බිලියන 1.4ක ජනගහනයක් සිටින ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට වේ. ඔවුන්ගෙන් මිලියන 969කට මෙවර පැවැති මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණි. විදේශයන්හි වෙසෙන මිලියන 13.4ක ඉන්දියානු පුරවැසියන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර ඡන්ද ප්‍රකාශ කිරීමට නැවත ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණි.

ඉන්දියාව වර්ග සැතපුම් මිලියන 1.3ක (වර්ග කිලෝමීටර් මිලියන 3.3ක්) ක්ෂේත්‍රඵලයකින් යුක්ත වේ. මෙවර මැතිවරණය ආරක්ෂාව සහ සැපයුම් හේතුවෙන් පසුගිය අප්‍රේල් 19 වැනි දා සිට ජුනි 01වැනි දා දක්වා දින 44ක් තිස්සේ කොටස් හතකින් පැවැත්විණි.

මෙවර ඉන්දීය මැතිවරණයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් අගමැතිවරයා ලෙස දිව්රුම් දෙනු ලැබූවත් ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ආසන 400ක ඉලක්කයක් අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන්ට ජයගැනීමට හැකිවූයේ ආසන 240ක් පමණි.

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවය පසුගිය 09 වැනිදා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දිව්රුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හෂීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද, සීෂෙල්ස් උප ජනාධිපති මොරිෂීයස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ ඇතුළුව 9000ක පමණ පිරිසක් ආරාධනා ලැබ සිටියහ.

භාරතය දිනූ මෝදි රාජ්‍ය තාන්ත්‍රිකත්වය අබිබවා මිත්‍රත්වයේ හස්තය අපට දිගු කළ හැටි සියසින් දුටුවෙමි
තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කළ අවස්ථාව.

උත්සවයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී. කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීන් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න යන මහත්ම මහත්මීන් පිළිගනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබාදී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර මෙවර මෝදි අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සව අවස්ථාව ආවරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව මෙරට මාධ්‍ය කණ්ඩායමක් යොමු කිරීමට ද කටයුතු කර තිබිණි.

ඒ සඳහා ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා මැදිහත්ව කටයුතු කර තිබුණි. මෙම සංචාරයට ඇමැති, රාජ්‍ය ඇමැති හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කිසිදු මන්ත්‍රීවරයකු සහභාගී කරගෙන නොතිබීමද විශේෂයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළට පැමිණීමට සහ ඉන්දියාවේ සිට පිටවීමට (මෙරටට පැමිණීමට) එයාර් ඉන්දියා ගුවන් සේවය භාවිත කිරීමට කටයුතු කර තිබුණි. ජනාධිපතිවරයා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද පැවැත්විණි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිව්රුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රාජ්‍ය නායකයන් ඔහු වෙත ගොස් උණුසුම් සුබපැතුම් එක් කළහ. දිව්රුම් දීමේ උත්සවය රාත්‍රී 7.00ට ආරම්භ වුවද ඒ වනවිට මෙරට වේලාවෙන් පස්වරු 5.00 පමණ වන සූර්්‍යාලෝකයක් එහි පැවැතිණි. එම වේලාව සහ මෙරට වේලාව එකම වේලාවක් වන අතර දිල්ලියේ දිවා කාලය උණුසුම වැඩිවීමක් නිසා රාත්‍රී 7.00ට දිව්රුම් දීම ආරම්භ කරන්නට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයෝ ප්‍රමුඛ ආරාධිතයන් 9000ක පමණ පිරිස වෙනුවෙන් රාෂ්ට්‍රපති භවන් ඉදිරිපස භූමියේ අසුන් පනවා තිබීම ද විශේෂයක් විය. ආගමික නායකයන්, නළු නිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන පනවා තිබුණේ මාලදිවයින ජනාධිපති හා මුරුසි රාජ්‍යයේ අගමැතිවරයා අතරය.

භාරතය දිනූ මෝදි රාජ්‍ය තාන්ත්‍රිකත්වය අබිබවා මිත්‍රත්වයේ හස්තය අපට දිගු කළ හැටි සියසින් දුටුවෙමි
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හෂීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතව සිටි අයුරු.

ඇමැති මණ්ඩලය ජනාධිපතිනි ද්‍රෞපදි ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු මෝදි අග්‍රාමාත්‍යවරයාගේ දිව්රුම් දීම සිදුවිය. අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. ඇමැති මණ්ඩලය සහ අග්‍රාමාත්‍යවරයා දිව්රුම් දීමෙන් පසුව විශේෂ පීඨිකාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා සමග සමූහ ඡායාරූපයකට පැමිණි රාජ්‍ය නායකයන් පෙනී සිටියහ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසලම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්ථානය වෙන් කර තිබීම විශේෂත්වයක් විය. එමෙන්ම කලාපයේ රාජ්‍ය නායකයන් විශේෂ පීඨිකාවට පැමිණෙනවිට ඔවුන් නියෝජනය කරන රට හා රාජ්‍ය නායකයාගේ නම පමණක් සන්නිවේදනය කෙරුණත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳව සුවිශේෂී හැඳින්වීමක් සිදුකළහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමෙන් අනතුරුව අනෙකුත් රාජ්‍ය නායකයන් සමග සුහදව කතා බහ කළ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එම ආරාධනාව පිළිගැනීමට මෝදි අග්‍රාමාත්‍ය එකඟ විය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ලබන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටි නවදිල්ලි ෂක්‍ඔ හෝටලය වෙත පැමිණ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.කේ. ජයිශංකර් මෙනන් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයාට මෙරටට පැමිණෙන ලෙස කළ ආරාධනය මෝදි අගමැතිවරයා පිළිගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අගෝස්තු මාසයට පෙර තමා ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදුකරන බවත් එහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන දින වකවානු සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණිය හැකි බවත් ජයිශංකර් මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

තමා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ කෙරෙන ඉන්දීය ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලන බවත් අතරමඟ නතර වී ඇති ව්‍යාපෘති නැවත ඇරඹීමට කටයුතු කරන බවත් ජයිශංකර් මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. අසල්වැසියාට මුල්තැන දෙන ඉන්දීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජයිශංකර් මහතා ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපයට ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන් ද ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද සඳහන් කර තිබේ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනු ලැබුවේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය හා ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුළත් වන බවයි. එසේම සත්‍ය හා ප්‍රතිසන්ධාන පනත ලබන ජූලි මාසයේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා ජයිශංකර් මහතා හමුවේ පවසා තිබේ.

කෘෂිකර්ම නවීකරණය ගැන දෙරටේ සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්ඡා කර විසඳුමකට එළැඹිය යුතු බව මෙහිදී එකඟතාවයකට එළැඹිණ.

භාරතය දිනූ මෝදි රාජ්‍ය තාන්ත්‍රිකත්වය අබිබවා මිත්‍රත්වයේ හස්තය අපට දිගු කළ හැටි සියසින් දුටුවෙමි
නැවත වරක් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස පත්වූ එස්. කේ. ජයිශංකර් මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කරන අයුරු.

වතු ලයින් කාමර, වතු ගම්මාන වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද කී ජනාධිපතිවරයා ගැසට් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අදාළ ගම්මාන දියුණු කිරීමට හැකියාව ලැබෙන බව කීය.

අනතුරුව ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හෂීනා මහත්මිය සමග මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී බංග්ලාදේශ කෘෂි නවීකරණ වැඩසටහනේ සහාය මෙරටට ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව බංග්ලාදේශයේ කෘෂි නවීකරණය වැඩසටහන අධ්‍යයනය කිරීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන් කණ්ඩායම් වශයෙන් බංග්ලාදේශයට යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එකඟ විය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර ඉන්දීය නිදහස් ගිවිසුමේ කටයුතු අවසන් කිරීමෙන් පසු බංග්ලාදේශය සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව පවතින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ අගමැතිවරියට ප්‍රකාශ කළේය. බංග්ලාදේශ පෞද්ගලික ආයෝජකයන් ද මෙරට ආයෝජන සඳහා යොමු කරන බව ද අගමැතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. බංග්දේශයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වන්නැයි බංග්ලාදේශ අගමැතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ අතර එම සමුළුව පැවැත්වෙන දින වකවානුවල ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයක් බැවින් ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ ඇමැති අලි සබ්‍රි මහත්වරුන් සහභාගි කරන බවද ජනාධිපතිවරයා අගමැතිවරියට දැනුම් දුන්නේය.

මැතිවරණයෙන් පසු තමා බංග්ලාදේශයේ සංචාරයකට පැමිණෙන බව ජනාධිපතිවරයා අගමැතිවරියට පොරොන්දු විය. මෙහිදී අගමැතිවරිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘත්ති තත්ත්වයට ගෙන ඒමට හැකි වීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටට පත්වන බව පැවැසූ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ලංකාවේ ආර්ථිකය එම තත්ත්වයට ගෙන ඒමට බංග්ලාදේශ සහ ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවයි.

සටහන – චමින්ද සිල්වා
ඉන්දියානු සංචාරයෙන් පසු

advertistmentadvertistment
advertistmentadvertistment