මාර්ටින් වික්‍රමසිංහ ජීවන හා පාරිසරික සෞන්දර්යය

51

(අදට 29දාට යෙදෙන මාර්ටින් වික්‍රමසිංහ 135 වැනි ජන්ම සැමරුම නිමිත්තෙනි.)

“පෙර අපර දෙදිග සාහිත්‍ය අභිවර්ධනයේ අන්තර්ගාමී නියාමය වී තිබෙන්නේ මිනිසා තුළ කලින් කල හටගන්නා වූ සෞන්දර්ය පිළිබඳ සංකල්ප සන්තතියයි. සාහිත්‍යයේ මතු නොව මානව සමාජයේ පැවැත්ම ද රඳා පවතින්නේ සෞන්දර්යයේ ඖෂධීය බලයෙනි.”

හෙළ, සකු, මාගධී, ඉංගිරිසි භාෂා විසාරදයකු වූද සෞන්දර්යවේදියකු වූද ජී.ඇස්.බී. සේනානායක සූරීන් ලියූ ධ්වන්‍යාලෝක විවරණය නමැති මාහැඟි ග්‍රන්ථයේ සංඥාපනයෙහි දැක්වෙන පූර්වෝක්ත කියුම, මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ලේඛන පරිශ්‍රමය හා සාක්‍යයෙන්ම බැඳී යන්නේය. වික්‍රමසිංහයන්ගේ ශතකායික ග්‍රන්ථ වංශයෙන් ද දහස් සංඛ්‍යාත ශාස්ත්‍රීය ලේඛන සමුදායෙන් ද අනාවරණය වන පාරිසරික ලකුණ, ඔහුගේ සාහිත්‍ය අභිවර්ධනයේ අන්තර් නියාමය වී ඇති ආකාරය විමසීම අතිසුන්දර ආස්වාදනයක් වන්නේය.

සිය පියාගේ හදිසි අභාවය නිසා විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුන්වැනි පන්තියෙන් අවසන් කොට තමන් උපන් කොග්ගල ගම ආශ්‍රිත පරිසරයට යළි එන්ට ලැබීම මාර්ටින් වික්‍රමසිංහ දරුවාගේ සෞන්දර්යාවේශය පුබුදාලන්නාක් වීය. කොග්ගල සුන්දර මුහුදු වෙරළත් කුඩා දූපත් සමූහයත් පිරිවරාගත් ඔයෙනුත් මායිම් වූ ගම් සමූහයකින් සුසැඳි කොග්ගල ගම්ගොඩ පරිසරයේ එදවස පැවති රුචිරාණනය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දැනුම් පරාසය විකසිත කරවූ අන්දම පසුකලෙක ඔහු ලියූ ‘මගේ මහවිදුහල ගැමි ජීවිතයයි’ යන කියුමෙන් මනාව හෙළිවෙයි. වයස අවුරුදු දහතුනේ සිට අසූහය වැනි විය දක්වා මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ සියලු ම ග්‍රන්ථයන්ද දහස් සංඛ්‍යාත ලේඛනාවලිය ද පාරිසරික හා මානව සෞන්දර්යාත්මක හැඟුම්වලින් විකසිත වී ඇති අන්දම ඒ ලේඛන සමුදාය විමසනවිට පෙනීයයි. වික්‍රමසිංහයන්ගේ ලේඛන බස්වහර පෝෂණය වූයේත් වැනුම් ශෛලිය විශදනය වූයෙන් පරිසරය, අවස්ථාවෝචිතව ඒ ඒ ලේඛනයන්ට පිවිස තිබීමේ ඵල වශයෙනි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා පරිසරයට ඇලුම් කිරීමට පෙළඹුණේ යන්තම් හය හතර තේරෙන වියේ සිටිය දී ය. සුන්දර මුහුදු වෙරළ හා කොග්ගල ඔයෙන් සීමාවූ රමණීය ගම් පියස කුඩා වික්‍රමසිංහගේ මනස තුළ කුහුල දැනවූ අද්භූත ලෝකයක් විය. ඔහුගේ සියලු ම නිර්මාණයන්හි උල්පත වූයේ කොග්ගල ගමයි. ගමෙහි වනරොද එහි ගැවසෙන වනසතුන් මුහුදු වෙරළ හා මුහුදු සතුන්, ඔය, ඇළ, දොළ ඔහු තුළ අද්භූත හැඟුම් හා ආසාවන් දැනවීය. එම පාරිසරික සෞන්දර්ය ගැන විමසා බලන්ට කුඩා වියෙහි දීම පෙළඹීම නිසා වික්‍රමසිංහයන්ගේ ජීවන මඟ නොසිතූ විරූ පෙරළියකට බඳුන් විය.

මාර්ටින් වික්‍රමසිංහගේ ළමා කාලය ගැන හැදෑරීමට ඔහු විසින් තම ජීවන අත්දැකීම් පසුබිම් කොට ලියන ලද උපන්දා සිට හා අපේ ගම කෘති ඉවහල් වෙයි. පරිසරය විසින් ලොව අගමුල සොයන කුහුල ඔහුගේ සිත තුළ පිළිසිඳ ගැන්වුණු අයුරු එම ග්‍රන්ථයන්ගෙන් මනාව පිළිබිඹු වන්නේය.

“ගුප්ත ලක්ෂණවලින් යුක්ත ඉමක් කොනක් නැති අහසත් මුහුදත් කුඩා කල මා තුළ චමත්කාරය පමණක් නොව ගෞරව සම්ප්‍රයුක්ත භයක්ද ඇති කෙළේය. මුහුද සැදුණේ කෙසේද කඳු ගංගා ප්‍රාදූර්භූත වූයේ කෙසේද යනු කුඩා කල මගේ සිතට නඟින්ට වූ ප්‍රශ්නයන්ගෙන් සමහරකි. මේ ප්‍රශ්න සිතට නඟින්ට වූ නිසා පසළොස් වයස් යන්ටත් පෙර මම මොළයට වධ දෙන ඇතැම් පොත් කියවන්ට වෑයම් කෙළෙමි” (අපේගම)

පරිසර අධ්‍යයනය පිළිබඳ කුඩා වික්‍රමසිංහගේ අත්දැකීම් රැසක් ‘අපේගම’ පොතේ දැක්ක හැකිය. එහි එක් පරිච්ඡේදයක් ඔහු නම් කොට ඇත්තේ ‘දරුවන්ගේ සුන්දර ලෝකය’ යනුවෙනි. පහත දැක්වෙන්නේ ඒ සොඳුරු ලෝකය ඔහු වැනූ ආකාරයයි.

‘කුඩා කල වනරොදවලට වැදී පක්ෂීන් හා ඔවුන්ගේ කූඩු ද හාවන් මුගටියන් ද තලගොයින් ගුරුවරුන්ට ද හා සර්පයන් ද බලා අප ප්‍රීති වූයේ මවුපියන්ට හා ගුරුවරුන්ට ද හොරෙනි. සතුන්ගේ හැඩරුව ද ඔවුන්ගේ අපූරු ගති පැවතුම් ද ගස් කොළන් ද ගැන උගැන්මට මා තුළ කුඩා කල පැවති ආසාව නගරයක නැවතී පාඨශාලාවට යෙමින් පොතින් උගැන්මට පටන් ගත් තැන් සිට කෙමෙන් තුනී විය.

තමා කුඩා වියෙහිදි නගරයක පාඨශාලාවකට උගැන්මට ගිය බව වික්‍රමසිංහ පැවසුව ද ඔහු ඒ පාසලේ උගත්තේ තුන්වැනි පන්තිය දක්වා පමණි. තම පියා හදිසියේ මිය ගියෙන් අටහැවිරිදි වියෙහි සිටි වික්‍රමසිංහට නගරයේ පාසල අතහැර යළි ගමට පැමිණීමට සිදුවිය. කොග්ගල පරිසරයේ සොඳුරු ආස්වාදය යළි ඔහු තුළ පිබිද වීය. පසුකලෙක කුරුමිණි සත්තු, කුරුකුහුඹු සත්තු, වෙස්මාරුකරන සත්තු, මුහුදු සත්තු, සත්ව ලෝකය ආදී ළමා පොත් රචනා කරන්ට ඔහුගේ කල්පනාව පිබිදුණේ ගැමි පරිසරයේ ආස්වාදය විඳීමේ ඵල වශයෙනි. ‘කුඩා සතුන් පිළිබඳ මේ වර්ණනාත්මක කතා ලියනු සඳහා මා ගමේ ජීවත්වූ කාලයෙහි සතුන් අතපත ගෑමෙන් ලබාගත් දැනුමත් බටහිර විද්‍යාඥයන්ගේ පොත් කියවීමෙන් ලත් දැනුමත් මම වහල් කොට ගත්තෙමි’ යනුවෙන් ඔහු පසු කලෙක සඳහන් කෙළේය.

පරිසරය ඊට ඔරොත්තු නොදෙන අන්දමින් වෙනස් කිරීම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හද සසල කරන්නක් වීය.‘මගේ මහ විදුහල ගැමි ජීවිතයයි’ යනුවෙන් ඔහු ලියූ ලිපියක එන පහත සඳහන් කියුම ඊට නිදසුනකි.

‘කොග්ගල අහස් නැව් තොටක් කරනු ලැබූ පසු ගැමියෝ නොයෙක් පෙදෙස්වලට සංක්‍රමණය වූහ. අහස් නැව් තොටෙහි වාඩි තනාගත් සුද්දෝ කැලේ කපා මහවෙල් තැනූහ. ගං ඉවුරෙහි වූ විශාල කිරල ගස් හා ලියගොමුද තලා එළි කළහ. ගම සම්පූර්ණයෙන් වෙනස් කළ ඔවුන්ට ඔය පමණක් වෙනස් කළ නොහැකි විය.

ඉහත ඡේදයේ අවසන් වැකිය පරිසර හිතකාමියකු නොමද සැනසුමක් වැන්න.

වික්‍රමසිංහයන් පසුකාලයේ ලියූ සියලු ම ග්‍රන්ථයන්හි, තමා උපන් බිමේ පරිසරය මෙන්ම ඒ පරිසරය ඇසුරෙහි තමන් ලැබූ ආස්වාදය ද මහත් රුචියෙන් වර්ණනා කෙළේය. උපන්දා සිට පොතෙහි ආරම්භක පිටුවක ඇති පහත දැක්වෙන වැනුම ඊට නිදසුනකි.

‘අගල් නවයක් පමණ දිග පොල් පිති කෑල්ලකින් තනාගත් හරකාගේ නැහැය විද නාස් ලණුවක් දමා තවත් ලණු දෙපටකින් ඇදගෙන යෑමෙන් මා ලද ප්‍රීතිය රටින් ගෙන්වනු ලබන දුවන, පනින, කැරකෙන සෙල්ලම් අසුන්, ඇතුන්, හරකුන් සුලබ මෙකල හද්දා පිටිසර දරුවකුට වුවද නොලැබිය හැකිය. මා පොල්පිති කෑල්ලෙන් කැපූ ගොනාගේ අං දෙක කෝටු කෑලි දෙකකි. මා උගේ නාසය විද්දේ පෑන පිහියා තුඩිනි. මා පොල්පිති ගොනා ඇදගෙන යනවිට අවුරුද්දකින් මට බාල මගේ ඥාති සහෝදරයා චං කියමින් ඌට කෝටුවකින් තැලීය.

වික්‍රමසිංහයන් පරිසරයට ඇලුම් කළා පමණක් නොව, තම දරුවන්ට හා රටේ අනිකුත් දරුවන්ට ද පරිසරය ආදරය කළ යුතු යැයි කියා දුන්නේ මනරම් පරිසර වැනුම් තම පතපොතට ඇතුළත් කරමිනි. කොළඹ වූ කාලයේ දී තම දරුවනුත් කැටුව කොග්ගල ගම් පියසට ගොස් පරිසරයේ අසිරිය ගැන ඔවුන්ට කියා දුන්නේය. එවක කොග්ගල පැවති සොබාවික පරිසරයේ අසිරිය තම පුතුන් දෙදෙනකු සමග ආස්වාදනය කළ අයුරු උපන්දා සිට පොතෙහි දැක්වෙන්නේ මෙසේය.

“හැම පාසැල් නිවාඩු කාලයෙහි කුසුම් හා ඔහුගේ මල්ලී වසන් මහත් ආසාවෙන් ගමට ගියෝය. හාවන්, මුවන්, තලගොයින්, කුරුල්ලන් හා කජු මාදං අඹ ආදී ගස් ද බහුල ගම්රොදවල් පැවති ගම්පෙදෙස ඔවුන්ගේ සිත් ගත්තේය. ගං ඉවුරෙහි වැවුණු දිග නටුවෙන් එල්ලෙන බඹර වැනි ගෙඩි ඇති කිරල ගස් හා දියෙන් නෑවුණු සිය ගණන් අඩු පඩු වැනි මුල් සහිත කඩොල් පඳුරු ද කොග්ගල ඔය ගූඪ නදියක් හා ලොවක් කරයි. පලින් පල දියෙන් නෑවුණු මහා ගල් කුළු, අඹ ගසින් හා කජු ගසින් සෙවණ වුණු කුඩා දූපත් සහිත කොග්ගල ඔය දරුවන්ගේ මන පිනවන අද්භූත ලෝකයකි.”

පරිසරය සිය මුළු මහත් ජීවිතයේ ආස්වාදනීය පරිචයක් බවට පත් කොට ගත් වික්‍රමසිංහගේ නිර්මාණාත්මක හා විචාරාත්මක සියලු ලේඛනවලින් නින්නාද වන්නේ පරිසරයේ සෞන්දර්යාත්මක රිද්මයයි. ලොව බිහිවූ මහා සෞන්දර්ය වේදියාණන් වන බුදුරජාණන් වහන්සේගේ පරිසරය හා සම්බන්ධ වැනුම් මඟ වික්‍රමසිංහ ලේඛන තුළින් විසද යන්නේ පරිසරයේ අනිත්‍යතාව ද නව සුන්දර වැනුම් රීතියට ප්‍රතිබද්ධ කර ගනිමිනි.

“ගොයම් ගස් පැළ වී, දෑකැතිවලට හසුවීමෙන් කැපී වැටෙයි, වැටි වැටී දිරයි. යළි යළිත් අලුත් වීයෙන් පැළ නඟියි. ඒ පැළ කරල් හටගන්වා මැරෙයි. ගොයම් ගස් හා වල් පැළ බලා සිටිය දී මෙන් ඉපිද වැඩෙනු මැරෙනු දකින මිනිස්සු අනිත්‍ය ධර්මය ඉගැන්වෙන දහම වහා වටහා ගනිති.” (කළුණික සෙවීම)

වික්‍රමසිංහයන්ගේ සියලුම නවකථාවන්හි චරිත හා අවස්ථා පණ ලබන්නේ පරිසරය ඒ ඒ තැනට උචිත පරිදි හසුරුවාගෙන ඇති ආකාරය නිසා නිසාය. වික්‍රමසිංහ මුල් කාලයේ දී ලියූ සිය දෙවැනි නවකතාව වන ශීතා (1923) හි ප්‍රධාන චරිතයක් වන ලයනල්, ශීතා ගැන මෙනෙහි කිරීමෙන් ලද මානසික ප්‍රබෝධය මෙසේ වර්ණනා කරයි.

“ඝන වලාකුළු සුළඟින් ගසාගෙන යන ලදුව චන්ද්‍රයා අහසෙහි දිස්විය. සඳරැස් වැටීමෙන් අහස ඔද වැඩී කිරි මුහුද මෙන් විය. ධනුර්ධර්යන් රාශියක් අහසෙහි සිට මුදා හරින ලද රන්වන් හී රැසක් මෙන් සඳරැස් ගස්වල අතුපතරින් ගමන් කොට බිම වැටී හුන් ලයනල්ගේ මුහුණෙහි ගැටිණ.”

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විශිෂ්ටතම නවකතාව වන විරාගයේ අරවින්ද චරිතය විවරණය කිරීමේදී පරිසරය ඒ ඒ අවස්ථාවන්හි උපයෝගී කොටගෙන ඇත්තේ එහි ප්‍රධාන චරිතය වන අරවින්දගේ අධ්‍යාත්ම තතු හෙළි කෙරෙන අන්දමිනි. ජීවිතයේ කිසිම දේකට ඇලුම් නොකළ අරවින්ද මියයන්ට මොහොතකට පෙර පරිසරය ඇසුරින් ඔහුගේ මනස විනිවිද දකින වැනුම ඔහුගේ මුළු මහත් දිවිමඟ හා අධ්‍යාත්ම නතු අනාවරණය කිරීමක් වැන්න.

“මගේ කාමරයේ ජනේලයේ පොලු අතරින් මට නිතර පෙනෙන්නේ පුරන් වුණු වෙලකි. මේ පිටියට අනතුරුව ඇත්තේ එකිනෙකට උස්ව නැඟීමට තරග කරන මහා ගල්කුළු සහිත කඳු පෙළකි. ඇතැම් කඳුවල මුදුන් වැගිර නැඟී අහසට එක්වන්ට වෑයම් කරන වලාකුළු වැන්න. හිරු නඟිත්ම කඳු මුදුන් දැඩි නිසල ස්වරූප ගනියි. කඳු මුදුන වලාකුළු හා ගැටෙතත් පාදය පුරන්වූ වෙලෙහි දැඩිව පිහිටියකි. මගේ සිත පියාපත් සිඳිනු ලැබූ ලිහිණියකු වැන්න” (විරාගය)

ජීවන හා පාරිසරික සෞන්දර්ය අරබයා වික්‍රමසිංහයන් තුළ තිබූ ඇල්ම කෙමෙන් මෝරා වැඩුණු අයුරු 1916 වසරේ දී දිනමිණ පත්‍රයට ලියූ වෘක්ෂලතා හා සත්වයෝ ලිපි පෙළින් අනාවරණය වෙයි. එතැන් සිට හැත්තෑ වසරක් මුළුල්ලේ ඔහු ලියූ ලේඛන සම්භාරය, පරිසරයේ ජීවය උකහාගෙන වැඩුණු විසල් වනස්පතියක අතු ඉති වැන්න.

මාර්ටින් වික්‍රමසිංහ ජීවන හා පාරිසරික සෞන්දර්යය

දයාපාල ජයනෙත්ති


advertistmentadvertistment