රට යන්න පුළුවන්ද? – හරිම අනාවැකිය ජ්‍යොතිෂ්‍යයෙන් දැනගන්න

231

මෙලොව උපන් බහුතරයක් ජන්මීන් උත්සාහ කරන්නේ කෙසේ හෝ වෙර වීරියෙන් හොඳ උසස් අධ්‍යාපනයක් ලබා ඉහළ වෘත්තියක හෝ සාර්ථක ව්‍යාපාරයක නිරත වී රටට ජාතියට සේවයක් කර සාධාරණව මුදල් උපයා දියුණු වී තම ජීවිතය සාර්ථකව සුඛිත මුදිත තත්ත්වයකට පත්කරගැනීමටය. එය එසේ මුත් ඕනෑම ජන්මියකුගේ ඉරණම තීරණය වන්නේ උපන් ග්‍රහචාරය මතය. මෙහිදී කෙනකු තමන් උපන් ගමේ විශාල දියුණුවක් ලබන අතර තව අයෙක් තමා උපන් ගමෙන් වෙන්වී වෙනත් දුරබැහැර ප්‍රදේශයක හෝ විදේශ රටක විශාල දියුණුවක් ලබයි. එසේම ඇතැමුන්ට තම උපන් බිම එතරම් පල නොදෙන අතර ඇතැමුන්ට දුර බැහැර වාසයත් විදේශගත වීමත් පල නොදේ. මෙකී සංකීර්ණ තත්ත්වය ඉතා පැහැදිලිව, නිරවුල්ව, සරලව විග්‍රහ කළ හැකි දිව්‍යමය ශාස්ත්‍රයකි, මහා බ්‍රහ්මයා වෙතින් ශිව දෙවිඳුන් උගෙන සෘෂි උතුමන් හට දායාද කළ ජ්‍යොතිෂ විiාව.

ඕනෑම ජන්ම පත්‍රයක 4 වැන්නෙන් තම උපන් ගම, නිවස සම්බන්ධ තතු අනාවරණය කරගත හැක. එසේම ඒ සඳහා 4 වැන්න අධිපති ද ඉතා වැදගත්ය. යම් ජන්ම පත්‍රයක 4 වැන්න සේම 4 වැන්න අධිපති ද බලවත් නම් එම ජන්ම පත්‍ර හිමියා උපන් ගම, නිවස හැර නොයයි. ඔහුගේ දියුණුව ඇත්තේ උපන් ගමේ නිවසේය. නමුත් යම් ජන්ම පත්‍රයක 4 වැන්න සේම 4 අධිපතියා දුර්වල නම් උපන් බිමෙන් ඈත්වීම සිදුවේ.

සාමාන්‍යයෙන් ජන්ම පත්‍රයක විදේශ ගමන් සම්බන්ධව විමසා බැලීමේදී කේන්ද්‍ර ස්ථාන හෙවත් විෂ්ණු ස්ථානත් ලක්‍ෂ්මී ස්ථානත් ඉතා වැදගත්ය. එහිදී විශේෂයෙන් ජන්ම පත්‍රයක 9 වැන්නත් 12 වැන්නත් කෙරෙහි විශේෂ අවධානයක් දැක්විය යුතුය. කෙසේ නමුත් 4 අධිපති 12 වැන්නේ නම් ස්ථිරවම උපන් ගමෙන් රටෙන් ඈත්වේ. එහිදී සඳු හෝ රාහු 12 වැන්නේ වීම මෙකී තත්ත්වය වර්ධනය කරයි. යමකුට විදෙස්ගත වීමට නම් ඒ සදහා වාසනාවත් පිනත් උපතින්ම ගෙන ආ යුතුය. එනමුත් ඇතැමුන් යම් අපල කාලවකවානු උදාවීම දැනගත් විගස එම කාලවකවානු මගහැරවීමට විදේශගත වනු දැකිය හැක. නමුත් මෙය ඉතා පරිස්සමින් කල්පනාකාරීව නිවැරදිව ජ්‍යොතිෂ ගණනය කිරීම් ආදිය සිදුකර සෘෂි නියමයන්ගෙන් යුත් ජ්‍යොතිෂ සිද්ධාන්ත හා න්‍යායන්ට පටහැනිව සිදුනොකළ යුත්තකි.

එනමුත් වර්තමානයේ නම් බොහෝ විට උසස් අධ්‍යාපනය ලැබීම සඳහාත් යම් රැකියාවක් කර යහමින් ධනය ඉපයීම සදහාත් විදෙස්ගත වේ. එම ගමන් සාර්ථක වූ අවස්ථා මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද එමටය. කෙසේ නමුත් කවර ආකාරයක හෝ විදේශ ගමනක් අසාර්ථක වන්නේ විදේශගත කිරීමේ ගණිතය හෙවත් සුසංගත අක්‍ෂාංශය කෙරෙහි නිසි වග විභාගයකින් තොරව එනම් ජ්‍යොතිෂ විiාත්මකව තමා විදේශගත වන කර්තව්‍යයට, වඩා සුදුසු රට තෝරා බේරා ගැනීමකින් තොරව විදේශගත වීමෙනි. එය එසේ තෝරා බේරා ගැනීමට නොහැකි වී ඇත්තේ බහුතරයක් ජ්‍යොතිෂවේදීන් විදේශගත කිරීමේ ගණිතය සම්බන්ධව ආසාවක් නොමැති වීමෙනි. විදේශගතවීම සඳහා කොතරම් හැකියවක් උත්සාහයක් වාසනාවක් පෙර පින් බලයක් තිබුණ ද විදේශගතවීම කරුණු කාරණා සොයා බලා සිදු කළ යුත්තකි.

පෙර සඳහන් කළ සේම ජන්ම පත්‍රයක 12 වැන්න හා 9 වැන්න බලවත්වීම සේම එහි අධිපතීන් බලවත් වීමත් එම අධිපතීන් එම ස්ථානවල තැන්පත් වීමත් එකී ස්ථානවලට දෘෂ්ටි දීමත් විදෙස් ගමන් සඳහා මහත් රුකුලකි. කෙසේ නමුත් විදේශගත වීමට තීරණය කරන ජන්මියකු තම කේන්දරයේ විදේශ ගමන් යෝග වේද යන්න සොයා බැලිය යුතුය. එහිදී එය විදේශගත පදිංචියක් දක්වා වර්ධනය වේද යන වගත් නොඑසේ නම් විදේශ ගමන සාර්ථක වේද? නොවේද? යන වගත් විමසා දැනගත යුතුය. ජ්‍යොතිෂය මැනවින් පරතෙරට උගත් ජ්‍යොතිෂවේදියා ඊට සාර්ථකව පිළිතුරු සැපයීමට සමත් විය යුතුය. ඔහු ඒ සඳහා ඔහුගේ උගත්කමත්, දැනුමත්, අත්දැකීම් හා පළපුරුද්දත් භාවිතා කළ යුතුය.

විශේෂයෙන් 9, 12 වැනි භාව චර රාශි වීමත් ඒවාහි අධිපතියෝ චර රාශිගත වීමත් විදේශගතවීම් මොනවට කියාපායි. කෙසේ නමුත් බොහෝ විට උගත් පරිණත ජ්‍යොතිෂවේදීන් ජන්ම පත්‍රය පමණක් නොව විදේශගත වීමට සූදානම් වන ජන්මියා පැමිණි වේලාව පදනම් කරගෙන තත්කාල ශාස්ත්‍රයට අනුව ද කරුණු කාරණා විමසයි. එහිදී විදේශගත වීමේ සාර්ථක අසාර්ථක බව මැනවින් විමසා අනාවරණය කර ගනී. විශේෂයෙන් විදේශගත වීමේදී සිකුරු, රාහු, ගුරු චන්ද්‍ර වැනි ග්‍රහයන් ඉතා වැදගත්ය. එහිදී සිකුරු ප්‍රබලව කර්මස්ථානගතවීම ද ඊට රාහුගේ යෝගයක්, සංයෝගයක් හෝ දෘෂ්ටියක් වීම ද විදේශගතවීම් ස්ථිර කරයි. නමුත් එය බොහෝවිට කෙටි විදේශ සංචාරයක් විය හැක. තවද රැකියාවක් සඳහා විදේශගත වීමේදී ලබාඇති මහ දශාව හා අන්තර් දශාව ද ඉතා වැදගත්ය. විශේෂයෙන් රාහු, ගුරු, සිකුරු වැනි මහ දශා අතුරු දශා විදේශගත වීමට ඉතා යහපත්ය.

සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන ජන්මීන්ගේ 4 වැන්නේ සිකුරු සමඟ බුධ හෝ ගුරු යෙදීම පෙන්වා දිය හැක. තවද 9 වැන්න බලවත්ව එහි රාහු, ගුරු, සිකුරු යෙදීමෙන් ද විදේශගත වන බව තහවුරු වේ. කෙසේ නමුත් මෙකී පිහිටීම් සඳහා පලාපල පැවසීමට ප්‍රථම ශුභ ගෝචරය හා වේදයන් අශුභ ගෝචරය හා වේදයන් සම්බන්ධව ද සලකා බැලිය යුතුය. කෙසේ නමුත් විදේශගත වන පිහිටීම් ලග්න, නවාංශක පදනමින් සියුම්ව ගැඹුරින් පරීක්‍ෂා කළ යුතුය. එහිදී අනාවරණය කරගත හැකි විදේශගත වන පිහිටීම් බොහෝ ය. ඒ සියල්ල මේ කුඩා ලිපියට ලඝු කළ නොහැක. තවද සඳු 11 වැන්නේ වීම නිතර නිතර විදේශගත වීමට සිදුවන පිහිටීමක් බව ද කිව යුතුය.

ඉහතදී සඳහන් කළ විදේශගත වීමට අදාළ සියලු පිහිටීම් පරීක්‍ෂා කර බැලිය යුත්තේ දළ රාශි කේන්දරයේ නම් නොවේ. දළ රාශි කේන්දරය හුදෙක් දළ සැකැස්මකි. එමගින් ග්‍රහයන්ගේ නියමාකාර ස්ථානගතවීම් බලාගත නොහැක. ග්‍රහයන් භාව සන්ධිගතවීම්, භාව ගිලීම් වලට ලක්වීම්, ගිලුණු භාවවලට ග්‍රහයන් අසුවීම්, උදා ග්‍රහයන් මෙන්ම අස්ථ ග්‍රහයන් හඳුනාගැනීම් ආදී මෙකී නොකී බොහෝ දේ දළ රාශි කේන්දරයෙන් නොපෙනේ. එනිසා දක්‍ෂ උගත් ජ්‍යොතිෂවේදියකු ලවා නිරයන භාව කේන්ද්‍රය නිර්මාණය කර, ගැඹුරින් නිවැරදිව පරීක්‍ෂා කර ගන්න. ඊට හේතුව ඉතාම නිවැරදි කේන්ද්‍ර සටහන දළ රාශි කේන්ද්‍ර සටහන නොව භාව කේන්ද්‍ර සටහන වීමයි.

තව ද හස්ත රේඛා ශාස්ත්‍රය හොඳින් දත් අයකුට නම් ජන්මියාගේ නිවැරදි හස්තය නිවැරදි කාලවකවානුව තුළ නිවැරදි වේලාවේ නිවැරදි ලෙස පරීක්‍ෂා කිරීමෙන් එම ජන්මියාගේ චන්ද්‍ර මණ්ඩලයේ දිස්වන රේඛා අනුසාරයෙන් ජන්මියා විදේශගත වේද, එය සාර්ථක වේද, අසාර්ථක වේද, වාර ගණනාවක් විදේශගත වේද යන කරුණුත් නිවැරදිව අනාවරණය කරගත හැක.

රට යන්න පුළුවන්ද? - හරිම අනාවැකිය ජ්‍යොතිෂ්‍යයෙන් දැනගන්න

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment