මනුෂ්‍යත්වය හෑල්ලු කළ අවතාරවලට දුම්මල ගසා – දුබලතා හදාගෙන ඉදිරියට යන්නට ක්ලීන් ශ්‍රී ලංකා දිය යුතු ජවය

1600

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 නව වසර වෙනුවෙන් ජනගත කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සුවිශේෂ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් දේශපාලන විවේචන සිදුවෙමින් තිබේ. බොහෝවිට එහිදී සිදුවන්නේ එම ක්‍රියාන්විතය පිළිබඳ ප්‍රමාණවත් සමාජ ආර්ථික හෝ ගැඹුරු දේශපාලනික විමර්ශනයන් නොවේ. ආණ්ඩුව මෙයින් මූලිකව අපේක්ෂා කරන්නේ මේ රටට දේශපාලන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ මත පදනම්වූ අලුත් ගමනකට උචිත පසුබිම සකස් කිරීමය.

මනුෂ්‍යත්වය හෑල්ලු කළ අවතාරවලට දුම්මල ගසා - දුබලතා හදාගෙන ඉදිරියට යන්නට ක්ලීන් ශ්‍රී ලංකා දිය යුතු ජවය

එය එක් අතකින් දසක හතකට නොඅඩුව මෙරටේ සිදුවී තිබෙන ගරා වැටුණු සමාජ දේහය පිරිපහදු කර ගැනීමේ අභිලාෂය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ලෙස හැඳින්වීම ද නිවැරදිය. සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදය ද ඒ සඳහා ලැබී තිබේ. ඇත්තට ම මෙම ක්‍රියාදාමය ගැඹුරු සමාජ දේශපාලන පදනමක් අරමුණු කරගත් සාධනීය සැලැස්මක් බව නිසැකය. මේ රට වසාගත් පිළිකාවක් බඳු දූෂණය, වංචාව, හොරකම, අල්ලස, නාස්තිය ඇතුළු සියලු ආකාරයේ දුස් පිළිවෙත් උපුටා දැමීම මෙයින් රටට අත්වන අග්‍රඵලය බවද කිව යුතුමය. ජනවාරි 01 වැනිදා ජනාධිපති අනුර විසින් ඒ පිළිබඳව කරන ලද පැහැදිලි කිරීම තුළ ඒ සියලු සාධනීය ලකුණු දැකගත හැකි විය. ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් කෙරෙන සියලු දූෂිත හා මුග්ධ ක්‍රියාකාරකම් පිටුදැකීම, මනුෂ්‍යත්වයට හා එකිනෙකාට වැදගත්කමක්, වටිනාකමක් සමාජගත කිරීමට වුවමනා චර්යා ධර්ම ස්ථාපිත කිරීම, ඩිජිටල්කරණය හා ග්‍රාමීය දරිද්‍රතාවට සහනයක් ලබාදීම එහි හරය ලෙස ද ප්‍රකාශ වී තිබේ.

මේ රට බරපතළ සමාජ ආර්ථික මෙන්ම දේශපාලන හා සංස්කෘතික වසයෙන් ද ප්‍රපාතයකට ඇදී යෑමේ වරදට වගකිව යුත්තෝ හුදු දේශපාලනඥයෝ පමණක්ම නොවෙති. රාජ්‍ය නිලධාරීන්, පුරවැසියන් රාජ්‍ය ආයතන මෙන්ම වෙනත් වෘත්තිකයන් හා ව්‍යවසායකයන් ඇතුළු පුළුල් සමාජ කොටස්වලට එහි වගකීම්වලින් නිදහස් විය නොහැක. එසේම ජනමාධ්‍ය හා සමාජ කලා ක්ෂේත්‍රවලට ද ඒ වගකීම්වලින් කොටසක් පැවරෙනු ඇත. මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් ද වේ. එනම් දේශපාලනය ඇතුළු ඉහත දැක්වූ හැම කොටසකම ඉතා අවංක හා මේ රටට ආදරය කළ අවංක පරිත්‍යාගශීලි අය ද සිටින බවය. එහෙත් දේශපාලනය නමැති ප්‍රවාහය දූෂිත දුගඳ පිරි කුණුපයක් බවට පත්වෙද්දී සමස්තය කිසිසේත් යහපත් නොවන බවද අපි දනිමු. වැඩි දෙනෙක් සිතන්නාහු ගලන ගඟකින් දෝතක් ගැනීමටය.

දේශපාලන පක්ෂය, වර්ණය අනුව රාජ්‍ය නිලධාරීන්, ආයතන පමණක් නොව ජනතාවට මඟ පෙන්විය යුතු ආගමික හා බුද්ධිමත් කේන්ද්‍රවලට ද ඒ දේශපාලනය ගලා යනු ඇත. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවල කටහඬ බවටත් හොරණෑ බවටත් පත් වෙද්දී රාජ්‍ය නොවන මාධ්‍යවල ද ඒ දේශපාලන මෙහෙයුම් සියුම්ව සිදුවිය හැකිය.

ජාජබයේ අනුර කුමාරට විධායක බලයත් ඔහුගේ පක්ෂයට ව්‍යවස්ථාදායකයේ වැඩි බලයත් හිමිවූයේ මේ ගර්හිත දේශපාලනය වෙනස් කළ හැකි බලවේගය ඔවුන් බවට ජනතාව විශ්වාස කිරීම නිසාය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් බොහෝවිට අපට – රටට පවසන්නේ මේ ජනවරම තේරුම් ගන්නා ලෙසය. එහෙත් අපට හැඟෙන්නේ මේ ජනවරම පිළිබඳ පැහැදිලි කියවීමක් ආණ්ඩුවේම සමහරුන්ට ද නැති බවය. ජනාධිපති අනුර හිටපු ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළ එලෙසම ඉදිරියට ගෙන යන බව කීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් ජනාධිපති අනුරට සිදුව ඇත්තේ ද අයිඑම්එෆ් හා රනිල් එකඟතාවෙන් ඇති කරගත් ආර්ථික රාමුව තුළම ඉදිරියට යෑමටය. මෙය රනිල්ගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යෑමක් යනු දේශපාලන විවේචනයක් විනා යථාර්ථවාදී විග්‍රහයක් නොවේ. එයට හේතු වන්නේ අනුර කුමාර ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් විපක්ෂයේ සිටියදී මෙන්ම පසුව මැතිවරණ වේදිකාවලදීත් අයිඑම්එෆ් හා රනිල් එකට තබා කළ විවේචන බව නිසැකය. බංකොලොත් රටක් ලෙස ප්‍රකාශ වූ ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට අයිඑම්එෆ් ආධාර ලබාගැනීම හැර වෙනත් විකල්පයක් රාජපක්ෂවරුන්ට ද නොවීය. එහෙත් ඒ පීඩනය සමාජගත වෙද්දී රාජපක්ෂ බලය ගිලිහී, එය රනිල්ට පැවැරුණු ආකාරය ද කවුරුත් දනිති. රනිල් බඳු සත්විත්තකු ලෙස විවේචනයට ද ලක්විය.

රනිල්ගේ කෙටි කාලීන පාලනය ද දූෂණ වංචා ඉහවහා ගිය එකක් ලෙස චෝදනාවලට ලක් වූවකි. ජනතාව මත පැටවූ පීඩනය දැඩි වෙද්දීත් ඇතැම් දේශපාලනඥයෝ හොර මගඩිවලම නිරත වූහ. මේ දූෂිත පාලනය අවසන් කළ යුතුය යන අදහස් ජනමතය තුළ කාවැදී තිබුණි. ජාජබයේ ජයග්‍රහණයට දොර විවර වූයේ ඒ පසුබිම තුළය.

නිදහස් ලංකාවේ රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම වාමාංශික දේශපාලන පක්ෂයකට හිමි වූ ඓතිහාසික වසර ලෙස 2024 ගැන අද කුහකත්වයකින් තොරව පැරණි වමට ද කතා කළ හැකිය. වමේ පැරණිම කටහඬක් වන වාසුදේව මේ ආණ්ඩුව රැකගත යුතු යැයි කීවේ ද සද්භාවයෙන් යැයි අපට සිතේ.

අද ජනතාවගෙන් විසි වී ගිය වැඩවසම් පක්ෂවල ඇතැම් දේශපාලන නාට්ටාමිලා මේ ආණ්ඩුව විවේචනය කරන්නේද එදා ජවිපෙ ගෙන ගිය භීෂණය මතක් කරමින්ය. ඇත්තටම අනුර කුමාරලා ඉදිරියට ගියේ ඒ භීෂණය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඔස්සේ බව අප පිළිගත යුතුය. විජේවීරගේ දේශපාලන ආස්ථානයට වඩා අනුරගේ ගමන වෙනස් බව ජනතාව අනුමත කර තිබේ. විජේවීර එදා වඩාත් සමීප වූ කියුබාව, හෝ උතුරු කොරියාව සමග ජනාධිපති අනුරට ප්‍රබල ගනුදෙනුවක් ඇතැයි කීමට කරුණු තිබේද? අනුරට සමහරුන් චෝදනා කෙරෙන මහින්ද හා චන්ද්‍රිකා පාලන යුග සමග එක් වූයේද ජවිපෙ දේශපාලනය වෙනස් මඟක් ගත් නිසා විය යුතුය.

කෙසේ හෝ අනුර කුමාර රට ආර්ථික වසයෙන් ස්ථාවරව තබාගැනීමට සමත් වූයේ තමන්ට එල්ල වන දේශපාලන විවේචන නොතකා ඒ පිළිබඳව අයිඑම්එෆ් එකඟතා අනුව ක්‍රියා කිරීම නිසාය. එදා කළ විවේචන අද පාරාවළල්ලක් මෙන් ජාජබය කරා එද්දී දැනෙන අමිහිරි වේදනාව සුළුපටු විය නොහැක. විපක්ෂයේ සිට කෙරෙන විවේචන ආණ්ඩු බලය ලැබුණුවිට අමතක වන බවට නැඟෙන චෝදනා වල දේශපාලනයේ ස්වාභාවයයි. එහෙත් තමන්ට ලැබුණු බලය ජනතාවාදී නැඹුරුවකින් ඉදිරියට ගෙන යෑමට කළ හැකි තවත් දේවල් ද තිබේ. රනිල්ගෙන් අනුර වෙනස් වන්නේ ද එබඳු සමාජ දේශපාලන ක්‍රියාදාමයක් ඔස්සේ යන්නේ නම් පමණි.

අද යළි හිස එසවීමටත් දිරියෙන් ජනතාව ඇමැතීමටත් විපක්ෂවලට අවශ්‍යව තිබේ. ඔවුන්ගේ දේශපාලන උපාය වී තිබෙන්නේ ඉහත දැක්වූ පරිදිම, ජ.වි.පෙ පැරණි භීෂණ බිල්ලා සමාජගත කිරීමය. එසේම ජවිපෙ මුල්පෙළේ සිටින අනුර කුමාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත, ලාල්කාන්ත වැනි අයගේ අතීත දේශපාලන විවේචන උපුටා දැක්වීම, ඒ අයගේ කට හඬින්ම ජනතාවට ඒවා යළි ඇසීමට සැලැස්වීම අද විපක්ෂයේ සූත්‍රය වී තිබේ. එය ජාජබය මානසිකව බෙලහීන කිරීමටත් ප්‍රතිපත්තිමය ගමන් මඟ තුළින් බැහැර කරලීමටත් ඉවහල් වන්නකි. එහෙත් රාජ්‍ය බලය භාවිත කිරීම විපක්ෂයේ භූමිකාවට වඩා වෙනස් එකක් බව මේ ආණ්ඩුව වටහාගෙන ඇතැයි හැඟේ.

මෙහිදී අපට සිහිපත් වන බෞද්ධ කතාවක් ඇත. ඒ ඝෝෂක සිටු පුවතයි. ඝෝෂක කුමර වියෙහි සිට ම කෙළිලොල් අයෙක් විය. ඔහු ඒ ජීවන රටාව වෙනස් කර නොගැනීම නිසා පියාගේ මරණයෙන් පසු ඔහුට සිටු තනතුර නොදිය යුතු බව බොහෝ අය කීහ. එහෙත් රජතුමා ඔහුව කැඳවීය. රජු හමුවීමට ඔහු ගියේ අධික වැසි දිනකය. ඒ ගිය මඟ ජලය ද වෙනත් දේවල් ද රැඳි තිබුණු හෙයින් ඝෝෂක කුමරා ඒවා උඩින් පැන පැන මාලිගාවට ගියේය. රජු ඒ ගමන් මඟ බලා සිටියේය. පසුව කුමරුන්ට මාලිගාවේදී සිටු තනතුර ලබාදී රජු යළිත් ඔහු ආපසු යන ආකාරය දෙසත් බලා සිටියේය. එහිදී රජුට පෙනුණේ දියකඩිති හෙමින් මඟහරිමින් සන්සුන්ව යන ඝෝෂකය. රජු ඔහු ආපසු කැඳවා ඒ පිළිබඳ විමසීය. එවිට ඔහු සඳහන් කළේ තමන් රජු බැහැදැකීමට එද්දී කෙළිලොල් කුමරකු බවත් ආපසු මාලිගාවෙන් පිටවූයේ සිටුවරයකු ලෙස බවත්ය. රජු ඔහු කෙරෙහි පැහැදී තවත් උසස්වීමක් ද ලබා දී ඇත.

ධම්මපදට්ඨ කතාවේ එන මේ පුවත අප ඉදිරිපත් කළේ වගකීම පිළිබඳ ගැඹුරින් සිතා බැලීමටය. එනිසා රාජ්‍ය පාලනය අතට ගත් අය ජනප්‍රියත්වයට වඩා ගැඹුරු සමාජ දැක්මක් සහිතව ක්‍රියා කළ යුතු බව පෙන්වා දීමටය. ඇත්තට ම හැම ආණ්ඩුවකම කිසිදු වගකීමක් නැති දේශපාලන විකට රූප අපි දැක ඇත්තෙමු. මේ ආණ්ඩුවේත් එබඳු කට වරද්දා

ගැනීම් ඇසුණි. ආණ්ඩුව මැදි වූ ආචාර්ය, මහාචාර්ය විගඩම විපක්ෂවලට හොඳ කට ගැස්මක් විය. එහෙත් එය අඩු හානියකින් ගොඩ දමා ගැනීමට ආණ්ඩුවට හැකි විය. මන්ත්‍රීවරුන් ලෙස මෙන්ම ඇමැතිවරුන් ලෙස වගකීමෙන් කතා කිරීමටත්, වැඩ කිරීමටත් නොහැකි වුවහොත් එය විශාල විපතක ආරම්භය බව නායකයෝ වටහාගත යුතු වෙති.

බිංගිරියේ විලත්තව පිහිටි පෞද්ගලික ඇඟලුම් කම්හලකට ගිය මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ ක්‍රියාකලාපය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නකි. එය එලෙස සිදුනොවිය යුතුව තිබුණකි. ඒ මන්ත්‍රීවරුන් පවසන කප්පම් කතාව ඇත්තක් වියහැකි වුවත් ඔවුන් එයට මැදිහත් වියයුතුද? විපක්ෂය අසන ආකාරයට ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වෙන වැඩ නැද්ද? රාජපක්ෂ යුගයේ වැරදිකාරයන් කණුවල ගැට ගැසූ මෙන්ම මාධ්‍ය ආයතනවලට කඩා පැනීමේ ඇමැති මෙහෙයුම් ගැන චෝදනා ද තිබුණි.

ඇමැති නලින්ද ජයතිස්ස අද මැදි වී සිටින්නේ ද අනිසි සමාජ දේශපාලන විවේචනයකටය. ජනමාධ්‍ය පාලනයකට ආණ්ඩුව නොයන බවට මාධ්‍ය ඇමැති දිව්රුම් දියයුතු නැත. එය භාවිතය තුළින් දැකගත හැකි දෙයකි. විවේචනය නොඉවසීම බොහෝ ආණ්ඩුවලට තිබුණු රෝගයකි. මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් පිළිබඳ චෝදනා පසුගිය පාලන යුගවලට ද අදාළ වූවකි. මෙරටේ මාධ්‍ය සංස්කෘතිය යහපත් නැති බවට තිබෙන විවේචනය ද පදනම් විරහිත වූවක්ම නොවේ. මාධ්‍ය මර්දනය කළ ආණ්ඩු ගැන අපට ඕනෑ තරම් අත්දැකීම් ද ඇත. හැම ආණ්ඩුවක්ම සතුටු වන්නේ තමන් ගැන හොඳ කියන මාධ්‍යකරුවන් ගැනය.

මාධ්‍ය ඇමැතිවරයාට අනුව පුවත්පතකට බොරු කීමට බැරි බව ඇත්තය. එහෙත් සිදුවීම් වාර්තා කිරීමේදී වගකීමකින් ඒවා කර තිබේ නම් එයට උරණ විය යුතු නැත. පදික වේදිකාවල වෙළෙඳාම නිසා හැම නගරයකම ප්‍රශ්න තිබේ. ඇමැතිවරයා පවසන කොස් විකිණීමේ පුවත පුවත්පත මැවූ පචයක් නොව, සැබැවින්ම සිදුවූවකැයි ප්‍රශ්නයට තුඩුදුන් පුවත්පත අවධාරණය කර තිබේ. මධ්‍යවේදීන්ගේ සංවිධාන සහ වෙනත් සමාජ ක්‍රියාකාරීහු ද එය මාධ්‍ය මර්දනයක ලකුණක් ලෙස දකිති. බොරු පුවතක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර වෙනම තිබිය දී ඒ සඳහා කවර හෝ තරවටු කිරීම් සිදුනොවිය යුතු බව අපගේ ද අදහසය. මාධ්‍ය භාවිතය පිළිබඳ තිබෙන විවේචනවල සත්‍යයක් ද තිබේ. එහෙත් මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. මෙරටේ රාජ්‍ය මාධ්‍ය ධාරාව හැම ආණ්ඩුවකම හොරණෑ බවට පත්වූවකි. විiුත් හා මුද්‍රිත යන ඒවායේ සියලු පත්කිරීම් ආණ්ඩුව සතු හිමිකමක් ලෙස තිබෙන බව ද ජනතාව දනිති. ජාජබය

අනුගමනය කළේත් ඒ ක්‍රමයමය. සමස්තයක් ලෙස රාජ්‍ය මාධ්‍ය ජනතාවගේ විශ්වාසයෙන් ඈත් වූවකි. ඒ මාධ්‍යයන්ට අමතරව රජයේ ඍජු පාලනයට යටත් වූ සාහිත්‍ය හා කලාවට අදාළ ආයතන ද වේ. මේ හැම දෙයක්ම විවේචනාත්මකව බැලීම නිදහස් මාධ්‍යවල වගකීම වේ. ඒ නිදහස කවර හෝ දේශපාලන අධිකාරයකින් හෝ පාලකයකුගෙන් ලබාගතයුතු දෙයක් ද නොවේ. එසේම තමන් විසින් පවසනු ලබන හැම වචනයකට මෙන්ම ලියන හැම වැකියකට ම වගකීම ද ශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක ලකුණකි. කොහොමටත් අනුරට රට භාරදුන් පළියට කට වසාගෙන සිටිය යුතු දැයි ආණ්ඩුවේ විවේචකයන් පමණක් නොව, වෙනත් අය ද අසති. එසේම කෙන්ද කන්ද කිරීම දේශපාලනයට මිස මාධ්‍යයට අයිති දෙයක් ද නොවේ.

පවතින ආර්ථික වාතාවරණය තුළ ආණ්ඩුව එදා පොරොන්දු වූ සහන පවා දැන්ම ලබාදිය නොහැකි බවද අපට පෙනේ. එහෙත් ජනතාවට ඒ පීඩන තවත් දරාගත හැකි ද? 2025 ජනවාරියේ සිට අත්‍යවශ්‍ය ආහාරවලට ගැසූ බදු එලෙසම ක්‍රියාත්මක වේ. විදුලි හා ඉන්ධන සහන ද සැණකින් ලබාදිය නොහැකි බව සත්‍යයකි. රනිල්ගේ බදු ක්‍රමයේ මුළු බර පොදු ජනයාටත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් පැටවූ බවට විවේචනය කළ ජාජබය අද දුර්මුඛව සිටින්නේ ද ඒ වෙනස හිතු මතයට කළ නොහැකි බව දැනෙන නිසාය. උපයනවිට බද්ද (paye) රුපියල් ලක්ෂයේ සීමාව ලක්ෂ එකහමාරක් කළ ආණ්ඩුවට ඒ හිඟ මුදල ලබාගැනීමට මඟක් නැත. ආණ්ඩුව කළේ ඒ බර අමාරුවෙන් මුදලක් ඉතිරි කළ දෙටු පුරවැසියන් මත පැටවීමකි! මෙයට දැඩි විවේචනයක් එල්ල වී ඇත. මේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වන වසන්ත සමරසිංහ එදා වෘත්තීය සමිති නායකයකු ලෙස කළ අරගල රටට මතකය. රජයේ සේවකයන්ට රු.25000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියේ ද ඔහුය. සියලු තැන්පත් ගිණුම්වලින් සියයට 10ක රැඳවුම් බද්දක් යෝජනා කිරීමට ආණ්ඩුවට සිදුවීම එක් අතකින් දේශපාලන සරදමක් වැන්න. මෙය එදා රනිල් යෝජනා කළ සියයට 5ක බද්ද දෙගුණ කිරීමකි. මේ බදු අය කිරීම ගැන පැහැදිලි කිරීම් සිදු වුවත් එය හිත්පිත් නැති යෝජනාවක් බව නම් කිව යුතුය.

ඇත්ත වසයෙන්ම මේ පවතින ආර්ථීක රාමුව ශීඝ්‍ර වෙනසකට ලක් කෙරෙන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වන තෙක් එය එසේම පැවැතිය යුතු බව ආර්ථික විශේෂඥ මතය ද වේ. ඉහළ යන ජීවන වියදම භාණ්ඩ මිල ඇතුළු දිනපතා මතුවන ගැටලු සුළුපටු නැත. ජීවිතය සැහැල්ලු වන්නේ ද ආර්ථිකය ශක්තිමත් වූ තරමටය. සමාජ පරිහානිය වැඩෙන්නේ දරිද්‍රතාව නිසාය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය තුළ සිදුවන විවිධ ක්‍රියාකාරකම් දුර්වල කිරීමට පිරිසකට අවශ්‍ය බවද පෙනී යයි. අප දකින පෞද්ගලික ප්‍රවාහන පද්ධතියම ලාභය සූරාකෑම මත වැඩි වසයෙන් පදනම් වූවකි. එය එක්තරා මාෆියාවකි. මාර්ග අනතුරු නොතකා මී පොරයට වැටුණු බස් ධාවනය ලේසියෙන් නිවැරදි කළ නොහැකි බවද පෙනේ. කුමක් වුවත් විවෘත ආර්ථිකය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප අද දූෂිත, ගර්හිත දේවල් බවට පත්ව ඇත්තේ ද මේ ක්‍රමය තුළය.

පසුගිය දිනක මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවේ ඉතා ඉක්මනින්ම රටේ ව්‍යවස්ථාව ද වෙනස් වියයුතු බවය. කාදිනල් හිමියන් කථානායකවරයාට අවධාරණය කළේත් ඒ කාර්ය හදිසි එකක් බව ජනාධිපතිවරයාට දන්වන ලෙසය. වසර හාරසියයකට වඩා යටත් විජිතයක් ලෙස පැවැති වහල් මානසිකත්වයේ නටබුන් තවමත් අපේ රාජ්‍ය පාලන රාමුව තුළ ද ඉතිරිව තිබේ. මනුෂ්‍යත්වයේ ගාම්භීරත්නව හෑල්ලු කළ ප්‍රභූ පාලනය බිඳ වැටුණත් එය යළි සමාජගත කිරීමේ සියුම් මෙහෙයුම් ද අද දැකගත හැකිය. පසුගිය මහ මැතිවරණයෙන් විසිරී ගිය අය අද සිය වැඩවසම් දේශපාලනයට අලුත් මුහුණක් පලඳවා සමාජගත කිරීමට දරන ප්‍රයත්නය ද පැහැදිලිය. ජාජබය සිය දුබලතා සකසා ගෙන ජනතා විශ්වාසයෙන් යන මාවත පිරිපහදු කර ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භය තුළින් නව ජවයක් ලබාගත යුතුය.

ගාමිණි සුමනසේකර


advertistmentadvertistment