මීනගයා දුම්රියේ දරුවා දමාගිය යුවළ යළි රිමාන්ඩ් – විවාහ වී දරුවා භාරගන්න සූදානම් බවත් දන්වති

625

පසුගිය 10 වැනිදා කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ අලුත උපන් බිලිඳකුව දමා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම බිලිඳාගේ මව සහ ඇගේ පෙම්වතා යැයි කියන තරුණයාව ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (15 දා) නියෝග කළේය.

එම සැකකාරිය හා සැකකරු නිත්‍යානුකූලව විවාහ වී දරුවා භාරගැනීමට සූදානම් වූ බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

දරුවන් යනු දෙමාපියන් සතු වටිනාම වස්තුව වන බැවින් සැකකරුවන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, එම ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පරිවාස වාර්තාව තම අධිකරණයට ලැබීමෙන් පසුව සුදුසු නියෝගයක් කරන බවද දැන්වීය. එම සැකකාර පෙම්වතුන් යුවළ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment