වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හා හිටපු ජනාධිපතිවරු ගණනාවක්ම එක තැනක එකට හමුවූ උත්සවයක් පසුගිය සඳුදා (10දා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මුළු රටේම අවධානය ඒ උත්සවය සඳහා යොමු වී තිබුණේ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හිමියන් ලෙස අභිනවයෙන් තේරීපත්වූ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක හිමි උත්තරීතර තානාන්තරය ප්‍රදානය කිරීමේ මහෝත්සවය ලෙස ඒ උත්සවය සංවිධානය කර තිබූ නිසාය. රජය වෙනුවෙන් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි ප්‍රමුඛ අමාත්‍යාංශය සංවිධානය කර තිබූ එම උත්සවයට හිටපු සියලුම ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයන්ට මෙන්ම බෞද්ධ කලාපීය රටවල තානාපතිවරුන්ටත් ආරාධනය කර තිබිණි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග ආදි මහත්ම මහත්මීන් පැමිණ සිටීම විශේෂත්වයකි. ජනාධිපතිනි චන්ද්‍රිකා ශාලාවට පැමිණියේ අනුර කුමාර ජනාධිපතිවරයා පැමිණ අසුන් ගන්නට සූදානම් වූ අවස්ථාවට ආසන්නවයි. ඇය පැමිණෙන විට ජනාධිපතිවරයා අසලම සිටි ප්‍රභූවරයෙක් ඇයට අත දිගු කරමින් පිළිගන්නට සූදානම් වුවත් ඕ ඊට ප්‍රතිචාර දැක්වූයේ දෑත් එකතුකොට ආයුබෝවන් කියාය. ජනාධිපතිවරයා ඇයට ආයුබෝවන් කීවා දැයි පැහැදිලි නැත. එහෙත් සිද්ධිය හුවා දැක්වූ බොහෝ සමාජ මාධ්‍යවල ප්‍රකට වූයේ ජනාධිපතිනිය දෑත් එකතු කර වත්මන් ජනාධිපතිට ආයුබෝවන් කීවත්, ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා බලා සිටි බවටයි.
කෙසේ වෙතත් උත්සවය ඉතා ගරු ගාම්භීර ගෞරවනීය එකක් වූහ. ජනාධිපතිවරයා මහ නායක හිමියන්ගේ මහා නායක පදවියට අදාළ සන්නස් ප්‍රත්‍රය ප්‍රදානය කළ අතර සංස්කෘතික ඇමැතිවරයා ඊට අදාළ අක්තපත්‍රය ප්‍රදානය කළහ. ඉන් අනතුරුව සිදුවූ පිරිකර පූජාවන්ට සහභාගි වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට ද ආරාධනා කර තිබුණි. ඒ වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය උත්සවයේ සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ තමන්ට පාදයේ අපහසුතාවක් නිසා වේදිකාවට ආරාධනය නොකරන්නයි කියාය. එහෙත් එම ඉල්ලීම මනාව සම්බන්ධීකරණය වී නොතිබිණි. නිවේදනයට අනුව ඇයට ද වේදිකාවට නඟින්නට සිදු විය. වෙනත් අමතර සිදුවීම් හා කතාබස්වලින් තොරව උත්සවයේ වැඩකටයුතු ඉතා සාර්ථකව අවසන් වූයේ ජනාධිපතිවරයා කරනු ලැබූ කතාවෙනුත් අභිනව මහානායක හිමියෝ දේශනා කරනු ලැබූ අනුශාසනාවෙනුත් අනතුරුවයි.
ඒ හැරුණු විට පසුගිය සතිය පුරාම ජනාධිපතිවරයාට වැඩ අධික විය. ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ පිළිබඳ විවාද පාර්ලිමේන්තුවේ දිගින් දිගටම පැවැත්වීම නිසා දේශපාලනඥයෝ ද සිටියේ කාර්යබහුලවය. එම විෂය කරුණුවලට අමතරව පාර්ලිමේන්තුව තුළ පසුගිය සතියේ දේශපාලනමය කරුණු කාරණා රාශියක් සාකච්ඡාවට ගැණුනේ විපක්ෂයේ උණුසුම් මැදිහත්වීම් හා ඉදිරිපත්වීම් රාශියක් මතයි…
මැතිනියට වෙච්ච දේ රනිල්ටත් වෙන ලකුණු….
ඒ අතර දේශපාලන කරළියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳ නැවත සාකච්ඡාවක් ඇති විය. ඒ ඔහු පසුගිය දිනක අල්ජසීරා රූපවාහිනි නාලිකාවත් සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක් නිසාය.
රනිල් කොහොමටත් මෙබඳු සම්මුඛ සාකච්ඡාවලට පෙනී සිටිමින් දෙස් විදෙස් කීර්තියක් අත්පත් කරගෙන තිබුණේ නිවේදකයන්ට හෝ වැඩසටහන් පූරකයන්ට නතුකරගත නොහැකි ඉතා උපායශීලී දේශපාලනඥයකු හැටියටයි. එම වැඩසටහනේදී ආරම්භයේ පටන්ම හිටපු ජනාධිපතිවරයා නිවේදකයාගේ ප්‍රශ්න හා ඉදිරිපත් කිරීම් තඹයකට මායිම් නොකරමින් උත්තර දෙන පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේය. ඔවුන් උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහගේ අතීත ක්‍රියාකාරීත්වය හාර අවුස්සමින් ප්‍රශ්න කිරීමට නොව. ඔහු ජනාධිපති වූවාට පසු වර්තමාන ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරමින් වැඩසටහන පවත්වාගෙන යෑමටය. එහෙත් එහිදී ජනාධිපති රනිල් අනුගමනය කළ සැලකිල්ලක් නොදැක්වීමේ පිළිවෙත ඔහුට රිස්සුවේ නැත. එතැන් පටන් නිවේදකයා අතීතය වමාරමින් රනිල් සම්බන්ධයෙන් වන අතීතයේ අඳුරුතම පැතිකඩ ලෙස සලකන “බටලන්දේ සිද්ධිය” මුල් කරගෙන ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.
එහිදී ද සුපුරුදු ප්‍රතිප්‍රහාරය ආරම්භ කළ රනිල් එවන් චෝදනා දේශපාලන විරුද්ධවාදීන් පවසතත් ඒ පිළිබඳ වාර්තාවක් හෝ ලියැවිල්ලක් නැතැයි කරුණු කියන්නට විය. නිවේදක තෙමේ මේ අවස්ථාවේ දී බීබීසී ආයතනයේ සහයෝගය ද රැගෙන බටලන්ද සිද්ධිවලට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව කරළියට ගත්තේය.
කෙසේ වෙතත් එම සම්මුඛ සාකච්ඡාව පිළිබඳ සමාජයේ ආකල්ප හා මත විවිධය. ඇතැම්හු පෙන්වා දුන්නේ එය ආණ්ඩුවට අවශ්‍ය පරිදි සැකසුණු වැඩසටහනක් බැවින් රනිල් වික්‍රමසිංහ ඊට සහභාගි වීම නුවණට හුරු ක්‍රියාවක් නොවන බවයි. ඇදගෙන නෑමක් බවයි. තවත් පිරිසක් පෙන්වා දුන්නේ එය දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි සැකසුණු වැඩසටහනක් බවයි. එහෙත් එය එවන් උගුලක් ලෙස ක්‍රියාත්මක වූවක් නොව, ගරු ගෞරවනීය මාධ්‍ය සාකච්ඡාවක් බව පිළිගන්නා මැදහත් පිරිසක් ද මේ අතර වූහ.
සිද්ධියෙන් පසු රට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන වෙනම සාකච්ඡාවක් ආරම්භ විය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 88-89 අවිචාරවත් සමයේ බලවත් තරුණ අමාත්‍යවරයෙකි. එවකට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කටයුතු මෙහෙයවූ ත්‍රස්තවාදී සංවිධානයක් මර්දනය කිරීම සම්බන්ධයෙන් වධකාගාරයක ස්වරූපය ඉසුළුවා යැයි කියන බටලන්ද රැඳවුම්පළ පවත්වාගෙන ගියේ රනිල්ගේ බියගම ආසනයේ බැවින් ඔහුට ඒ සම්බන්ධයෙන් නැඟුණු චෝදනාවන්හි නිමක් නොවූහ. එකල්හි ජනාධිපතිනි චන්ද්‍රිකාගේ මෙහෙයවීමෙන් ඒ ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පවා පත් කෙරුණේ බටලන්ද වධකාගාරයේ සිදුවීම් සොයන්නටය. ඒ සියලු චෝදනා රනිල් වික්‍රමසිංහ තරුණ ඇමැතිවරයාට එල්ල වද්දී කොමිසමේ වැඩකටයුතු අවසන් වී වාර්තාවක්ද ජනාධිපතිනිය වෙත භාර දුන් බවට තොරතුරු තිබේ. පසුගියදා පැවැත්වූ අල්ජසීරා සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ කාලයේ හමස්පෙට්ටියට වැටී සැලකිල්ලට නොගෙන තිබූ බටලන්ද කොමිෂන් වාර්තාව යළිත් කරළිය වෙත පැමිණීමයි.
එම වාර්තාව සමාජගත වීමත් සමගම වත්මන් රජය වෙත සමාජයෙන් නැඟෙන්නට වූ පීඩනය සුළු පටු නොවීය. පසුගිය සමයේ සිදුවූ ඝාතන හා මර්දන ගැන සොයන්නට විශේෂ කොමිෂන් පත්කරමින් ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වමින් වගකිවයුත්තන් හමුවේ නීතිය අකුරටම ක්‍රියාවේ යොදවනවා යැයි ජවිපෙ ඇතැම් දේශපාලනඥයෝ වේදිකාවන්හි හඬ නැඟූ ආකාරය මතක් කරමින් සමාජයේ යම් යම් කණ්ඩායම් රජයට බලපෑම් කරන්නට වූහ. මේ තෙරපුම මත ආණ්ඩුව බටලන්ද කොමිසම ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට තීන්දුවක් ගත්තේය. ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශයන් නිකුත් කළේය. කැබිනට් මණ්ඩලය ඇතුළේ ද ඒ ගැන සාකච්ඡා කෙරුණු අතර එහිදී ද තීන්දු වූයේ බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට දැමිය යුතු බවයි.
බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට දැමීමට රජය සූදානම් බව රට පුරා ප්‍රසිද්ධ වීමත් සමගම ඇතැම් පිරිස් කලබල වූහ. ඇතැම් පිරිස් උද්දාමයට පත්වූහ. ඒ අතර ආණ්ඩුවට තව තවත් දේවල් මතක් කර දෙන්නට සූදානම් වූ පිරිසක් ද සිටියහ. ඒ වූ කලී පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන්ය.
“ඇයි බටලන්ද කොමිසම විතරක්… ඒගොල්ලෝ පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවේ පොරොන්දු දුන්නේ මේ රටේ හැට දහසක් නිර්මාණශීලී තරුණ පරපුර ටයර් සෑ මත දවා අළු කළ සියලු වගකිවයුත්තන් සොයා දඬුවම් කරන බවටයි. ඒ ඝාතන හොයන්න කොමිෂන් පත් කරන බවටයි. විජේවීර කියන්නේ අපේ පක්ෂයේ නායකයා. පහුගිය දවස්වල මාලිමාවත් එක්ක හුරතල් වුණු ඇතැම් හමුදා නායකයෝ එතුමන්ව අමු අමුවේ වෙඩි තබා පණපිටින් පුළුස්සා දවපු ආකාරය තම ඇහින් දුටු සාක්ෂිකරුවෝ සමාජයේ ඉන්නවා. පොරොන්දු වුණේ ඒ ගැන හොයනවා කියල නම් දැන් ඔන්න අවස්ථාව විජේවීර ගැන හොයන්නත් කොමිසමක් පත් කරන්න… අපි ආණ්ඩුවට ඒ සඳහා බලපෑම් කරන්න ඕන.” පෙරටුගමී පක්ෂය මේ ගැන සාකච්ඡා කරන්නට වූහ. එසේ විජේවීර ඝාතනයේ ඇහින් දුටු සාක්ෂිකරුවා පෙරටුගාමී පක්ෂයේ වත්මන් නායකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වාය. එදා හමුදාවේ ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළේය. විජේවීරගේ අවසන් ඡායාරූප ගත්තේ ඔහුය. විජේවීර ඝාතනය වූයේ ඔහු ඉදිරියේය. ඒ සියල්ලෙහි ඇසින් දුටු සාක්ෂිකරුවා වන ඔහු ඉදිරිපත් වී විජේවීර කොමිසමක් නොදමන්නේ මන්දැයි ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්නට වූහ.
බටලන්දට විතරක් ඇයි විජේවීරටත් කොමිසමක් ඕන
මේ අතර පසුගිය සතියේ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වූහ. එහි නායක කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව, පුබුදු ජාගොඩ, සේනාධීර ගුණතිලක, චමීර කොස්වත්ත ඇතුළු සාමාජිකයෝ මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කළහ. ඒ වන විට සමාජයේ පැතිරෙමින් තිබූ මතවාදය වූයේ වත්මන් ආණ්ඩුව බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට දමා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඇති කොට රනිල් වික්‍රමසිංහට නිසි දඬුවමක් ලබාදීමට සූදානම් වනු ඇති බවකි. ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ යම් යම් අදහස් දැක්වීම් පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පවා බටලන්ද කොමිසමේ නිර්දේශ ප්‍රමාණවත්ය. නිර්දේශ සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කොට රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කළ හැකි බව පිරිසකගේ මතයයි.
එහෙත් පෙරටුගාමී දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාවේදී ඔවුන් පලකළ මතය වූයේ… “අනුරලා රනිල්ලා හොඳ යාළුවෝ. රනිල්ට නරකක් වෙන්න කොහොමටවත් අනුරලා ඉඩ තියන්නේ නෑ. හැබැයි ජවිපෙ ගැන කැපකිරීම් කරපු බලවේගවලින් අනුරට බේරිල්ලක් නෑ…”
එහෙත් මේ රටේ ජනතාව ඒ සඳහා ආණ්ඩුව තල්ලු කළ යුතු බව ඔවුන්ගේ මතයයි. බටලන්ද කොමිසමට වඩා විජේවීර ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර පරීක්ෂණයක් පවත්වනවා යැයි මැතිවරණ වේදිකාවේ පොරොන්දු දුන් ආණ්ඩුව දැන් එය ඉටු කළ යුතු බව ඔවුන් සාකච්ඡා කළහ.. ඒ සඳහා දේශපාලනඥයන් හැටියට මහජනතාව දැනුවත් කරන්න පොරොන්දු ඉටුකරන්නට රජය වෙත බලපෑම් කළ යුතු බව පෙරටුගාමී දේශපාලන මණ්ඩලයේ අදහස වූහ.
“ආණ්ඩුව මේක පාර්ලිමේන්තුවට දානවා කියලා කියන්නෙ සමාජයෙන් ආපු තෙරපුම නිසා. ඒ වුණාට මේක එතනින් එහාට අරගෙන යයි කියලා අපට නම් විශ්වාසයක් නෑ. අරගෙන යන්න අපි ජනතාවත් එක්ක රජයට බලපෑම් කරන්න ඕන…”
මේ අතර පහුගිය දිනක ආණ්ඩුවේ ඇමැතිවරයකු වන නජිත් ඉන්දික, රජයට උදව් කරන එක්තරා පුද්ගලික රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට පැමිණ ඉදිරිපත් කරනු ලැබූ අදහසක් පෙරටුගාමීන්ගේ සැලකිල්ලට ලක්වූහ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී පියවරක් නොගනු ඇතැයි කියා ඔවුන් නිගමනය කරන්නට වූයේ නජිත්ලාගේ එවන් අදහස් දැක්වීම් ඉදිරියේය…. ඔහු එම වැඩසටහනේදී කියා ඇත්තේ මෙබඳු අදහසකි.
“මේ රටේ ජනතාව ලොකු බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ පරණ කුණු අවුස්ස අවුස්සා කාලය කා දමන්න නෙවෙයි. මේ රට හදන්න. මේ රට වැටිලා තියන ආගාධයෙන් මුදව ගන්න. පරණ වැරදි හොය හොයා ඉන්නවට වඩා අපිට මේ රට සංවර්ධනයේ මාවත වෙත ගෙනයන්න ලොකු වගකීමක් යුතුකමක් තියෙනවා…” එම වැඩසටහනේදී ලහිරු පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් නජිත්ගෙන් ලොකුවට ඒ ගැන ප්‍රශ්න කළත් ඔහුගේ අදහස වී තිබුණේ “පරණ කුණු හවුස්ස අවුස්සා රට ගඳ ගස්වමින් ඉදිරි වසර කිහිපය කාලය කා දැමිය යුතු නැති බවයි. රට වැටී ඇති තැනින් එතෙර කරවීමට රජය අවධානය යොමු කළ යුතු බවයි..”
ශක්තිමත් මාලිමාවට විපක්ෂයේ දුර්වල සටන…..
පසුගිය සතිය පුරාම විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණය සඳහා එකතු වී තරග කරන්නට සාකච්ඡා කරන්නට වූහ. බොහෝ දෙනකුගේ මතය වූයේ විපක්ෂය එකතු වී පළාත් පාලන ආයතනවලට තරග කළහොත් ආණ්ඩුවට ලොකු තරගයක් ලබාදී පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් විපක්ෂය වෙත දිනාගත හැකි වනු ඇති බවයි. සමූපකාර ඡන්ද උදාහරණයට ගෙන ඇතැම් දේශපාලන පක්ෂ මෙය සාකච්ඡා කරන්නට උත්සාහ ගත්හ.
එහෙත් ප්‍රධාන පක්ෂ ගණනාවක් ඊට ඉඳුරාම කැමැත්ත පල කර සිටියහ. විශේෂයෙන්ම සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය හා එක්වන්නට අකමැත්ත ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව හැරදා ගිය සිලින්ඩරයෙන් තරග වැදුණු අපේක්‍ෂකයෝ රැසක් එක් කරගන්නට අකැමැත්ත පළකළහ. ඒ අනුව සමග ජනබලවේගය වෙනම තරග කරන්නට තීරණය කළහ. පොහොට්ටුව සෑම දිස්ත්‍රික්කයකටම සෑම ආසනයකටම වෙනම තරග කරන්නට උත්සාහ කළහ. එහිදී එක්සත් ජාතික පක්ෂයට ද වෙන මගක් නොවීය. ඔවුන් ද වෙනම තරග කරන බව කීහ. පොහොට්ටුවෙන් රනිල් සමග එක්වූ කණ්ඩායමෙන් කොටසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පුටුව ලකුණෙන් තරග කරන්නට තීරණය කළහ. දිලිත්ගේ සර්වජන බලවේගය කොමිනිස් පක්ෂය හා පිවිතුරු හෙළ උරුමය සමග එකතු වී ඇතැම් මැතිවරණ කොට්ඨාශවල තරග කරන්නට සාකච්ඡා කළහ. එහෙත් කොමිනිස් පක්ෂය තමන්ට අවශ්‍ය තැන්හිදී වෙනම තරග කරන්නට ඇති අයිතිය තබාගෙන ඊට පක්‍ෂයේ එකඟත්වය පළ කළහ. මේ අතර ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායමක් මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් විපක්ෂයේ එකතුවක් හැටියට ස්වාධීන කණ්ඩායමක් තරග බිමට ඉදිරිපත් කරන්නට සාකච්ඡා කළත්, ඒවා ඒ තරම් ප්‍රතිඵලදායක බවක් පෙනෙන්නට තිබුණේ නැත.
එජාපයට ගැටලු ගොඩක් රනිල්ට ප්‍රශ්න පිට ප්‍රශ්න…..
මේ අතරතුරදී එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වූ පීඩනය සුළු පටු නොවීය. බටලන්ද ප්‍රශ්නය ඔහුට තදින් බලපෑවේය. පළාත් පාලන ඡන්දය සඳහා පක්ෂය සූදානම් කළ යුතු විය. ඒ සඳහා රැස්වීම් ගණනාවකි. ඒ අතරින් පසුගිය බදාදා උදේ සිරිකොත මූලස්ථානයේ පැවැති නව සංවිධායකයන් පත්කිරීමේ රැස්වීම කැපී පෙනෙන මුහුණුවරක් ගත්තේය. නව සංවිධායකවරුන් 64ක් වූ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. එහෙත් ඒ අතර රැස්වීම උණුසුම් වූයේ කළුතර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න හා ලක්ෂ්මන් විජේමාන්න අතර ඇතිවූ එක්තරා ගැටුමක් නිසාය.
සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා ලක්ෂ්මන් විජයමාන්නය. රනිල් මෙවර ඔහුට දිස්ත්‍රික් නායකත්වය නොදී ඔහුගෙන් නොවිමසා දිස්ත්‍රික් නායකත්වය රාජිත සේනාරත්න වෙත පිරුනමනු ලැබීය. ලක්ෂ්මන් කළුතර ආසන සංවිධායකයා පමණක් විය. රනිල්ගෙන් පත්වීම් ලිපිය තනි අතින් ලබාගත් ඔහු ඒ මොහොතේම සිද්ධ වූ දෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කතා කරන්නට පටන් ගත්තේය.
“කරුණාකර ගිහිල්ල වාඩිවෙන්න, කතා කරන්න දෙයක් නෑ…” කියමින් රනිල් ඊට ප්‍රතිචාර දැක්වීය.
“මට මේ ගැන කතා කරන්න දෙයක් තියෙනවා… ඔබතුමා මේ විදිහට අපිව හෑල්ලු කරන්න එපා. දිස්ත්‍රික් නායකත්වය එතුමට දෙන්න ඕන නම් මාත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා….” යනාදී වශයෙන් ලක්ෂ්මන් විජයමාන්න දිගින් දිගටම අදහස් ප්‍රකාශ කළත් රනිල් හිටියේ ඒ කිසිවක් නෑසුන ලෙස අනිත් පැත්ත හැරී ය. ඔහු කීවේ ලක්ෂ්මන්ට සභාවේ වාඩිවෙන ලෙසයි. රාජිත කිසිවක් නොවූවාසේ නිහඬත්වය ආරක්ෂා කළේය. ඒත් ලක්ෂ්මන් විජේමාන්න සභාව ඇතුළේත් ඉන් පිටතත් තම ගැටලුව ගැන සභාව දැනුවත් කරමින් කෑ කෝ ගසන්නට විය. ආසන්න සංවිධායක පත්වීම් සම්බන්ධයෙන් තවත් ආසන ගණනාවක ප්‍රශ්න තිබුණු බව පෙනුණේ සංවිධායකයන් කිහිප දෙනෙක් නැඟිට ඒ පිළිබඳ විරෝධය පළකිරීම හේතුවෙනි. පක්ෂය ඇතුළේ බලවත් රනිල් ඒ කිසිවකට කන් නොදී කිසිවකුටත් කතා කරන්නට ඉඩ නොදී පක්ෂයේ වැඩකටයුතු මෙහෙයවමින් කටයුතු කළේය.
රනිල් සභාවේ වැඩකටයුතු රුවන්ට හා වජිර අබේවර්ධනට භාර කළේය…
“අද මම මේ අවස්ථාවේදී කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගකීම මම අපේ සභාපතිතුමාට භාරදුන්නා. සභාපතිතුමා මේ ඡන්දයට අපේ සූදානම ගැන කතා කරයි….”
ඒ අවස්ථාව භාරගත් පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කතා කළේය. ඔහුගේ කතාවේ ඉතා වැදගත් කොටසක් මෙසේ කියවිණි.
“අපිට අද 77 වසරක ශාපය කියලනේ කිව්වේ. 77 වසරක හොරු ලු. එතකොට බලන්නකො හොරු අවුරුදු 77 ක් ලුණු පැකට් එක රුපියල් 110කට තියාගෙන හිටියා. හොරු අවුරුදු 77 ක් පොල් ගෙඩිය රුපියල් 80 ට 100 ට තියන් හිටියා. අවුරුදු 77 ක් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නායකත්වය යටතේ පටන් ගත්ත මෝටර් සයිකල් ව්‍යාපාරය ලක්ෂ 3 ට තියන් හිටියා. අද ඒක ලක්ෂ 7 යි. ලුණු පැකට් එක 280 යි. පොල් ගෙඩිය රුපියල් 240 යි, 250 යි, 300 යි. දවස් 77 ට සිදු වූ වෙනස ඔබ තේරුම්ගත යුතුව තිබෙනවා. ලංකාවේ ත්‍රිරෝද ව්‍යාපාරය පටන් ගත්තේ මේ පක්ෂ මූලස්ථානයේ. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, සිරිල් මැතිව් මැතිතුමා පළවෙනි ත්‍රිරෝද රථ 10 නිදහස් කළේ මේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ. අද ඒක මහා ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. අද ඒ ත්‍රිරෝද රථය අවුරුදු 40 ක් 77 වසරක හොරු තියාගත්තා ලක්ෂ 6 ට 7 ට. අද ඒක ලක්ෂ 20 යි. එහෙනම් ඔබට පේනවා දෙසැම්බර් වෙනකොට අපේ රට නරක භයානක තැනකට ගමන් කරයි. ඒක අපි බලමු. ඒක අපිට කියන්න පුළුවන්. මහජනයා හරියට තේරුම්ගත යුතුව තිබෙනවා.”
මේ අතර හිටියා අමාරුවෙන් එළියට ගිය ලක්ෂ්මන් විජයමාන්න මාධ්‍ය අමතා රනිල්ටත්, වජිරටත්, රාජිතටත් බැණ වදින්නට වූහ.
“රාජිත කියන්නේ ගෙම්බෙක් වගේ එහාට මෙහාට එහාට මෙහාට පැන පැන ගිය මිනිහෙක්. අපි එදා ඉඳල අද දක්වා මේ පක්ෂය ආරක්ෂා කරගෙන මේ පක්ෂයට දර දිය ඇදපු මිනිස්සු. ඒ වුණාට අපේ නායකතුමාට අපි වගේ පක්ෂයේ රැකගත්ත මිනිසුන්ට වඩා වටින්නේ එහාට මෙහාට පනින ගෙම්බෝ. එයාට රාජිතව ඔය තරම් වටිනවනම් පත්වීම දෙන්න ඕන නම්, මාත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා. මමයි දිස්ත්‍රික් නායකයා… මේ පක්ෂයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. දැන් ඒකාධිපතියෙක් විදියට වියරු වැටිලා රනිල් වික්‍රමසිංහ වැඩ කරනවා නම් අපට තවදුරටත් මේ පක්ෂයේ ඉන්න විදියක් නෑ…”
එසේ කියමින් මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කළ ලක්ෂ්මන් විජේමාන්න ඊට ස්සේ සැළකිය යුතු වේලාවකට පසු සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවන්නට ගොස් තිබිණි. සජිත් ප්‍රේමදාස ඔහුට ඉතා හොඳ පිළිගැනීමක් ලබා දී තිබිණි. පළාත් පාලන මැතිවරණය කළුතර දිස්ත්‍රික්කයේ මෙහෙයවීම සඳහා උත්තේජනයක් ලබා දෙමින් ලක්ෂ්මන්ව පිළිගත් සජිත් ඔහුට කළුතර ඉතා ඉහළ ස්ථානයක් ලබා දෙන්නට පොරොන්දු වූයේය. ඒ අනුව ලක්ෂ්මන් විජයමාන්න සජිත් සමග ඉදිරියේදී වැඩ කරන්නට තීරණයක් ගත්තේය.
ඉන් අනතුරුව ලක්ෂ්මන් නැවතත් රනිල් වික්‍රමසිංහ හමුවන්නට ගියේය. තමන් මෙවන් පියවරක් ගත්තා යැයි ලක්ෂ්මන් රනිල්ට පැවසුවත් රනිල් ඒ පිළිබඳ කිසිදු අදහසක් ප්‍රකාශ කළේ නැත. ඒ රනිල්ගේ හැටිය.
පාතාලය නිදැල්ලේ වැඩ පොලිස්පති තාම අතුරුදන්….
පසුගිය සතියේ සමාජයේ කතාබහට ලක් වූ ගැටලු රාශියක් තිබිණි. එකක් වූයේ පොලිස්පති අතුරුදන් වීමයි. රටේ පොලිස්පතිවරයා ලෙස තවමත් නිල බලය හිමිවන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාටය. ඔහු රාජකාරිවලින් ඉවත් කර වැඩබලන පොලිස්පතිවරයකු පත්කර සිටියත් පොලිස්පති ලෙස සැලකෙන්නේ ඔහුය.
මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහුව අත්අඩංගුවට ගන්නයි ලබාදී තිබෙන නියෝගයට අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්න රට පුරා විමර්ශන කළත් දේශබන්දු තෙන්නකෝන් සිටින තැනක් සොයා ගන්නට කිසිවකුටත් නොහැකි විය. ඇතැම් පිරිස් විශ්වාසය පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ බලවතුන් හෝ රනිල් පාර්ශ්වයේ කවරෙකු හෝ බලවතෙක් ඒ වෙනුවෙන් සැඟව සිටින්නට දේශබන්දුට උදව් කරන බවයි.
රට පුරා ඒ වෙනුවෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය වැටලීම් ගණනාවක්ම කළේය. කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකරගෙන්ද යම් ප්‍රශ්න කිරීම් කර තිබුණත් ඒ පොලිස්පති ගැන දැයි තොරතුරු හෙළි වූයේ නැත. එහෙත් ඩිෂාන්ට අයත් මාතර මහ ගෙදර හිටිහැටියේම පොලිස් කණ්ඩායමක් විසින් රහසිගත මෙහෙයුමකින් වටලෑමක් කර තිබිණි. ඩිෂාන්ගේ වියපත් මාතාව පමණක් ජීවත්වන එම නිවසේ වැටලීමක් කරමින් සෙව්වේ කුමක්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කළත් ඒ ගැන ඩිෂාන් කතා කරන්නට දැක්වූයේ මැලිකමකි. ඔහු කීවේ එය විශාල කරදරයක් හා බලපෑමක් බවය. දේශබන්දු කර ඇතැයි කියන වරදට සමාන තවත් වරදක් බවය. වරෙන්තුවක්වත් නොමැතිව කරන ලද එම වටලීම කාගේ අවශ්‍යතාවයකට වූවක් දැයි දියවඩන නිලමේවරයා ප්‍රශ්න කරයි.
ඒ අතර නැවතත් පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති ආකාරයක් රට පුරා ප්‍රදර්ශනය වෙන සිදුවීම් ගණනාවක් පසුගිය සතියේ සිදුවිය. වෙඩි තැබීම්ද ඒ අතර විය. දෙමටගොඩ සංජීව ඝාතනයේ සැකකරුවන් සොයා ගන්නටත් නැති, පොලිස්පතිවරයා සොයා ගන්නටත් නැති මෙවන් තත්ත්වයක් යටතේ රටේ පවතින මහජන ආරක්ෂාවේ තරම සාකච්ඡා වූයේ පසුගිය දිනවල අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ අකරතැබ්බයක් සමගයි. එම අකරතැබ්බයත් සමගම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් කැළඹිල්ලක් ඇති වූ බව සනාථ කෙරෙන වැඩවර්ජන කීපයක්ද රටේ සිදුවිය. ඒ ගැන උණුසුම් කතාබහකින් මුළුමහත් සමාජයම ඇළලී ගිය දින කීපයකි පසුගිය සතිය.
ඒක සිඟිති ආතල් එකක් කරදර කරන්න නරකයි
පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ නෙළුම් මාවත කාර්යාලයට හදිසියේම රැස්වීමක් කැඳව්වේය. ඒ අනුව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න ඇතුළු කිහිපදෙනෙක්ම පැමිණ සිටියහ. මෙහිදී නාමල් සාකච්ඡා කළේ ලොකු තාත්තා වන චමල් රාජපක්ෂට එරෙහිව සමාජ මාධ්‍යවලින් මේ දිනවල කෙරෙන මඩ ගැහිල්ලක් සම්බන්ධවයි.
“අපේ චමල් මන්ත්‍රීතුමා මං හිතන්නෙ ඔය වගේ කතාවක් නොකියා ඉන්නයි තිබුණේ. රාජපක්ෂලාට ගහන්න මඩක් හොය හොය ඉන්න වෙලාවෙ තමයි එතුමා කියල තියෙන්නෙ ඔව් මමත් ප්‍රාදේශීය සභා ඉල්ලනවා කියලා…”
“මං හිතන්නේ මාධ්‍යවලට කතා කරලා අපි මේක නිවැරදි කරන්න ඕන.. ලොකු තාත්තා ඒ වගේ අදහසකින් නෙවෙයි ඔය කතාව කියන්න ඇත්තේ…”
“ඔතන මේකයි වුණේ…. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන නොමිනේෂන් රැස්වීම් ඉවර වුණාට පස්සේ මාධ්‍යවලට කතා කරන්න අවස්ථාවක් දුන්නා. ඒ වෙලාවේ තමයි මාධ්‍යවේදීන් කටට උත්තරේ දීල අහල තියෙන්නෙ චමල් මන්ත්‍රීතුමා දැන් මොනවද කරන්නේ… නරකද ඡන්දෙ ඉල්ලුවොත්… ප්‍රාදේශීය සභාවටවත් ඉල්ලුවොත් හොඳයි නේද කියලා, මාධ්‍යවේදියා කටට උත්තරයක් දීලයි අහලා තියෙන්නේ..” සාගර පැහැදිලි කළේය.
“ඔව් ඔව් එහෙම තමයි වුණේ. චමල් මන්ත්‍රීතුමා හිනාවේවී කිව්වා දැන් එහෙමවත් කරන්න වෙනවා කියලා. දැන් ඔක්කොම මුල ඉඳලම පටන් ගන්න වෙලානේ තියෙන්නේ කියල එතුමා කිව්වා… ඒකෙන් කිව්වේ නැහැ මම පළාත් පාලන ආයතනවලට ඡන්දේ ඉල්ලනවා කියලා. ඉතින් ඕක අර සෝෂල් මීඩියා එක නියමෙට අරගත්තා. සමහරු නිවසුත් හැදුවා… වෙබ්වලත් ගැහුවා”
“බැරිද ඕක නිවැරදි කරන්න මොකක් හරි මීඩියා කම්පරස් එකක කතා කරලා ප්‍රකාශයක් දෙන්න”
“බැරිකමක් නැහැ පුළුවන්… හැබැයි ඉතින් අපි මොකටද එහෙම කරලා ඔය මිනිස්සුන්ගෙ සතුට නැති කරන්නේ…? “සාගර කී දේ බොහෝ දෙනකුට වැටහුණේ නැත.
“ඒකෙන් මොකක්ද අදහස් කළේ…?”
“ඕක සිඟිති ආතල් එකක්නෙ… දැන් බලන්න මේ ආණ්ඩුව ඡන්ද දායකයා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරිවෙච්ච, ෆේල් වෙච්ච ආණ්ඩුවක්. එනකොට තිබිච්ච බඩු මිල නෙවෙයි අද දෙගුණයක් වෙලා. පොල් ගෙඩිය දෙගුණයක්. හාල් කිලෝ එක දෙගුණයක්. මාළු, කරවල එහෙන් ගණන්. එළවළු මිලත් හොඳටම ඉහළ ගිහින්. කියාපු විදියට පෙට්‍රල් අඩු කරගන්න බැරි වුණා. ලක්ෂ පහළොවට දොළහට දෙනවයි කියපු විට්ස් කාර් එක දැන් කෝටියටත් වැඩියි. වාහන මිල ආපස්සට හරවන්න බෑ. මිනිස්සුන්ගේ පඩි වැඩි කරගන්න දැඟලුවට 2027 ට හරියන විදිහට වැඩි කළා මිසක් වර්තමානයට ප්‍රයෝජනයක් නෑ. ඔය විදියට ජනතාවට දීපු එකම පොරොන්දුවක්වත් ඉටු කරගන්න බැරි ආණ්ඩුව දැන් තමන්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් දාලා රාජපක්ෂවරුන්ට මේ විදියට මඩ ගහලා තමන්ගේ ජනතාවට සතුටු වෙන්න සිඟිති ආතල් දෙන්න හදනවා…. මම නම් කියන්නේ ඕව නිවැරදි කරන්න ඕන නෑ. ඒගොල්ලන්ගේ ආතල් එක ඒ විදියට ගන්න අපි ඉඩ හරිමු….”
සාගර කාරියවසම් කියපු කතාවට සියල්ලෝම එකඟත්වය පළ කරමින් ඉදිරි දේශපාලන වැඩකටයුතු ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්හ..
බුලිත ප්‍රදීප් කුමාර