මාලිමා ආණ්ඩුව සමයේ රාජ්‍ය නිලධාරීන්ට පැවරූ පළමු අල්ලස් නඩුව: ශල්‍යාගාර ලාම්පු නඩුවේ ජීව වෛද්‍ය ඉංජිනේරුවාට චෝදනා පත්‍රය භාර දෙයි

79

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ශල්‍යාගාර ලාම්පු 35ක් පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමේදී ලාම්පු සම්බන්ධයෙන් නිසි තාක්ෂණික ඇගයීමක් සිදුනොකර ටෙන්ඩරය අනුමත කිරීමෙන් එකී සමාගමට අයුතු වාසියක් සිදුකිරීම හා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සුබසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක නමැත්තාට ඊයේ (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී චෝදනා පත්‍රය භාරදීම සිදුකෙරිණි.

චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වනතුරු විදේශ ගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළේය. ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුගේ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරනා ලෙසටත් ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසටත් නියෝග කළේය. 2024 ඔක්තෝබර් 26 වැනිදා අල්ලස් කොමිෂන් සභාව විසින් පැවරූ එම නඩුව වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය නිලධාරියකුට එරෙහිව පැවරූ පළමු නඩුව වේ.

2015 අප්‍රේල් 7 වැනිදා සහ 2016 ජූලි 15 වැනිදා කාලය අතරතුරදී ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකව සිට ඉංජිනේරු තාක්ෂණික ව්‍යුහය විද්‍යාත්මකව ඇගැයීමට සිටි එකම විශේෂඥවරයා වූ විත්තිකරු විසින් සකස් කරන ලද පිරිවිතරය මත එකී ටෙන්ඩරය ටෙක්නෝමෙඩික්ස් ඉන්ටර්නැෂනල් සමාගමෙන් මිලදී ගැනීම සුදුසු බවට අනුමත මගින් වැඩිම ලංසුව මත මිලදී ගැනීමෙන් දූෂණය නමැති වරද රජයේ සේවකයකු ලෙස සිදුකර ඇතැයි එමගින් වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස විශ්‍රාමික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පාලිත මහීපාල, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රසන්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු 31 දෙනකු නම් කර තිබූ අතර නඩු භාණ්ඩ 16ක් ලේඛනගත කර තිබිණි.

නීතිඥ අමිල පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ද සිල්වා යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අතර සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් තුෂිතා ජයනෙත්ති මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment