මතක රූපයක්

24

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය වගේ ම සංස්කෘතික උරුමය හා විවිධත්වය ප්‍රබල හා ආකර්ශනීය විදිහට මිනිසුන් අතරට නැත්නම් ලෝකයට ගෙනියන්න ඡායාරූප ශිල්පීන් සහ ඔවුන්ගේ ඡායාරූප විශාල භූමිකාවක් ඉටුකරනවා. අද වනවිට එහි තීව්‍රතාව වැඩි වෙලා තියෙනවා වගේම අතිශය බලපෑම් සහගත වී තිබෙනවා. එහි සාධනීය නිශේධනීය පැති ගණනාවක් දක්නට ලැබෙනවා වුණත් මේ සංවේදී සහ බලපෑම් සහගත බව බැහැර කළ නොහැකියි. විශේෂයෙන්ම වන ජීවී ඡායාරූපකරණය සම්බන්ධයෙන් මෙරටින් බිහි වුණු විශිෂ්ට වන ජීවී ඡායාරූප ශිල්පීන් ගණනාවක්ම අපට ඉන්න බවත් අමතක නොකළ යුතු කාරණයක්.

ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්ය කැටිවුණු ඡායාරූපවලියක් 1990 දශකයේ ජනප්‍රිය වෙලා තිබුණා. ඔබ මතක තබා ගතයුතුයි, ඒ ජංගම දුරකතන, ඩිජිටල් කැමරා සහ උපාංග කරළියේ නොතිබුණු යුගයක්. ඩිජිටල් සහ ඔටෝ වෙනුවට දළ සේයාපට සහ මැනුවල් උපාංග තිබුණු යුගයක්. ඒ වගේම බොහෝදෙනකුට අද වගේ වන ජීවී ඡායාරූපකරණයට සහ ඡායාරූපවලට ප්‍රවේශ වෙන්න මේ කාලේ හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා වන ජීවීන්ට කැමැත්කත් තිබුණු බොහෝදෙනකුට තමන්ගේ ආශාවේ පිපාසාව සංසිඳුවා ගන්න වුණේ පුවත්පත්, සඟරා සහ කැලැන්ඩරවල පළ වුණු ඡායාරූපවලින්. මේවා එකතු කරන්නත් ඒ කාලේ ලොකු තරගයක් තිබුණා. මම අදටත් ඒ ඡයාරූපවල කර්තෘන් සහ මූලාශ්‍ර නොදන්නවා වුවත්, ඒවායේ ස්මෘති ලාංඡන මනසේ තැම්පත් වෙලා තිබෙනවා.

මම අද ඔබට කියන්න හදන්නේ මගේ මනසේ ඇඳී තිබෙන සහ අපේ කුඩා කාලේ බොහො ම ජනප්‍රිය වෙලා තිබුණ ඡායාරූප දෙකක් ගැන. මේවා වන ජීවී හෝ සොබා හෝ වෙනත් ප්‍රවර්ගයකට අයත් දැයි කියා මා දන්නේ නෑ. මගේ කතාව ගොනු වෙන්නේ මේ ඡායාරූපවලට විෂය වුණු වස්තූන් සහ සිද්ධිවලට වර්තමානයේ මොකක්ද වෙලා තියෙන්නේ කියන දේ වටා ය. ඒ කියන්නේ ඡායාරූප පිටුපස කතාව නෙමෙයි. ඊට ඉදිරියෙන් තිබෙන කතාව. ඒක අයිති වර්තමානයට සහ අනාගතයට.

ඉස්සෙල්ලාම මගේ මතකයට එන්නේ තෘණ ගාලකින් වැසුණු වැවක බැහැලා තෘණ බුදින පෘෂ්ඨිමත් වන අලියෙක් ඉන්න ඡායාරූපයක්. උගේ හොඬයේ මේ දැන් කඩා ගන්නා ලද තෘණ පිඩක් දිය විසුරවමින් තිබෙනවා. උගේ පිටේ කොක්කු කීපදෙනකුත් වසා ඉන්නවා. මේ ඡායාරූපය අලින් ගැන ඇති කරන්නේ හරි ම ආකර්ශනීය සහ සජීවී හැඟීමක්. මම මෙහෙම කියන කොට ඔබ කවදා හෝ මේ ඡායාරූපය දැක ඇත්නම් එය සිහියට එනවාට සැකයක් නැහැ.

මේ ඡායාරූපය ලාහුගල ජාතික උද්‍යානයේ මහවැවේ ගන්නා ලද ඡායාරූපයක් බව කිය වෙනවා. මේ අලියා කන්නේ බෙරු (Cupscale grass) නම් තෘණ විශේෂයක්. මේ තෘණ විශේෂය මේ කලාපයේ වැව් කීපයක පැතිරී තිබෙනවා වගේම මෙහි ජීවත් වන, වන අලින්ගේ ප්‍රධානතම ආහාර මූලාශ්‍රයක්. නමුත් අද වනවිට මේ බෙරු බුදින වන අලි ලාහුගල උද්‍යානයේ දකින්න ලැබෙන්නේ නෑ. හේතුව තමයි මහවැවේ බෙරු තවත් දුරටත් දක්නට නොමැති වීම. ඒවා මිය යමින් තිබෙනවා. පූර්වයෙහි පැතිරී තිබූ ඇතැම් ප්‍රදේශවලින් මේ වනවිට බෙරු සම්පූර්ණයෙන් වඳ වී ගොසින්. එහි සේවය කරන වන ජීවී නිලධාරීන් නැවත මේ බෙරු මහවැවේ රෝපණය කරන්න ගත්තු උත්සාහයන් පවා මේ වනවිට අසාර්ථක වෙලා. මේ වඳ වී යෑමට හේතුව මොකක් ද කියලා තවම නිවැරදිව අනාවරණය කර ගෙන නෑ. ඇතැම්විට මේ සඳහා උද්‍යානයෙන් පිතට සිදුවන යම් මානව ක්‍රියාවලියක් හේතු වෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා හේතු සොයාබලා කඩිනමින් පිළියම් කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි. මේ තෘණ විශේෂය කලාපයේ පරිසර පද්ධතිවල තුලිතය රැක ගැනීමට වගේම අලි මිනිස් ගැටුම වගේ උපද්‍රව පාලනයටත් හේතු වෙනවා. නමුත් මේ වඳ වී යෑම සමස්ථ පරිසර පද්ධතියම අර්බුදයට ගෙන යමින් තිබෙනවා. එහි බලපෑමේ ස්වරූපය පුරෝකථනය කරන්න තාම කල් වැඩියි.

සංචාරක සහ සොබා සෞන්දර්ය වටිනාකම විමසුවහොත් ලාහුගල ජාතික උද්‍යානයේ ජෛව විවිධත්වය, සංචාරක ආකර්ෂණය වගේම අනන්‍යතාවයත් මේ එක්කම අහිමි වී යමින් තිබෙනවා. මේ මොහොතේ උද්‍යාන කළමනාකරුවන්ට පර්යේෂකයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුණොත් සිදු වෙන්නේ මම මුලින් සඳහන් කරපු ඡායාරූපය අතීත මතකයක්, සැකසහිත වර්තමානයක් සහ ඛේදනීය අනාගතයක සාක්ෂියක් විතරක් වෙන එක.

දෙවනුව මගේ සිහියට එන්නේ රක්ත වර්ණයෙන් හිරු බැස යන පසුබිමක දියේ බැස ගෙන ගොදුරු සොයන සියක්කාරයන් (Flamingos) රංචුවකගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය බුන්දල ජාතික උද්‍යානයේ දී ගන්නා ලද්දක් බව මම අසා තිබෙනවා. බුන්දල ජාතික උද්‍යානයක් වගේම රැම්සා ප්‍රඥප්තිය යටතේ ජාත්‍යන්තරව පිළිගත් තෙත් බිමක්. මේ තෙත් බිම දහස් ගණනක් සංචාරක කුරුල්ලන්ට පාරාදීසයක්ව තිබුණා.’ නමුත් අද වනවිට තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. සංචාරක කුරුල්ලන්ව පෝෂණය කරපු බුන්දල කලපුව මේ වනවිට පෙඳ පාසි සහ ඇල්ගීවලාවලින් වැසී ගිහින්. එය තවදුරටත් කලපුවේ ජීවය නසා දමමින් තිබෙනවා. කෘෂි රසායනික සහ විශේෂයෙන් රසායනික පොහොර ඇළ මාර්ග හරහා කලපුවට ගලා ඒම මේ තත්ත්වයට හේතු වී තිබෙන බව ඇතැම් පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා. කිලෝමීටර් දස දහස් ගණනක් දුරුකතර ගෙවාගෙන එන සියක්කාරයන්ට සහ තව බොහෝ පක්ෂීන්ට තවදුරටත් බුන්දල ගෝචර බිමක් වන්නේ නැහැ. මේ අලංකාර පක්ෂීන් නැතිකම නිසා ම බුන්දල ජාතික උද්‍යානයේ සංචාරක ආකර්ෂණයත් මේ වනවිට බිඳ වැටී තිබෙනවා. ඒ මත ජීවිකාව ගෙනගිය බොහෝ දෙනකුගේ යැපීම් මාර්ගත් තිබෙන්නේ අවදානමක. ඉතිං, සියක්කාරයන් රංචු නොගසන බුන්දලක් ගැන අපිට ආඩම්බර විය හැකි ද?

අප සතුව අතීත මතකයක් හෝ වර්තමාන සාක්ෂියක් වශයෙන් තිබෙන වන ජීවී හෝ සොබා ඡායාරූපයකට සැබෑ අරුතක් එකතු කළ හැක්කේ ඒ ඡායාරූපයට විෂය වූ වස්තුව හෝ ක්‍රියාවලියේ පැවැත්ම තහවුරු කිරීමට හැකියාවක් අපට තිබෙන්නේ නම් පමණයි කියලා මා කල්පනා කරනවා. එයින් මා අදහස් කරන්නේ නෑ වන ජීවී ඡායාරූපකරණය සහ ඡයාරූප ශිල්පීන් වන ජීවී සංරක්ෂණය කෙරෙහිම යොමු වියයුතු බව. එනයින් මගේ ආකල්පය ඡායාරූපවේදයට නොගැළපිය හැකි නමුත්, සංරක්ෂණ අර්ථයෙන් විමසුවහොත් නෂ්ට වී ගිය මතකයක සාක්ෂියක් වනවාට වඩා පණ ගහන සජීවී මතකයක ආඩම්බර කොටස්කරුවකු වෙන්න ලැබෙනවානම් මා පෞද්ගලිකව ඊට කැමැතියි. වන ජීවීන් නැතිව වන ජීවී ඡායාරූප සහ ශිල්පීන්ගේ අර්ථයක් තිබෙනවාද? නිසැකවම නැහැ. එහෙනම් වන ජීවී සංරක්ෂණය සඳහා ඔවුන්ගේ දායකත්වය, ඔවුන්ගේ ප්‍රබලතා ද සමග අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් ඔබේ වන ජීවී ඡායාරූප ගොනුව ගැනත් වෙනස් විදිහට හිතන්න සහ ක්‍රියා කරන්න දැන් වෙලාව හරි කියලයි මම නම් හිතන්නේ.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය


advertistmentadvertistment