රාත්‍රි ආර්ථිකයකට යොමුවීමෙන් විදේශ විනිමය 70%කින් ඉහළ නැංවිය හැකියි – රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ

118

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මගින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඉකුත් 22දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවද රාජ්‍ය ඇමැතිවරිය පෙන්වා දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය මෙසේද පැවසුවාය.

රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු භූමිකාවක් ඉටුකරනවා. රාත්‍රී කාලයේ දී සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම අවන්හල් විවෘතව තැබීම ඇතුළු රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මගින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකයේ දායකත්වය ලබා ගන්නවා.

විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාරපාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමගින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යෑමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරනවා. විශේෂයෙන් වෙරළාසන්න ප්‍රදේශ සහ කොළඹ වැනි නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාදය ලැබීමට අවස්ථා තිබිය යුතුයි. එනිසා එවැනි ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය වැනි විවිධ රටවලින් සංචාරකයන් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට මෙරටට පැමිණ විනෝදාස්වාදය ලැබීමට හැකි ආකාරයට ඇතැම් සීමා සංශෝධනය විය යුතුයි.

නිදසුනක් ලෙස ආපන ශාලා විවෘතව තැබෙන කාල සීමාව වෙනස් විය යුතුයි. සංචාරකයන්ට පහසු වන නම්‍යශීලී ප්‍රතිපත්තියක් වෙත අප යොමුවිය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment