කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයටය. ඉන් අනතුරුව සංචාරකයන්ට ඇත්තේ කැමැතිනම් හෝටලේකට ගොස් විඩාව නිවීම හෝ නගරයෙන් පිටවී යෑමය.

ලොව මවිත වන අලංකාර පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීමට ද වැඩි පිරිසකට අවබෝධයක් නැත. ඇතැම්විට මහනුවර අවට පිහිටි ඉපැරණි පුරාවිද්‍යා ස්ථාන කීපයක් එනම් දෙගල්දොරුව, ගඩලාදෙණිය, ඇම්බැක්ක, ලංකාතිලක වැනි ස්ථාන අරමුණක් නැතිව නරඹා නික්ම යන්නට කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය තුළින් විශාල ආදායමක් ඉපයිය හැක. මහනුවර නගරයේ සඳහා තවමත් පැහැදිලි සැලසුමක් නෑ. මේ සඳහා කළ හැකි යෝජනා රාශියක් අතර බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි ආශ්‍රිත භූමිය එහිලා බෙහෙවින් ප්‍රයෝජනයට ගතහැකියි. එම ගොඩනැඟිලි තුළ අංග සම්පූර්ණ කෞතුකාගාරයක් ඉදි කිරීම ඉතා සුදුසුයි. මන්ද තවමත් ලංකාව තුළ අංග සම්පූර්ණ කෞතුකාගාරයක අවශ්‍යතාවයක් දැඩිව පවතිනවා.

බෝගම්බර බන්ධනාගාර පුරාවිද්‍යා ස්මාරකය තීරණාත්මක අදියරක
බෝගම්බර බන්ධනාගාර පුරාවිද්‍යා ස්මාරකය තීරණාත්මක අදියරක

පූර්ණ වශයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ප්‍රධාන කෞතුකාගාර සියල්ල ම පාහේ රජයේ ආයතන තුනක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පවත්වාගෙන යනු ලබනවා. කෞතුකාගාර සඳහා තවමත් කෞතුකාගාර විද්‍යාව ප්‍රගුණ කළ විද්‍යාර්ථීන් ඇත්තේ නැහැ. පුහුණු නිලධාරීන් මණ්ඩලයක් දැක්කේ නැහැ. තවද ලොව පවතින වර්තමාන කෞතුකාගාර හා සැසඳීමේදී අපගේ කෞතුකාගාර පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැකියි.

මහනුවර ප්‍රදේශයට නවීන ක්‍රමවේදවලට අනුකූල වූ සැලසුම් කළ පූර්ණ කෞතුකාගාරයක අවශ්‍යතාවය තදින්ම පවතිනවා. ලංකාවේ දැනට පවතින කෞතුකාගාර මෙන් නොව, නව කෞතුකාගාර සංකල්පයන්ට හා ප්‍රදර්ශන මාදිලිවලට අනුකූල වූ මහජන ආකර්ෂණය ඇති කරන කෞතුකාගාරයක් ලෙස එය ගොඩනැඟිය යුතුය.ි දැනට සිදු කර ඇති පර්යේෂණ අනුව පෙනී යන්නේ ලංකාවේ කෞතුකාගාර නැරඹීම සඳහා පැමිණෙන්නේ ඉතා අල්ප පිරිසක් බවයි. ඔවුන්ද වන්දනාවේ හෝ වෙනත් සංචාරයක් කරන අතරතුර පැමිණෙන පිරිසක් මිස කෞතුකාගාර නැරඹීම සඳහා ම පැමිණෙන පිරිසක් නෙවෙයි.

මහජන මුදලින් නඩත්තු වන කෞතුකාගාර මේ හේතුව නිසා අනාගතයේ බරපතළ ගැටලුවලට මුහුණදෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. පිළියම් වශයෙන් මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැඟිලි තුළ නවීන කෞතුකාගාර ඉදිකිරීමට සැලසුම් සකස් වියයුතුයි. මහනුවර උරුමය විදහා දක්වන අංග සම්පූර්ණ කෞතුකාගාරයක් බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඉදිකිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන්ට අවසන් රාජධානියේ පෞඪත්වය පිළිබඳ හැඟීම් ජනිත වන බවත් අනාගත පරපුරට ලෝක උරුමය රැකගෙන යෑමත් සිදුවන බව ට සැකයක් නැහැ.

බෝගම්බර බන්ධනාගාර පුරාවිද්‍යා ස්මාරකය තීරණාත්මක අදියරක

විටින්විට ජනතා අවධානය ඇති කරමින් තවත්විටක සැක සංකා ඇති කරමින් අක්කර දහතුනක් පුරා විහිද ඇති මෙම ගොඩනැඟිල්ලේ කෙළවරක භූගත කොටසක් හාරා දමමින් සිදුකොට ඇත්තේ මහජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි භූගත පාලමක් ඉදිකිරීමට බව දැන ගන්නට ලැබුණි. නමුත් එවැනි භූගත පාලමක් සකස් වියයුත්තේ මහනුවර නගර සැලැස්ම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව බව ඉඟි පළවී ඇත. මේ සම්බන්ධයෙන් කරුණු දැන

ගැනීම පිණිස නාගරික සංවර්ධන අධිකාරියේ ධ්‍යම පළාත් භාර ප්‍රධානියා මුණගැසීමට සහ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක දීම උත්සාහ කළ නමුත් ඔහු සම්බන්ධ කරගත නොහැකි විය. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ දැනට පවතින මෙම භූමි ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා මහනුවර නගර සැලසුම් කමිටුව දැනටමත් සැලසුම් සකස් කරමින් ඇත. මහජන සුබ සිද්ධිය උදෙසාත් පෞරාණික වටිනාකමකින් යුත් මෙවැනි ඓතිහාසික ගොඩනැඟිලි ආරක්ෂා කර ගැනීමටත් රටේ බලධාරීන්ගේ වගකීම හා යුතුකමය.

ආචාර්ය චූලනී රඹුක්වැල්ල
පුරාවිද්‍යා මූලාසන මහාචාර්ය

පිංතූර – අන්තර්ජාලයෙනි


advertistmentadvertistment