විදුලි අර්බුදයක් එනවා යැයි පවසා – ටෙන්ඩර්වලින් තොරව ඩොලර් කුට්ටි පිටින් කොමිස් ගැසීමේ සූදානමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

70

විදුලි අර්බුදයක් එනවා යැයි පවසා පෞද්ගලික විදුලි ජනන මාෆියාවට මුල් තැන දෙමින් ටෙන්ඩර්වලින් තොරව විදුලිය මිලදී ගැනීමට සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඩීසල් මාෆියා කරන පුද්ගලයන් සහ ඉන්ධන උපයෝගී කර ගෙන විදුලි සැපයුම් කරන ආයතන ඇතුළු බොහෝ දෙනා මේ හදිසි තත්ත්වය උපයෝගී කර ගෙන ඩොලර් කුට්ටි පිටින් කොමිස් ගැසීමට සුදානමින් සිටින බවත් ඖෂධ මිල දී ගැනීමේදී ද සිදු වූයේ මෙය බවත් හෙතෙම කීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ ඊයේ (02දා) නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයට 74 වැනි බස් රථය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම බස් රථයෙ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ ගෙන්වීමෙදී ඖෂධ නියාමන අධිකාරි පනතේ 58 වැනි වගන්තියේ සඳහන් ලියාපදිංචි ටෙන්ඩර් ප්‍රසම්පාදන ආකාරය අමතක කර ලියාපදිංචි නොකරන ලද ඖෂධ ගෙන්වීම නිසා ගජමිතුරන් සමග විශාල කොමිස් මුදල් ලබා ගන්නා දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.

මෙම ක්‍රමවේදයම විදුලි අර්බුදයක් එනවා යැයි පවසා පෞද්ගලික විදුලිජනන මාෆියාවට මුල් තැන දෙමින් ටෙන්ඩර්වලින් තොරව විදුලිය මිලදී ගැනීමට සූදානම් වන බවත් කීය.

මේ සියලු දේවල් කරන්නෙ විදුලි බිල අවස්ථා දෙකකදී සියයට 500කින් වැඩි කරමින් බවත් එසේ වැඩි කර තිබියදී අඛණ්ඩව විදුලිය ලබා දීමට පෞද්ගලික මිල දී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය බවත් එසේ නොමැති නම් අඛණ්ඩව විදුලි සැපයුම දිය නොහැකි බවට රජය පවසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තත්ත්වය තුළ ජලය නොමැතිව උඩවලව ව්‍යාපාරයේ මෙන්ම මුළු රටේම ගොවීන් අසරණ වී ඇති බව යි.

නිසි ජල කළමනාකරණයක් නොමැති වීමත් රජයට ඒ සම්බන්ධයෙන් නිසි පුරෝකථනයක් නොමැති බවත් කිසිදු අවබෝධයක් නොමැතිව ගොවීන්ට ජලය දිය නොහැකි බවට කැබිනට් එක පවා තීන්දු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහ පොළොව සමග ගනුදෙනු කරන ගොවි ජනතාව ගැන රජයට කැක්කුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය. වත්මන් රජයට පාසල් දූදරුවන්ට දිවා ආහාරය ලබා දෙන්න බැරි වුනාට සමග ජනබලවේග රජයක් යටතේ සැම පාසලකම දූ දරුවකුටම දිවා ආහාරය ලබා දී සුහුරු පුරවැසියකු බිහි කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment