මහින්දානන්දගේ අපේක්‍ෂිත ඇප ඉල්ලීම ලබන 19 සලකා බලයි

29

පොහොර නැවේ නඩුව:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍ය පාලන සමයේ 2021 වසරේදී චීනයේ පෞද්ගලික සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සූදානම් වන බැවින් තමාට අපේක්‍ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකළ අපේක්‍ෂිත ඇප ඉල්ලීම ලබන 19 වැනිදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාල් මහත්මිය ඊයේ (14 දා) තීරණය කළාය.

එම අපේක්‍ෂිත ඇප ඇයැදුම ඊයේ කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ මහතා කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇප අයැදුම්කරු වෙනුවෙන් කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බැවින් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. රජයට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් ඇප ලබාදිය නොහැකි චෝදනා යටතේ තමාව අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවත්, ඊයේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කැඳවා තිබූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම අපේක්‍ෂිත ඇප ඉල්ලීම මගින් පෙන්වා දී තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා එම අපේක්‍ෂිත ඇප අයැදුම්පතේ වගඋත්තරකරු ලෙස නම්කොට තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ මහේෂ් ගම්මන්පිල මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2025.04.28 දින අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 5 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබූ බවත් එදින නඩුව කැඳවූ අවස්ථාවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් තමා ඇතුළු හිටපු අමාත්‍යවරුන් පිරිසක් ද අත්අඩංගුවට ගන්නා බවට වගඋත්තරකාර විමර්ශන නිලධාරියා කළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් හෙතෙම අධිකරණයට පෙන්වා දී තිබිණි. නීතිඥ මිතුන් ඩයස් මහතාගේ උපදෙස් මත නීතිඥ අජිත් වික්‍රමසිංහ මහතා නීතිඥ උදාරි වික්‍රමසිංහ මෙනෙවිය සමග නීතිඥ හේමන්ත ගමගේ මහතා මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට එම අපේක්‍ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් කරුණූ දක්වන ලෙස දන්වා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතිසි යැවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment