මහනුවර සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අපරාජිතව ඉදිරියටම

58

“මාස්ටර් කාඩ් අභියෝග කුසලාන” අන්තර් සමාජයීය ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “මාස්ටර් කාඩ් අභියෝග කුසලාන” අන්තර් සමාජයීය ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලියේ 06 වැනි සතියේ සිව් වැනි තරගය ජය ගැනීමට ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ඒ, නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

නාවික හමුදාව රැස් කර ගත් ලකුණු 05 ට එරෙහිව ලකුණු 66 ක් සටහන් කර ගනිමින් පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සත්කාරක මහනුවර ක්‍රීඩකයෝ සමත් වීම එහිදී කැපී පෙණුනි.

මහනුවර සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අපරාජිතව ඉදිරියටම

ඒ අනුව මෙතෙක් සහභාගි වූ තරග 05 ජය ගනිමින් තම අපරාජිත බව සනාථ කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණි.

මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු තරග 24 ආශ්‍රිතව තමන් මුහුණදුන් තරග සියල්ලම ජය ගනිමින් අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. යන දෙපිල සමත්ව සිටිති.

නාවික හමුදාවට එරෙහිව තරගයේ දී මුල, මැද සහ අග කාල සීමාව මෙන්ම පෙර පෙළ, මැද පෙළ සහ පසු පෙළ ක්‍රීඩක අන්‍යොන්‍ය සම්බන්ධතාවය මැනවින් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ බව මහනුවර ක්‍රීඩා සමාජය වෙතින් දක්නට ලැබිණි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 38-00 කි.

ජයග්‍රාහී මහනුවර ක්‍රීඩකයන් ගෝල් දිනුම් 08 ක් සහ උත්සාහක දිනුම් 02 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර, පරාජිත පිලේ ලකුණු එකතුව එක් උත්සාහක දිනුමක් ආශ්‍රිතව සටහන්විණි.

ජයග්‍රාහී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ තිළිණ බණ්ඩාර 02, ධනුෂ්ක රන්ජන් 02, දහන් වික්‍රමාරච්චි 02, කෙනුල හෙට්ටිආරච්චි 01, ඩිනාල් ඒකනායක 01, ගයාන් පෙරේරා 01 සහ දිලුක්ෂ දංගේ 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන 08 ක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව යොමු කිරීමට හිරුෂ සම්පත් සමත් විය.

පරාජිත නාවික හමුදා පිල වෙනුවෙන් කැපී පෙනුණු ස්ටෙෆාන් ග්‍රෙගරි එකම උත්සාහක දිනුම සටහන් කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment