බෝම්බ ගසා යුවළක් මරාදැමූ සිද්ධිය: සැකකරුවන්ට ඇපදීම 10 වැනි වතාවටත් ප්‍රතික්ෂේප කරයි

694

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට යුවළක් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසරක් පුරා බන්ධනාගාරයේ සිටින සැකකරුවන් හත්දෙනාට ඇප ලබාදීම වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා විසින් ඉකුත් 25 දා ප්‍රතික්ෂේප කරනු ලැබීය. සිද්ධිය වූ නිවසේ 2023 -07- 23 දින උපන්දින සාදයක් පැවති අතර ඊට සහභාගී වී සිටි අඹුසැමි යුවළක් මරා දැමීමේ සිද්ධියට පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටී.

උපන්දින සාදයට සහභාගි වී සිටි අඹුසැමි යුවළේ කාන්තාව ඊට පෙර ග්‍රාම නිලධාරියකු සමග ඇසුරක් පවත්වා ඇති අතර එය නතරකොට වෙනත් අයකු සමග විවාහ වීම නිසා ඇගෙන් පළිගැනීමට ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙන ලද කොන්ත්‍රාත්තුවක් මත අඹුසැමි යුවළම ඝාතනයට ලක්කරපු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණි. එම සිද්ධියෙන් මියගියේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි සුගන්දන් සහ ෆාතිමා සසීමා නමැති අඹුසැමි යුවළයි.

එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හත් දෙනා දැනට වසරක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අතර ඔවුන්ව අවස්ථා 9කදී වවුනියාව දිස්ත්‍රික් අධිකරණයට හා මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට ඇප ලබාදී නොතිබුණි.

ඒ බව සඳහන් කරමින් සැකකරුවන් වෙනුවෙන් වවුනියාව මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබූ අතර එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතිඥ ආරුමුගම් ධනුසන් සහ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ඇප ලබාදීමට එරෙහිව කරුණු දැක්වූ නිසා වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කරමින් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව පළමුවැනි හා හත්වෙනි විත්තිකරුවන් දෙදෙනාගේ රිමාන්ඩ් කාලය නොවැම්බර් මස 01 වෙනිදා දක්වාද ඉතිරි පස්දෙනාගේ රිමාන්ඩ් කාලය පෙබරවාරී මස 25 දක්වාද දීර්ඝ කෙරුණි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment