මන්දනා-රානා සහ අමන්ජොත්ගේ සුපිරි හරඹයෙන් ඉන්දීය කාන්තාවෝ ශූරතාව දිනති

46

ඉන්දියාව ලබාදුන් දැවැන්ත ලකුණු 342ක ඉලක්කය හඹා යෑමට ශක්තිමත් කඩුලු අතර සම්බන්ධතාවක් ගොඩනොනැගීමෙන් ඉන්දියාව හමුවේ තුන්කොන් අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 97ක අමිහිරි පරාජයක් උරුම විය.

මන්දනා-රානා සහ අමන්ජොත්ගේ සුපිරි හරඹයෙන් ඉන්දීය කාන්තාවෝ ශූරතාව දිනති

එම ජයග්‍රාහී ලකුණු 342 හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 245ක් පමණි.

මන්දනා-රානා සහ අමන්ජොත්ගේ සුපිරි හරඹයෙන් ඉන්දීය කාන්තාවෝ ශූරතාව දිනති

එහිදී ශ්‍රී ලංකාවේ හඹා යෑමේ උත්සාහය අඩපණ කළ ඉන්දීය පන්දු යවන්නියන් වන ස්නේහා රනා කඩුලු 4 ක්ද අමන්ජෝත් කෞර් කඩුලු 3ක් ද ලබා ගත්හ.

ශ්‍රී ලංකා – ඉන්දියා – දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

අවසන් මහා තරගය සඳහා පළමු වටය නිමාවෙද්දී ඉන්දියාව ප්‍රසාද ලකුණු 6 ක් ද ලබාගෙන පළමු තැනට පත්වෙද්දී ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන දෙවැනි තැනට පත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීට පෙර එක්දින ක්‍රිකට් තරග 35ක් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව ජයගෙන තිබුණේ අවස්ථා 3කදී පමණයි.

ඊයේ තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දියා නායිකා හර්මන් ප්‍රීත් කෞර් තීරණය කළේ ප්‍රේමදාස පිටියේ පන්දුවට පහර දීමටයි. එම තීරණයම නිවැරදි බව ඔප්පු කරමින් ශ්‍රී ලංකා කාන්තාවන්ට එරෙහිව සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී දැවැන්ත ලකුණු 342ක් ලබා ගත්හ.

ප්‍රතිකා රාවල් සහ සමිත්‍රි මන්දනා එක්ව ආරම්භ කළ ඉන්දීය ඉනිම ඉතා ස්ථාවර තත්ත්වයකට රැගෙන ආ බව මුල සිටම පෙන්නුම් කළ අතර ඉන්දීය ඉනිමේ නියමුවරිය ලෙස පිතිකරණයේ යෙදුණ ස්මිත්‍රි මන්දනා සිය 11 වැනි ශතකය ලබා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හිසරදයක් වෙමිනි.

කෙසේ වෙතත් මන්දනා ලකුණු 21ක් ලබා සිටියදී රැකගත යුතුව තිබුණ උඩ පන්දුවක් පියුමි වත්සලා අතින් බිම දැමීම නිසා තවදුරටත් පිටියේ සිටීමට වාසනාව උදාවිය.

එම අවසරයෙන් මන්දනා නැවතුණේ ලකුණු 116 ක් රැස් කරමිනි.

ඉන්දීය පළමු කඩුල්ල ලකුණු 70 වේදී බිඳ වැටෙද්දී මන්දනාගේ උඩ පන්දුව බිම දැමූ පියුමි වත්සලා ඉතා අනර්ඝ උඩ පන්දුවක් ලබාගත්තේ ප්‍රතිකා රාවෙල් ලකුණු 30කට දවා ගනිමිනි.

ඉන්පසුව හර්ලීන් ඩියෝල් මන්දනා සමග එක්ව වේගවත්ව ඉන්දීය ඉනිමේ ලකුණු 200 සීමාව ආසන්නයට රැගෙන ගියේ ඉන්දියාව ලකුණු 300 සීමාව ලෙහෙසියෙන්ම පසු කරතැයි ඉඟි පළ කරමිනි.

මන්දනා ලකුණු 116 කට දැවී යද්දී පිටියට පිවිසියේ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර්ය.

ඉන්පසු ඉන්දියාවේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ හර්ලීන් ඩියොල්ය. ඇගේ අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී දෙව්මි විහන්ගාගේ පන්දුවකට ඇය අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන්දීය නායිකාව වන හර්මන්ප්‍රීත් කෞර් පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ගොඩනඟන්නට ඉඩ හසර යෙදුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දිගට හරහට පහර දෙමිනි.

හතරේ පහර 4 ක් සමග ලකුණු 44ක් රැස් කළ ජේමීමා රොඩි්‍රගස් දැවී ගිය අතර ඉන්දීය කඩුලු රකින රීටා ග්‍රොස්ට ප්‍රවේගකාරී පිති හරඹයක යෙදීමට ඉඩ නොලැබුණත් අවසන් පන්දු වාර කිහිපයේ අමන්ජොත් කෞර් සහ දීප්ති ශර්මා සිය ඉන්දීය ඉනිම ලකුණු 342ක් දක්වා ඉහළ දමා ගත්හ.

ලකුණු 343ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරියන් දෙදෙනා වන හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්නයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ලකුණක් එක්වීමට මත්තෙන් පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා දැවී ගියාය.

විශ්මිට ඉන්පසුව එක්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට සිය වගකීම කර මතට වැටුණේ ජයග්‍රහණයකින් අවසන් තරගය සිය කණ්ඩායමට ලබාදීමටයි. දෙවැනි කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න දැවී යද්දී ඇය ලකුණු 36 ක් ලබා සිටියාය. කෙසේ වෙතත් චමරි සිය නායකත්ව ඉනිමක් ගොඩනගමින් ලකුණු 51 ක් ලබා සිටියදී දැවීගිය අතර ඇගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහරවල් 6ක් ලබා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රාහී මාවතකට ඒ වනවිට ප්‍රවිශ්ඨ වන අන්දම පෙනී ගියේය. සම්බන්ධතාව කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජයග්‍රහණය ගැන බලාපොරොත්තු රැසක් තබා සිටි නිලක්ෂිකා ද සිල්වා සීමා ඉරෙන් ඉවතට පැන එල්ල කළ පහර ඉහළින් ඇදී

ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වීමෙන් ශ්‍රී ලංකා ජයග්‍රාහී බලාපොරොත්තු ඈතට ඇදී ගියහ.

ඉන්පසු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනොනැගුණු අතර ශ්‍රී ලංකාවේ පරාජය අත ළඟට එන බව පෙනුණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 48 පන්දු 2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණි.

මන්දනා-රානා සහ අමන්ජොත්ගේ සුපිරි හරඹයෙන් ඉන්දීය කාන්තාවෝ ශූරතාව දිනති



සුසිල් ජයකොඩි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට


advertistmentadvertistment