කාලීන අවශ්‍යතාවක්සේ සලකා රාජ්‍ය සේවා විමධ්‍යගත කර නිවසේ සිට රාජකාරි කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

137

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදිය හැකිය. එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

 කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ (15දා) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 ලෝකයේ බොහෝ රටවල් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ. මෙරට අස්වනු බෙදාහැරීමේ දී ඉන් 40%ක් පමණ විනාශ වේ. මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 අස්වනු බෙදාහැරීමේ දී අතරමැදියන් සංඛ්‍යාව අවම කර ගැනීමෙන් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට ඇති හැකියාව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

 රජයට අයත්, වගා නොකළ ඉඩම් හඳුනාගෙන වගාව සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස් වෙත කඩිනමින් ලබාදීමට පියවරගත යුතුය. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වගා කටයුතු සඳහා සූදානමින් සිටි. එම ආයතන ද කෘෂිකර්මාන්තය සඳහා සම්බන්ධ කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය.

 වගා සංග්‍රාමයට සමගාමීව පුනර්ජනනීය විදුලිබල උත්පාදන සංග්‍රාමයක ඇති අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් කෙරිණ. සූර්ය බල විදුලි උත්පාදනයට යොමුවීමෙන් පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ආයතන මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය.

 ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment