මෙහෙම ගියොත් හැම ගමකම ආයෙත් මළ ගෙයක්…රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

381

මේ වන විට ලෝකය පුරා මෙන්ම ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින නව කොරෝනා ප්‍රභේදය (BA.5), ඖෂධ හිඟය හා තවත් මේ කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස දිවයින ඉරිදා සංග්‍රහය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු.පහතින් පෙළ ගැසෙන්නේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ලෝකය පුරා පැතිරෙමින් පවතින කොරෝනා නව ප්‍රභේදය ලංකාව තුළ ද පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. නව ප්‍රභේදයේ ඇති අවදානම කෙසේද?

පිළිතුර – නව ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතිනවා. එමනිසා සෞඛ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය නොකළහොත් මෙම ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් අපේක්ෂා කළ හැකියි. චීනයේ වූහාන්වලදී හමු වූ කොරෝනා ප්‍රභේදය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් දෙදෙනකුට හෝ තිදෙනකුට පමණක් ආසාදනය වුවත් මෙම නව ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයන් පුද්ගලයන් 6 දෙනකු හෝ දහදෙනකු අතර සංඛ්‍යාවකට වැළඳිය හැකි බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥයන් උපකල්පනය කරනවා. ඒ කියන්නේ රෝගය ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාව හතර පස් ගුණයක් වෙනවා.

ඒ වගේම මෙම නව ප්‍රභේදය ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැර ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ මීට පෙර කොරෝනා වැළඳී තිබුණත් එන්නත් ලබාගෙන තිබුණත් නව ප්‍රභේදය වැළඳීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා එන්නත්කරණයෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය අලුත් කිරීම ඉතාම වැදගත් කාරණයක්. නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර එන්නත් කිරීම් සිදු නොකර සිටියහොත් රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවී මරණ වැඩි වීමේ හැකියාවක් පවතිනවා. අද නිසි ක්‍රියාමාර්ග නොගතහොත් කොරෝනා නව ප්‍රභේදය නිසා හැම ගමකම මළගෙයක් සිදුවෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යම් හෙයකින් නව ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වූවහොත් ඒ සඳහා රෝහල් පද්ධතිය සූදානම්ද?

පිළිතුර – එතැන තමයි ප්‍රශ්නය තිබෙන්නේ. කොරෝනා මුල් අවධියේ රට තිබූ තැනත් අද රට රටේ තිබෙන තැනත් අතර ලොකු පරතරයක් තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය තුළ ඖෂධ හිඟ වීම, ඉන්ධන හිඟවීම ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රෝහල් පද්ධතිය යම් තරමක අර්බුදයට පත්ව ඇති බව රහසක් නෙවෙයි. එවැනි තත්ත්වයක් තුළ ඇතිවිය හැකි බරපතළ තත්ත්වයක් කළමනාකරණය කර ගැනීමේ ගැටලු අනිවාර්යෙන්ම මතුවේවි. එම නිසා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම වැදගත්. ඒ සඳහා අදාළ බලධාරීන් මෙන්ම ජනතාව ද තම තමන්ගේ කොටස අනුන් කරනකන් නොසිට සිදුකළ යුතුයි. එය කිනම් පැත්තෙන් බැලුවත් වැදගත්.

ප්‍රශ්නය – නව ප්‍රභේදයේ පවතින අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දිගින් දිගටම අනතුරු අඟවමින් සිටිනවා. නමුත් අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීම ප්‍රමාණවත්ද? බලධාරීන් වැඩේ අතැරලා ද තිබෙන්නේ ?

පිළිතුර – එහෙමම කියන්න බැහැ. එන්නත් ක්‍රියාවලිය සිදුකෙරෙමින් පවතිනවා. විටින් විට හෝ කොරෝනා පාලනය සම්බන්ධයෙන් ප්‍රකාශයන් සිදු කරනවා. නමුත් එම තත්ත්වය ප්‍රමාණවත් නැති බව තමයි අපිට කියන්න තිබෙන්නේ.

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව නිසි දත්ත ජනතාව සමග සන්නිවේදනය කළ යුතුයි. එසේ නොවන තාක් ජනතාව මෙහි පවතින අවදානම තේරුම් ගන්නේ නැහැ. කොරෝනා මෙහෙයුම් මැදිරිය, කොරෝනා තාක්ෂණික කමිටු නැවත ස්ථාපිත විය යුතුයි. ඒවා නොමැති වීම නිසයි අපි තවමත් අඳුරේ අතපත ගාන්නේ.

ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සවිමත් කළ යුතුයි. එහෙම තත්ත්වයක් තවම මම නම් දකින්නේ නැහැ. ඇතිවිය හැකි අවදානම් තත්ත්වය දැන් හෝ නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් රටක් ලෙස අපට බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වේවි.

ප්‍රශ්නය – කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණය මහඟු පිටිවහලක් වුණා. ඒ සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ ෆයිසර් එන්නත කල් ඉකුත් වීමක් සම්බන්ධයෙන් මේ වන විට යම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?

පිළිතුර – මෙරට සතුව තිබූ ෆයිසර් එන්නත් තොග කල් ඉකුත් වීමේ දිනය ලෙස සඳහන්ව තිබුණේ ජූලි 31 වැනිදා යි. මධ්‍යම බෙහෙත් ගබඩාවේ තිබූ එම එන්නත් තොග තැන්පත් කර තබා තිබුණේ සෙල්සියස් අංශක ඍණ 60 ත් ඍණ 90 ත් අතර උෂ්ණත්වයක් තුළ. එවැනි උෂ්ණත්වයක් තුළ තිබූ එන්නත් තවත් මාස තුනක් කිසිදු ගැටලුවකින් තොරව භාවිත කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඖෂධය නිපදවූ සමාගමත් එය නිර්දේශ කර තිබෙනවා. ඔවුන්ගේ නිර්දේශයන්ගෙන් නොනැවතී අපි ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ මේ සඳහා ලබාගෙන තිබෙනවා. එම නිසා මධ්‍යම බෙහෙත් ගබඩාවේ තිබූ ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. ඉන් පිටත රෝහල්, සෞඛ්‍ය නිලධාරි කාර්යාල වෙත නිකුත් කර තිබූ එන්නත් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් කිසිසේත් බිය සැක තබාගත යුතු නැහැ. ඇත්තටම එම එන්නත මමත් ලබා ගත්තා.

ප්‍රශ්නය – කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් කරනු ලබන එන්නත් හේතුවෙන් ලිංගික දුබලතා, මඳසරු බව ඇතුළු ගැටලු ගණනාවක්ම මතුව ඇති බව ඇතැමුන් පවසනවා. එහි සත්‍ය අසත්‍යතාව කෙසේද?

පිළිතුර – එහි කිසිදු සත්‍යතාවක් නැහැ. බොහෝ දේවල් කට කතා පමණයි. ඔය කියන ආකාරයේ බරපතළ තත්ත්වයන් වාර්තා වී නැහැ. සාමාන්‍යයෙන් පැරසිටමෝල් පෙත්තක් භාවිත කළත් කළත් එමගින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එය මෙම එන්නතටත් අදාළයි. සුළු සුළු සිදුවීම් ඇරෙන්න බරපතළ තත්ත්වයක් නැහැ. ඇත්තටම අපි මෙතැනදී බැලිය යුත්තේ එන්නත ලබා ගැනීමෙන් සිදුවන වාසි සහ අවාසි පිළිබඳවයි. එන්නත ලබාගෙන ඉඳහිට ඇතිවන අතුරු ආබාධ ගැන වධ වෙනවාද.. එසේ නොමැති නම් කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා එන්නත ලබා ගන්නවාද යන්න සිතිය යුතුයි. මෙම එන්නත දැන් ලංකාවේ මිලියන 4ක් පමණ භාවිත කර තිබෙනවා. අපිත් ලබාගත්තේ එම එන්නත්ම තමයි. හිතන්න එහි ප්‍රශ්නයක් තිබෙනවා නම් විෂය දන්න අපි දැන දැන අමාරුවේ වැටෙන්නේ නැහැනේ.

ප්‍රශ්නය – පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින බව මාධ්‍ය වාර්තා කළා. එම තත්ත්වය තවමත් එලෙසමද ?

පිළිතුර – පසුගිය මාසයට සාපේක්ෂව දැන් යම් හොඳ මට්ටමක් තිබෙනවා. විදේශ ආධාර සහ පුද්ගල ආධාර මත යම් ඖෂධ ප්‍රමාණයක් රටට ලැබී තිබෙනවා. නමුත් මේ ප්‍රවාහනයේ පවතින ගැටලු නිසා මධ්‍යම බෙහෙත් ගබඩාවේ ඇති ඖෂධ රෝහල් වෙත ප්‍රවාහනය කිරීමේ ගැටලු පැන නැගී තිබෙනවා. ඇතැම් විට ඉදිරි සති දෙක තුන තුළ ඒ සඳහා විසඳුමක් ලැබේවි. ඉස්පිරිතාලෙකට අරගෙන ගියොත් මැරෙන්න වේවි කියලා තිබූ බිය යම් ප්‍රමාණයකට අඩුව තිබෙනවා. සාමාන්‍යයෙන් රෝහලක් තුළ මාස දෙකකට පමණ අවශ්‍ය ඖෂධ තොග තිබිය යුතුයි. නමුත් මෙවැනි විට රෝහල් තුළ තිබෙන්නේ සති දෙකකට පමණ අවශ්‍ය ඖෂධ තොග පමණයි.

ප්‍රශ්නය – ඖෂධ මිල ගණන් ගණන් බරපතළ ලෙස ඉහළ ගොස් තිබෙනවා. රෝගීන්ට මෙම තත්ත්වය දරා ගැනීම අතිශය අමාරු කාරණයක්. ඖෂධවල මිල මෙතරම් ඉහළ ගොස් තිබෙන්නේ ඒ තුළ යම් මාෆියාවක් ක්‍රියාත්මක නිසාද.?

පිළිතුර – මෙරට තුළ ඉහළ උද්ධමනයක් පවතිනවා. ආහාර මිල බරපතළ ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආහාර නම් වේලක් හැර වේලක් හෝ කන්න පුළුවන්. නමුත් ඖෂධ එහෙම නෙවෙයි. නිසි මාත්‍රාව නිසි වෙලාවට ගත යුතුයි. ඖෂධ මිල ඉහළ යෑම රෝගීන්ට බරපතළ ලෙස දැනී තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කළ යුතුයි. උද්ධමනයට සාපේක්ෂව ඖෂධ මිල ඉහළ දැමීම සිදු නොකළ යුත්තක්. මෙම තත්ත්වයට රජය මැදිහත් විය යුතුයි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment