මිලියන 2500ක ඖෂධ තත්ත්වයෙන් අසමත්

37

රුපියල් මිලියන 2500කට ආසන්න (දෙසිය හතළිස් අට කෝටි විසිඑක් ලක්ෂ විසිදහසක් පමණ) වටිනාකමින් යුත් ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම හේතුවෙන් පසුගිය 2023 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති නවතම විශේෂ විගණන වාර්තාවක දැක්වේ.

එමෙන්ම පසුගිය වර්ෂයේ දී රුපියල් මිලියන 10.72ක වටිනාකමින් යුත් වෛද්‍ය සැපයුම් තොගයක්ද තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් තාවකාලිකව භාවිතය අත්හිටුවනු ලැබූ බවද අදාළ විගණන වාර්තාව මඟින් හෙළිදරව් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය,වෛද්‍ය සැපයුම් ඒකකය සහ ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව හෙළිදරව් කර ඇති මෙම විගණන වාර්තාවට අනුව ප්‍රශ්න සහගත ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියා අසූවකට අධික ප්‍රමාණයක් සිදුව ඇත.

එමඟින් රටට සිදුව ඇති මූල්‍ය පාඩුව රුපියල් මිලියන හයදහස ඉක්මවා ඇතැයි ද අදාළ විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

2015 වර්ෂයේ සිට ම මෙම දූෂණ ක්‍රියාවන් අඛණ්ඩව සිදුව ඇති බැවින් මීට වගකිව යුතු නිලධාරීන්ට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ප්‍රකාශ කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment