මියන්මාර් භූමිකම්පාවෙන් කඩා වැටුණු තායි ගොඩනැඟිල්ලක් ඉදි කළ 17කට වරෙන්තු

12

ඉකුත් මාර්තු මාසයේදී මියන්මාරයේ සිදු වූ භූමිකම්පාවක් හේතුවෙන් කඩා වැටී ඇති තායිලන්තයේ අහස උසට ඉදි කළ මහල් 30කින් යුත් උසැති ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සම්බන්ධ වූ 17 දෙනකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට තායිලන්ත අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ. තායිලන්ත පොලිසියට අනුව භූමිකම්පාවේ බලපෑමෙන් කඩා වැටී තිබූ බැංකොක් ගොඩනැඟිල්ලේ සැලසුම්කරණය, ඉදි කිරීම හා ගොඩනැගිලි කුලුනු ඉදිකිරීම අධීක්ෂණය කිරීමට සම්බන්ධ වූවන් 17 දෙනකුට අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබේ. තායිලන්ත රජයේ විගණන කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා අගනුවර වන බැංකොක් නගරයේ ඉදි කර තිබූ අදාළ තිස් මහල් ගොඩනැගිල්ල මියන්මාර් භූමිකම්පාවෙන් පසු බිමට කඩා වැටී තිබිණි.

මියන්මාරයේ ඉකුත් මාර්තු මස හටගත් රිච්ටර් මාපකයේ 7.7ක් වශයෙන් සනිටුහන් වූ භූමිකම්පාවෙහි බලපෑම අසල්වැසි තායිලන්තයේ බැංකොක් අගනුවරට ද බලපා තිබූ අතර ඒ හේතුවෙන් එම නගරයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ල ද කඩා වැටීම නිසා එහි සුන්බුන්වලට යටවීමෙන් 89 දෙනකු මියගොස් තිබූ අතර තවත් 07 දෙනකු අතුරුදන්ව තිබිණි. තායිලන්ත බලධාරීන් විසින් අදාළ ගොඩනැගිල්ල කඩා වැටීමට මුල් වූ හේතුන් සොයා සිදු කළ විමර්ශනවලදී එහි ඉදි කර තිබූ සෝපානවල ඉදිකිරීමේ දෝෂ ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වුවද තායි බලධාරීහු තවමත් අදාළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කර නොමැත.


advertistmentadvertistment