ගිලනුන්ට උපස්ථාන කිරීම – චිත්‍රය – බන්දුල හරිශ්චන්ද්‍ර
මේ භවයේදීම නිවන් අවබෝධ කර ගැන්ම පිළිබඳ උද්යෝගයක් අතීතයේදී මෙන්ම දැනට ද දක්නට ලැබේ. මෙසේ නිවන් අවබෝධ කර ගැන්ම පිළිබඳව නා නා මත පළ වේ. මේ භවයේදීම නිවන් අවබෝධ කරගත හැකි වේ යයි සමහරු ප්‍රකාශ කරනු ලබන අතර තවත් සමහරු එය එසේ නොවේ යයි ප්‍රකාශ කරත්. තවත් සමහරුන්ගේ මතය නම් අවශ්‍ය පරිදි වෙර වඩනුයේ නම් මේ භවයේදී නිවන් අවබෝධ කරගත හැකි බවයි. මේ මතයට අනුව ඒ සඳහා උත්සාහය පමණක් ප්‍රමාණවත් වේ. කෙනෙකු යම්කිසි අවශ්‍යතාවයන් කොටසක් සපුරාලනුයේ නම් නිවන් අවබෝධය මේ භවයේදී පුළුවන් බව තවත් සමහරු තර්ක කරත්. ත්‍රිපිටකයෙහි දක්නට ලැබෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව මේ මත අප විසින් විචාරයට ලක් කිරීම සුදුසු වේ.
මේ භවයේදීම නිවන් අවබෝධ කරගත හැක්කේය යනු මතය සනාථ කිරීම සඳහා සමහර බෞද්ධයින් විසින් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද පරිදි භික්ෂු පිරිස හා උපාසක පිරිස ධාර්මික අන්දමින් ජීවත්වෙමින් ධර්ම විනයෙහි පිහිටා සිටිනුයේ නම් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවේය යන ප්‍රකාශය උපයෝගී කර ගනිත්. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය උන්වහන්සේගේ අනෙක් ප්‍රකාශයන් හා සම්බන්ධ කිරීමෙන් පමණක්ම සළකා බැලීම සුදුසු වේ. නිර්වාණවබෝධය සඳහා වෙනත් අංග ඇතුළත් බොහෝ පාරමී ධර්මයන් සපුරා තිබිය යුතු වේ යයි භාග්‍යවතුන්වහන්සේ දේශනා කොට වදාරා ඇත.
ලෞකික හා ලෝකෝත්තර දියුණුව සඳහා ඉවහල් වන කරුණු සතරක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේදී මෙසේ දක්වා වදාරා ඇත. “මහණෙනි මෙසේ මේ චතුෂකයෝ වෙත්. මේවාට අයිතිවාසිකම් කියනු ලබන දෙව් මිනිසුන් වැඩි කල් නොයවා සමාධියෙන් අගතැන්පත්වී දියුණුවට පත්වන්නෝය. මේ චතුෂක කවරේද යත් පතිරූප දේශය, සත්පුරුෂ ඇසුර, හොඳ මග ගමන් කිරීම (අත්ත සම්මා පණීධීච) හා පෙර කරන ලද පින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා) ද වේ. මෙකරුණු සතර ඉතාමත් වැදගත් වන බැවින් නිර්වාණාබෝධය සඳහා මේ කරුණු සතරම ඒකාකාරයෙන් සපුරා ලිය යුතු වේ. මෙයින් එකක හෝ අඩුවීම නිවන් අවබෝධයට සපුරා ලිය යුතු වේ.මෙයින් එකක හෝ අඩුවීම නිවන් අවබෝධයට බාධක වේ. මේ අංග සතර නිවන් අවබෝධයෙහි ලා ආධාර වන අන්දමත් මින් එකක හෝ ඌණත්වය නිර්වාණාවබෝධයට බාධක වන අන්දමත් පිළිබඳව බෞද්ධ ග්‍රන්ථයන්හි දක්නට ලැබෙන නිදසුන් දෙස බැලීමෙන් අපට පැහැදිලි කරගත හැක. පසේනදි කොසොල් රජතුමා මේ අංග තුනකින් ආශිර්වාද ලබා සිටි අතර එතුමාට පෙර පුරන ලද පාරමී බල නොතිබුණි. බුදුරජාණන් වහන්සේ මෙතුමා වෙනුවෙන් විශේෂ ධර්ම දේශනා පවත්වන ලද නමුදු මේ අවශ්‍යතාවයෙන් ආශිර්වාද නොලත් බැවින් එතුමාට බලාපොරොත්තුවූ ඉෂ්ඨාර්ත්ථය අත්පත් කර ගැන්මට නොහැකි විය. මහ ධන සිටුතුමාට පෙර කරන ලද පුඤ්ඤතා මහිමය තිබුණ ද අනෙක් අංග තුනෙන් සම්පූර්ණ නොවීය. යම්කිසි පුද්ගලයෙකුට පුරන ලද පාරමිතා ඇත ද නියම බෞද්ධ වාතාවරණයක් නොලැබෙන්නේ නම් හෙතෙම බලාපොරොත්තු වන ජයග්‍රහණය ලබා ගැන්මට අසමත් වේ. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ උන්වහන්සේ දැක්මේ හා උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍යයද බොහෝ දෙනෙකුට ලැබුණු නමුදු මේ අතිශය වැදගත් අංශය වන පාරමී පූරණය අතින් ඔවුහු ආශිර්වාද නොලබා සිටියහ. මෙකරුණ බෞද්ධ ග්‍රන්ථවල ඉතා විසිතුරු උපමාවකින් පැහැදිලි කොට ඇත.
“මහණෙනි යම්කිසි උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ දියෙහි හටගන්නාවූ දියෙහි වැඩුණාවූ දියෙන් උඩට නොනැගුණාවූ දියෙහි ගැලී පෝෂණය වන්නාවූ ඇතැම් උපුල් හෝ රන් පියුම් හෝ හෙළ පියුම් හෝ වේද එසේම මහණෙනි, බුදු ඇසින් (ආසය අනුශය, ඉන්ද්‍රිය පරොපරියපත ඥානයෙන්) ලොව බලන්නාවූ මට අල්පරජස්තවූද, මහා රජසකවූද තීක්ෂණවූ, ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තාවූද මෘදු ඉන්ද්‍රියයන් ඇත්තාවූද යහපත්වූ ශ්‍රද්ධාදි ආකාර ඇත්තාවූද අයහපත් ශ්‍රද්ධාදී ආකාර ඇත්තාවූද පහසුවෙන් අවබෝධ කරවිය හැක්කාවූද පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කාවූද සත්ත්වයින් එමෙන්ම පරලොව හා කෙලෙස් බිය වශයෙන් දක්නා සුළුව වසන්නාවූ ඇතැම් සත්ත්වයින්ද දිටිමි.”
මේ උපමාවෙහි දැක්වෙන පරලොව හා කෙලෙස් වරද, බිය වශයෙන් දක්නාසුළුව වසන්නා වූ සත්ත්වයින් පමණක්ම නියම ආකාරයෙන් පාරමී ධර්මයන් පුරා නිවන් අවබෝධ කිරීමෙහි සමත් සත්ත්වයින් ලෙස භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් දුටු සේක.
යෝගාවචරයාට භාවනාවට සුදුසු කම්මට්ඨාන දීමෙහි සමත් කම්මට්ඨාන ගුරුන් හා පළපුරුදු ආචාරීන් දැනට ලංකාවේ හා අනිකුත් ථෙරවාදී රටවල දුර්ලභය. තමන්ගේ චරිතයට ගැලපේද යනු නොසළකා හැර සතර සතිපට්ඨානය හා ආනාපාන සති භාවනාව වැඩීම දැනට ලක්දිව සෑම උපාසකයකු විසින් කරනු ලබන පොදු දෙයකි. එහෙත් මේ භාවනා ක්‍රමය ප්‍රඥා චරිතයාටම අනුදැන වදාරණ ලද්දක් බව පැහැදිලි ලෙස අවබෝධ කටයුත්තක් වේ. සතර සතිපට්ඨාන භාවනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර වදාරණ ලද්දේ කුරු දිවයින් වාසීන්ට වේ. මොවුහු ප්‍රඥාවන් කොටසක් වූහ. ඉතාම සුදුසු කම්මට්ඨානය කෙනෙකුට දීමට සමත්වූ එකම උත්තමයා බුදුරජාණන් වහන්සේ පමණි. ඊට හේතුව ඒ ඒ තැනැත්තාගේ අභ්‍යන්තර සිත දක්වා දැක්මේ සමත් ඥාන දෙකක්, ඉන්ද්‍රිය පරොපරියප්ති හා ආසය අනුසය ඥාන උන්වහන්සේ සතුව පැවති බැවිනි. මේ ඥාන මගින් ඒ තැනැත්තා පෙර ආත්ම භවයන්හිදී පුරුදු කරන ලද ගුණධර්ම මතුකොට ඊට උචිත පරිදි කර්මස්ථානයක් දෙත්ම, ඒ තැනැත්තාගේ සිත බලවත් අන්දමින් ප්‍රබෝධමත් වන අතර එයට ඒ තැනැත්තාගේ අවසන් විමුක්තියට මග පාදන්නේය. අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර මහරහතන්වහන්සේ පවා ඉතාම උචිත කර්මස්ථානය ස්වකීය අනුගාමිකයින්ට දීමට සමත් නොවූ සේක. එවැනි අවස්ථාවක් නම් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රාහුල තෙරුන් ආනාපාන සති භාවනා කර්ම ස්ථානය දෙන ලද නමුදු එයින් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබීමයි. මහා රාහුලෝවාද සූත්‍රයෙහි දැක්වෙන පරිදි භාග්‍යවතුන්වහන්සේ අනෙක් අතට රහල් තෙරුනට භාවනා කර්මස්ථාන හතක් දුන් අතර එමගින් රාහුල තෙරුන් නිවන් අවබෝධ කළ සේක. බුදුරජාණන් වහන්සේට පසුව ප්‍රඥාවෙන් අගතැන්පත්වූ මහා ශ්‍රාවක සැරියුත් තෙරුන් පවා කෙනෙකුට ඉතා සුදුසු කර්මස්ථානය දීමට අසමත් වූයේ නම් පාළි පෙළ දත් සාමාන්‍ය භික්ෂුවක ගැන කුමන කථාද?
ඒ ඒ පුද්ගලයින් නිර්වාණාවබෝධයට අවශ්‍ය ගුණාංගයන්ගෙන් පරිපූර්ණව සිටින කල්හි එවැනි පුද්ගලයින් නිවන් මගට යොමු කිරීමේලා සැබවින්ම සමත්වූ උත්තමයා භාග්‍යවතුන්වහන්සේ බව මජ්ජිම නිකායේ එන බෝධිරාජකුමාර සූත්‍රයේ මනාසේ පැහැදිලි වේ. යම්කිසි තැනැත්තෙකු ශ්‍රද්ධාව, නිරෝගී බව, අවංක බව වීර්ය්‍යය හා ප්‍රඥාවෙන් යුක්තව තථාගතයින් ්වහන්සේගෙන් උපදෙස් ලැබුයේ නම් ඒ තැනැත්තා වර්ෂ හතක් ඇතුළතදී හෝ වර්ෂ 6ක් ඇතුළතදී හෝ එසේත් නැතිනම් ඊටත් අඩු කෙටි කලක් වන වර්ෂයක් ඇතුළතදී හෝ ඊටත් අඩු කෙටි කාලක් මාස 7ක්, මාස 6ක්, හෝ එසේත් නැතිනම් මාසයක්, දින හතක් හෝ දින 1ක් ඇතුළත නිවන් අවබෝධ කරගැන්මට සමත්වනු ඇත. වර්ෂ 7ක් ඇතුළතදී නිර්වාණාවබෝධය කරනු ලබන තැනැත්තා සුළු වශයෙන් ප්‍රඥාවෙන් යුත් නෙය්‍ය පුද්ගලයින් ලෙසද, දිනකදී නිර්වාණාවබෝධය ලබන උත්තමයා තියුණු වූද උසස් වූද ප්‍රඥාවෙන් යුත් නෙය්‍ය පුද්ගලයා ලෙසද අටුවාවෙහි හැඳින් වේ. තවද වර්ෂ 7ක් හා දිනයක් යන කාලය අතරතුරදී නිවන් අවබෝධ කරන උතුමා සාමාන්‍ය ප්‍රඥාවකින් යුත් නෙය්‍ය පුද්ගලයෙකි. කෙනෙකුට මග පෙන්වීමට හා උපදෙස් දීමට බුදුවරයෙකුට හැකියාව ඇති නමුදු බුදුවරුන් කුමන අන්දමකින්වත් ගැලවුම්කාරයින් නොවන බව මේ සූත්‍රයෙන් පැහැදිලි වේ. නිර්වාණාවබෝධය සඳහා අවශ්‍ය ගුණාංග පුද්ගලයාට තම තමා සතුව තිබිය යුතු වේ.
මේ සම්බන්ධයෙන් බුදුරජාණන්වහන්සේ “පුග්ගල පඤ්ඤප්තියෙහි දී නිවන් ලබාගැන්මෙහිලා ඒ ඒ පුද්ගලයින්ට ඇති හැකියාවනට අනුව ඔවුන් කොටස් සතරකට වර්ග කර ඇත. උග්ඝටිකඤ්ඤු පුද්ගලයා මින් පළමු වන ගණයට අයත් වේ. මේ වනාහී බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරන ලද දහම් පදයක් ඇසීමෙන් සත්‍යය අවබෝධ කරගනු ලබන පුද්ගලයා වේ. බුද්ධ ධර්මය එතරම් කෙටි කාලයක් තුළදී අවබෝධ කර ගැනීමට එවැන්නෙකුට උත්පත්තියෙන්ම හැකියාව ලැබී ඇත. අතීත භව කිහිපයකදී මෙවැනි උත්තමයෙකු පාරමී පූරණය කොට ඇති බැවින් ධර්මය අවබෝධ කර ගැන්මේ මුහුකුරා ගිය නුවණක් එතුමාට ඇත. එතුමාගේ චිත්ත සන්තානයෙහි යටපත්ව පවත්නා අවබෝධ ඥානය, ප්‍රඥාව පිළිබඳ ගිණිපුපුර බුදුරජාණන් වහන්සේ විසින් අවුළුවාලනු ලැබීම පමණක් ම භවයේදී සිදු වේ. පුබුදුවීම සඳහා සූර්ය්‍ය රශ්මියේ වැටීම බලාපොරොත්තුවෙන් ජලය මතුපිට දිලෙන නෙළුමකට උග්ගටිකඤ්ඤූ උතුමා සමාන කළ හැක. බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙපළ හා දාරුචිරිය උතුමන් වැන්නෝ ද මේ ගණයට අයත් වේ.
දෙවන ගණයට අයත් වන විප්පටිතඤ්ඤූ පුද්ගලයා රහත්ඵලය ලබනුයේ ධර්මය විස්තර වශයෙන් ඇසීමෙන් වේ. පඤ්ඤා ලෝකය වහාම ලබා ගැනීමට තරම් අවශ්‍ය පරමී මේ තැනැත්තාට නොමැති බැවින් ඔහුගේ ඥානය හා ධාරණ ශක්තිය එතරම් තියුණු නොවේ. දිය මතුපිටින් ඉහළට පැමිණ විකසිත වීමට දිනයක් දෙකක් කල්ගන්නා නෙළුමකට මේ තැනැත්තා සමාන කළ හැක. භාග්‍යවතුන්වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනය ඇසීමෙන් සෝවාන් තත්ත්වයට පත්වූ පස්වග මහණුන් මේ ගණයට අයත් වේ. තුන්වන ගණයට අයත් වන නෙය්‍ය පුද්ගලයින් ධර්මය විචාරීමෙන් හා උපදෙස් ලැබීමෙන් ක්‍රම ක්‍රමයෙන් නිර්වාණාවබෝධය කරනු ලැබේ. ප්‍රඥාවත් ධර්ම විචාරයෙන්, සත් පුරුෂ සේවනයෙන් හා ධර්ම සාකච්ඡා මගින් මේ තැනැත්තා ක්‍රම ක්‍රමයෙන් සත්‍යාවබෝධ කරන්නේය. දිය මතුපිටින් ඉහළට පැන නැගී පුබුදුවීම සඳහා දින කිහිපයක් ගතවන නෙළුමකට මේ උත්තමයා සමාන කළ හැක. බුද්ධ ශ්‍රාවකයින් වහන්දෑ, ආනන්ද හිමියන් හා අංගුලිමාල තෙරුන් ද මේ ගණයට අයත් වේ. අන්තිම ගණයට අයත් වන පද පරම පුද්ගලයා සත්‍යය අවබෝධ නොකරයි. මඩෙහි එරී ඇති බැවින් දිය මතුපිටට කුමන අන්දමකින් හෝ ළඟා නොවන නෙළුමකට මේ පුද්ගලයා සමාන කළ හැක. සච්චක හා පසේනදී කොසොල් රජතුමා මේ ගණයට අයත් වේ.
තථාගතයින් වහන්සේ ඒ ඒ පුද්ගලයින් මෙසේ වර්ග කර දැක්වීම මගින් නිර්වාණාවබෝධය සඳහා සුදුසු ගුරුවරයෙකුගේ හා පුරන ලද පාරමිතාවන්ගෙන් යුක්ත බවෙහි ඇති වටිනාකම විවාද රහිතව දැක් වේ. කරුණු මෙසේ බැවින් ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ අභිමුවට උන්වහන්සේ වෙතින් ලබන ලද කම්මට්ඨාන මනාසේ ලබන ලද කර්මස්ථාන ලෙස නියම අන්දමින් සළකන ලදී. දැනට බුදුරදුන් ජීවමානව වැඩ නොසිටින බැවින් රහතන්වහන්සේ කෙනෙකුගෙන් කර්මස්ථාන ලබා ගැන්ම උචිත වේ. මේ රහතන්වහන්සේ වනාහි එම කමටහන මගින්ම සතරවන හා පස්වන ධ්‍යාන ලබාගත්, එමෙන් ම මේ ධ්‍යාන පාදක කර නිවන් අවබෝධ කරගත් උතුමකු වීම වඩා උචිත වේ. මෙවැනි රහත් උතුමෙකු සොයා ගත නොහැකි නම් අනාගාමි උතුමෙකු හෝ සකෘදාගාමී උතුමෙකු හෝ සෝවාන් උතුමෙකු හෝ කරා යාම සුදුසු වේ. මෙවැනි උතුමෙකු හෝ සොයා ගැන්ම දුෂ්කර වේ නම් ධ්‍යානයක් ලබාගත් උතුමෙකු සොයා ගැන්ම සුදුස ුවේ. එසේත් නැත්නම් තුන් පිටකය දෙපිටකය හෝ අඩු ගණනේ එක් පිටකයක් හෝ දන්නා ගුරුවරයෙකු සොයා යා යුතු වේ. මෙයද නොලැබේ නම් එක් නිකායක් හෝ එහි අටුවාද සමග සජ්ඣායනා කිරීමේ සමත් එමෙන්ම නිවන් මගට යොමුව සිටීමෙන් ගරු සැලකිලි ලැබීමේ සුදුසු කෙනෙකු කරා යෑමේ උචිත බව දැක් වේ. එවැනි සුදුසු උතුමෙකු සොයා ගැන්ම දුෂ්කර බැවින් ඊළඟට කළ හැකි හොඳම දෙය නම් බුද්ධඝෝෂ හිමියන් “විමුක්ති මාර්ගය” පොතෙහි දක්වා ඇති උපදෙස් සුපරීක්ෂාකාරී අන්දමින් හැදෑරීමෙන් තම චරිතයට උචිත කර්මස්ථානයක් භාවනාව සඳහා තෝරා ගැන්මට විචාරශීලී පාඨකයා සමත් වනු ඇත. අපගේ මහා කාරුණික බුදුපියාණන් වහන්සේ අති ශ්‍රේෂ්ඨ මනෝ විiාඥයා විසින් දුක් විඳින සත්ත්වයා පෙළෙන්නාවූ මානසික රෝග සුව කිරීමේලා විවිධ කම්මට්ඨාන පෙන්වා වදාරන ලදී. රෝගියාගේ පුද්ගලික අවශ්‍යතාවයනට අනුව පිළියම් දෙවා වදාරා ඇත. ප්‍රධාන චරිත හයක් පිළිබඳව විශුද්ධි මාර්ගයෙහි දැක් වේ. මේවා නම් රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, ප්‍රඥා චරිත හා විතක්ක චරිත ද වේ. චරිතයෙන් වෙනස් වන ආකාරයට කම්මට්ඨානද වෙනස් වේ. පාළි පෙළෙහි විශේෂයෙන්ම සූත්‍රයන්හි මේ කම්මට්ඨාන එහෙන් මෙහෙන් තිබෙනු දක්නට ලැබේ. එවැනි කර්මස්ථාන සතළිසක් පිළිබඳව විශුද්ධි මාර්ගයෙහි දැක් වේ. ඒ ඒ පුද්ගලයින්ගේ සෑම චරිත සංයෝගයක් හා සෑම මානසික අවශ්‍යතාවයක්ම මේ කර්මස්ථාන 40ට ඇතුළත් වේ. මේ සතළිස් කර්මස්ථාන නම් දස කසිණ, දස අසුභ, දස අනුසස්ති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරුප්ප ධ්‍යාන, එක සංඥා හා වවට්ඨාන ද වේ. දස අසුභ හා දස අනුස්සති භාවනාව රාග චරිතයට ද, සතර බ්‍රහ්ම විහරණ, වර්ණ කසිණ සතර, ද්වේෂ චරිතයට ද, ආනාපාන සති භාවනාව මෝහ හා විතක්ක චරිතයටද, මුල් අනුස්සති සය ශ්‍රද්ධා චරිතයටද, මරණානුස් සතිය චුපසම සති, ධාතු මනසිකාරය හා ආහාර පටිත්කුල මනසිකාරය බුද්ධි චරිතයටද සප්පාය වේ. ඉතිරි කසිණ හා අරූප ධ්‍යාන කර්මස්ථාන භාවනා සෑම වර්ගයකම චරිතයට සුදුසු වේ.
කෙනෙකුට ඉතාමත් උචිත කර්මස්ථානය ලැබුණද නිර්වාණාවබෝධය සඳහා අවශ්‍ය පාරමී ධර්ම ඔහු විසින් සපුරාලන ලද්දේ විය යුතුයි. මෙසේ නිර්වාණාවබෝධය එතරම් පහසු කාර්යයක් නොවේ. එය ඇස් බැන්දුම් මාර්ගයකින් සාක්ෂාත් කරගත හැක්කක් නොවේ. අඩු ගණනේ කල්ප ලක්ෂයක පමණ කාලයක් කෙනෙකු පාරමී ධර්මයන් අනුක්‍රමයෙන් හා නොකඩවා පූරණය කිරීමෙන් ජීවිත ගණනාවක ක්‍රියා මාර්ගයක් අයත්වන, මහා ගාම්භීර බැරෑරුම් කාර්යයකි. අප සසර සැරිසරණ අතර එකතුවූ කෙලෙස් ධර්ම අපගේ චිත්ත සන්තානවල තදින් මුල් බැසගෙන ඇති බැවින් ඒවා සම්පූර්ණයෙන් විනාශ කොට ඒ උතුම් රහත් භාවය ලබා ගැනීමට මහා චරිත ශක්තියක්, වීර්ය්‍යයක් හා ප්‍රඥාවක් ද අවශ්‍යවේ. ක්‍රමවත් පුහුණුව (අනුපුබ්බ සික්වා) ක්‍රමවත් ක්‍රියා (අනුපුබ්බ කිරියා) හා ක්‍රමික ප්‍රතිපදාව (අනුපුබ්බ පටිපදා) මගින් ලබාගන්නා ප්‍රඥාව (අන්තාරම්මන) සමගම බුදු දහමෙහි දිනුම් කණුව වන ඒ අති ිඋතුම් පරම ශ්‍රේෂ්ඨ නිවන සාක්ෂාත් වනු ඇත. භාග්‍යවතුන්වහන්සේ මෙසේ පවසා ඇත. සත්‍යයෙන්ම ප්‍රතිවේධය කල් ගතවන දෙයකි. (නආයතකෙනව අඥා පටිවේධො) පනින ගෙම්බෙකු අන්දමට නොව ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවරටම කෙනෙකු උත්තම නිවන් මග ගමන් ගත යුතු වේ. (අංගුත්තර නිකාය)
නිර්වාණාවබෝධය නිශ්චය කිරීමේදී කෙනෙකුගේ වත්මන් උත්සාහය කෙතෙක් දුරට වැදගත්වේද? වීර්ය්‍යය වනාහි ඉන්ද්‍රිය පහෙන් එකක් පමණක් වන අතර ඒ වනාහි ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයේ එක් අංගයක් පමණක් වේ. උත්සාහය පමණක් නොසෑහේ. මෙය සෝණ තෙරුන් සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලි වේ. සෝණ භික්ෂුව රහත් බවට මහත් වීර්ය්‍යයක් ගත් නමුදු අපේක්ෂිත ජයග්‍රහණය ලබා ගැන්මට අසමත් වූයේ වීර්ය්‍යය අධිකව හා සමාධිය අඩුවෙන් තිබුණු බැවිනි. මේ අංග දෙක සම සමව බලපැවැත්විය යුතු වේ. කෙනෙකුට අධික වීර්ය්‍යයක් හා අඩු සමාධියක් ඇත්තේ නම් හෙතෙම කලබලකාරී වේ. අසංවර වේ. එකල්හි ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය අවිචාරවත් අන්දමින් විසිර යන්නේය. හෙතෙම උද්ධච්චය ඇත්තෙක් වේ. අනෙක් අතට කෙනෙකුගේ සමාධිය බලවත්වී වීර්ය්‍යයෙන් හීන වේ නම් ඔහු අලස වේ. තථාගතයින් වහන්සේ පෙන්වා වදාරා ඇති පරිදි නිවන් බලාපොරොත්තු වන තැනැත්තා සෑමවිටම අන්තවලට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වේ. සම්මා වායාමේදී පවා කෙනෙකු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වේ. නිදසුනක් වශයෙන් සලකා බලනුයේ නම් අසරුවා තම අසුගේ ධාවන වේගය පිළිබඳව පරීක්ෂාකාරී වන අතර තමා බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩ වඩා වේගයෙන් ඔහු ධාවනය කරන්නේ නම් අසරුවා තම අසුගේ වේගය පාලනය කරන්නේය. අනෙක් අතට අසු තම වේගය අඩු කරන්නේ නම් අසරුවා ඔහු උනන්දු කරවමින් සාමාන්‍ය ධාවන වේගය රැක ගනියි. මේ ආකාරයට කෙනෙකු සම්මා වායාමය පුහුණු කළ යුතු වේ. ඊට හේතුව වීර්ය්‍යය වැඩිවූ කල කෙනෙකු කලබලකාරී වන අතර අඩු වූ වීර්ය්‍යය ඇති කල ඔහු උදාසීන වේ. එබැවින් අසරුවා මෙන් යෝගාවචරයා ද මේ ඉන්ද්‍රිය පාලනය කරමින් ඒවා සම තත්ත්වයෙහි පවත්වාගත යුතු වේ. පහත විස්තර වන සිද්ධිය මෙකරුණ මනාසේ පැහැදිලි කරයි. ශාරීරික හා මානසික වශයෙන් වීර්ය්‍යය වැඩීම වෙනුවෙන් බලවත් ලෙස උත්සාහ ගත් එහෙන් එම වෑයම අසාර්ථකවූ සෝණ තෙරුන් පිළිබඳ සිද්ධිය වේ. හුදකලාව වැඩ හුන් අවස්ථාවක සෝණ තෙරුනට මෙවැනි සිතුවිල්ලක් පහළ විය. “තථාගතයන් වහන්සේගේ උපදෙස් පරිදි ආරබ්බ වීර්ය්‍යයෙන් යුතුව කල් ගෙවනු ලබන ශ්‍රාවක පිරිස අතුරින් මම ද කෙනෙක් වෙමි. එහෙත් මගේ සිත කෙලෙස් කෙරෙන් නොමිදුණේ වේ. මගේ පරපුර වනාහි ධනයෙන් ආඪ්‍යමත් පරපුරකි. එම නිසා මට ඒ ධනය යොදා සැප විඳිමින් යහපත් දේ කළ හැක. මා මේ භික්ෂු ජීවිතය හැර දමා නැවත ගිහි ගෙදරට ඇතුළුව ධනය ප්‍රයෝජනයට ගනිමින් සැප විඳිමින් හා යහපත් දේ කරමින් ජීවත් වුවහොත් කුමක්වේද?” මේ අවස්ථාවේදී සෝණ තෙරුන් කරා වැඩමවා වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ තෙරුන් අමතා “සෝණය, ඔබට රහසිගතව මෙබඳු සිතක් පහළ වුණාවේ දැයි ඒ සෝණ තෙරුන් සිතන ලද පරිද්දෙන්ම දැන ගත් පරිදිම විචාළ සේක. “එසේය, ස්වාමීනි” සෝණ තෙරුන් පිළිතුරු දුන් කල, “සෝණය, ඔබ ගිහිගෙයි වසන කල වීණා වාදනයෙහි දක්ෂ වූයේ දැ”යි භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද සේක. “එසේය ස්වාමීනි, දක්ෂ වූයෙමි” යි පිළිවදන් දුන්හ. “කිමෙක්ද සෝණය, යම් කලෙක්හි ඔබගේ ඒ වීණාවෙහි තත් ඉතා තද කළ කල්හි හඬ මිහිරිවන්නේද? නැතහොත් තත් ඉතා ලිහිල් කළ කල්හි හඬ මිහිරිවන්නේ දැ”යි ඇසූහ. එකල්හි සෝණ තෙරුන් “නැත ස්වාමීනි” පිළිතුරු දුන්හ. “එසේ නම් සෝණය, ඔබගේ වීණාවෙහි තත් අතිශයින් දැඩි නොකොට, අතිශයින් ලිහිල් නොකොට තැබූ කල්හි මිහිරි වේදැ”යි විමසූ කල්හි “එසේය ස්වාමීනි” ය පිළිතුරු දුන්හ.
“සෝණය එසේම දැඩි කොට ආරබ්ධ වීර්ය්‍යය ඇතිවීම නොසන්සුන් බවට හේතුවන්නේය. ඉතා ලිහිල් කොට ඇති වීර්ය්‍යය ථීනමිද්ධයට හේතුවන්නේය. එබැවින් සෝණය, සමකොට වීර්ය්‍යය ඉටා ගනුව. ඉඳුරන්ගේද එකඟ බව අවබෝධ කරව. ඒ ඉන්ද්‍රියයන්ගේද නිමිති ගනුව යි අවවාද කළ සේක. ආයුෂවත් සෝණ තෙරුන්වහන්සේ ද “එසේය, ස්වාමීනි” යි පිළිතුරු දුන්හ. ඉක්බිති ඒ සෝණ තෙරුන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවා වදාරණ ලද අවවාදයන්හි පිහිටා කමටහන් වඩන්නාහු සියලු කෙලෙස් නැසීමෙන් ලබන්නා වූ ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කොට ගත් සේක.
කෙනෙකු තුළ වීර්ය්‍යය හා සමාධිය සමසේ පැවතිය යුතුවාක් මෙන්ම නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව හා ප්‍රඥාවද සමසේ තිබිය යුතු වේ. සංයුක්ත නිකායේදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාකොට වදාරා ඇත. පංච ඉන්ද්‍රියයන් වන ශ්‍රද්ධා, වීර්ය්‍යය, සති සමාධි ප්‍රඥා පූරණය කිරීමෙන් කෙනෙක් රහත් තත්ත්වයට පත්වෙත්. මේ ඉන්ද්‍රියයන් දුර්වල වුවහොත් ඒ තැනැත්තා අනාගාමී උත්තමයෙකු වේ. මේවා තත්ත්වයෙන් දුර්වලවත්ම ඒ තැනැත්තා සකෘදාගාමී හෝ සෝවාන් හෝ එසේත් නැත්නම් ධම්මානුචාරී හෝ සද්ධානුචාරී හෝ වේ.” නියමිත කාලයක් ඇතුළත දී නිවන් අවබෝධ කරගනු හැකිවේ යයි කෙනෙකුට අභිමත පරිදි පැවසිය නොහැක. අංගුත්තර නිකායෙහි දක්නට ලැබෙන විසිතුරු උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ මෙය පැහැදිලි කොට දක්වා වදාරා ඇත. කෙනෙකුට ධාන්‍ය වගාවක අස්වැන්න නෙළා ගැනීම අවශ්‍ය වනුයේ නම් පළමුවෙන් ම සාරවත් කුඹුරක්ද, දෙවනුව නියමිත කාලයේදී වැපිරීම සඳහා ධාන්‍යද, තෙවනුව සුදුසු කාලයේ ජලය ඇතුල්වීමට හා පිටවීමට මාර්ග ද තිබිය යුතු වේ. එමෙන්ම නිර්වාණාවබෝධය සඳහා ප්‍රධාන අවශ්‍යතාවයන් තුන වන ශීල, සමාධි, ප්‍රඥාව භික්ෂුව විසින් වැඩිය යුතු වේ. අවශ්‍ය කරුණු සම්පූර්ණ වූ කල්හි මෙතෙම අස්වැන්න නෙළා ගැන්මෙහිලා සමත් වන්නාක් මෙන් මේ භික්ෂුව ද යථා කල්හි කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් රහත් ඵලය ලබනු ඇත. එසේ නැතිව සුදුසු අවස්ථාව නොපැමිණිය ද, කෙලෙස් කෙරෙන් තමා මිදේවායි කෙනෙකුට අපේක්ෂා කළ නොහැකිය. නිර්වාණාවබෝධය සඳහා වීර්ය්‍ය වඩන ආකාරයට පුද්ගලයින් සතරාකාරයකට තථාගතයින් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහිදී විසිතුරු අන්දමින් පුද්ගලයින් වර්ග කරනු ලැබ ඇත. නිර්වාණ අවබෝධය සඳහා වීර්ය්‍යය පමණක් ප්‍රමාණවත් නොවන බව තරයේ දක්වා ඇත.
යෝගාවචරය සතුව පැවතිය යුතු අවශ්‍ය චරිත ලක්ෂණ ද එමෙන්ම යම් යම් භාවනා ක්‍රම පුහුණුව ද එමෙන්ම ඉහත සඳහන් කරන ලද ඉන්ද්‍රිය පංචකය යෝගාවචරයා විසින් කෙතෙක් දුර වගාකොට දියුණු කර ඇත්ද යන කරුණු මත නිර්වාණාවබෝධය කරා ළඟාවීම රඳා පවතී. පළමු ගණයට අයත් වන පුද්ගලයා සුළු උත්සාහයෙන් මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරන්නේ වේ. හෙතෙම කායානුපස්සනාවද ආහාරේ පටික්කුල මනසිකාරය ද, සබ්බ ලොක අනභිරත සඤ්ඤා හා සබ්බ සංඛාරෙසු අනිච්ච සංඤේඤසු භාවනාවෙහි යෙදෙන අතර මරණානුස්සතිය ඔහුගේ පෞරුෂත්වයෙහි මුල් බැසගෙන තිබිය යුතු වේ. මේ හැරුණු විට යෝගාවචරයෙකු සතුව තිබිය යුතු ශ්‍රද්ධා, හිරි, ඔතප්, වීර්ය, පඤ්ඤා නමැති ප්‍රධාන අංග පහ ඔහු සතුව තිබිය යුතු අතර මේ සියල්ලටම වඩා ශ්‍රද්ධා, වීර්ය්‍යය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය පහද ඔහු සතුව තිබිය යුතු වේ.
දෙවැනි ගණයට අයත් වනුයේ තරමක් උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, හෙත් මරණින් මතු නිර්වාණාවබෝධ කරන පුද්ගලයා වේ. පළමු වන ගණයට අයත් පුද්ගලයා මෙන් මේ තැනැත්තා ද එම කර්මස්ථානය වඩන අතර නිර්වාණාවබෝධයට කැමති නිපුණත්ව පුද්ගල ගති ලක්ෂණ ද ඇත්තේය. එහෙත් ඔහුගේ ඉන්ද්‍රියයන් දුර්වලය. තුන්වන ගණයට අයත් වනුයේ කිසිම උත්සාහයක් නොමැතිව මේ භවයේදී නිවන් අවබෝධ කරනු ලබන තැනැත්තා වේ. මේ වනාහි රූපාවචර ධ්‍යාන සතර ලබන තැනැත්තා වේ. මේ තැනැත්තාට නිපුණත්වයේ ගති ලක්ෂණද ඇත්තේය. එහෙත් ඔහුගේ ඉන්ද්‍රියයන් දුර්වලය. මේ තැනැත්තාට නිපුණත්වයේ ගති ලක්ෂණ ඇත්තාක් මෙන්ම ඊටත් වඩා ඉන්ද්‍රිය පහෙන් බහුල වශයෙන් ආශිර්වාද ලබා සිටියි. සතරවන ගණයට අයත් වනුයේ මරණින් මතු උත්සාහයක් නොමැතිව නිවන් අවබෝධ කරන තැනැත්තා වේ. මේ වනාහි සතර ධ්‍යාන ලබන එමෙන් ම නිපුණත්වය පිළිබඳ ප්‍රධාන චරිත ලක්ෂණයන්ගෙන් යුත් පුද්ගලයා වේ. එහෙත් ඔහු සතුව පවත්නා ඉන්ද්‍රියයන් පංචකය දුර්වල වේ.
නිර්වාණාවබෝධය හා නිවන් පටිපදාව සතරාකාර අන්දමින් භාග්‍යවතුන්වහන්සේ පෙන්වා වදාරා ඇත. ඒ වනාහි (i) සෙමින් ලබා ගන්නා අවබෝධය හා සම්බන්ධ අමාරු දියුණුව (දුක්ඛ පටිපදා දන්‍ධභිඥා) (ii) වහා ලබාගන්නා අවබෝධය හා සම්බන්ධ අමාරු දියුණුව, (දුක්ඛ පටිපදා විප්පභිඥා) (iii) සෙමින් ලබා ගන්නා අවබෝධය හා සම්බන්ධ පහසු දියුණුව (සුඛ පටිපදා දන්‍ධභිඥා) (iv) වහා ලබා ගන්නා අවබෝධය හා සම්බන්ධ පහසු දියුණුව (සුඛ පරිපදා විප්පභිඥා) ද වේ. (අංගුත්තර නිකාය) නිර්වාණාවබෝධය සඳහා අවශ්‍ය මූලික ලක්ෂණ හා පූරණය කළ යුතු කරුණු ද සම්බන්ධ පැහැදිලි විස්තරයක් ශ්‍රාවකයෙකු විසින් අනුගමනය කළ යුතු මේ දියුණුවේ මාර්ගයෙන් දැක් වේ. කෙනෙකු කෙතෙක් දුර ඉන්ද්‍රියයන් පංචකය සම්පූර්ණ කර ඇත්ද, එමෙන්ම කෙතෙක් දුර ලෝභ, දෝෂ, මෝහ යන කෙලෙස් ධර්ම මොහුගේ සිත් සතන් තුළ බලපවත්නේ ද යන්න නිර්වාණාවබෝධයෙහිලා නිශ්චය කරනු ලබන වැදගත් කරුණු දෙකක් වේ. නිර්වාණාවබෝධයෙහිලා ප්‍රධාන බාධක ධර්ම වන ලෝභ, දෝෂ, මෝහ යන ක්ලේශයන් තුනෙන් ස්වභාවයෙන් පිරුණු තැනැත්තා පළමුවන ගණයට අයත් වන අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මොහු සෑම වේලේම දුකින් දොම්නසින් පෙළෙන්නේය. ඔහුගේ චිත්ත සන්තානයෙහි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පහ සෑහෙන ප්‍රමාණයට දියුණුවී නැති බැවින් ඔහු නිර්වාණාවබෝධ කරනුයේ මහත් උත්සාහයක් හා වෙහෙසක් දරා ක්‍රම ක්‍රමයෙනි. දෙවන ගණයට අයත් වන තැනැත්තා ද ස්වභාවයෙන් ම ලෝභ, දෝෂ, මෝහයෙන් පිරී සිටින බැවින් ඔහු ද එහි ප්‍රතිඵලයක් වශයෙන් නිතර දුකින් දොම්නසින් පෙළෙන්නේය. එහෙත් ඒ තැනැත්තා තුළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පංචකය තදින් වගා දියුණුවී ඇත. මේ හේතුවෙන් මේ තැනැත්තා වැඩි උත්සාහයක් නැතිව ඉක්මණින් නිර්වාණාවබෝධය කරන්නේය. තුන්වන ගණයට අයත් වන තැනැත්තා තුළ ස්වභාවයෙන්ම ලෝභ, දෝෂ, මෝහ බලපවත්වනුයේ සුළු වශයෙනි. ඒ හේතුවෙන් මේ තැනැත්තා දුක් දොම්නසින් පෙළීම අඩු තත්ත්වයක පවතී. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පංචකය මේ තැනැත්තා තුළ වගාවී ඇත්තේ මඳ වශයෙනි. එම නිසා මොහු නිර්වාණාවබෝධය ලබනුයේ ක්‍රම ක්‍රමයෙන් හා සෙමිනි. සතර වන ගණයට අයත් වන තැනැත්තා තුළ ද ස්වභාවයෙන්ම ලෝභ, දෝෂ, මෝහ බලපවත්වනුයේ මඳ වශයෙන් බැවින් ඒ තැනැත්තා ද දුක් දොම්නස්වලින් පෙළෙනුයේ කලාතුරකින් වේ. මේ තැනැත්තා තුළ ද ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පහ තදින් වගා දියුණු වී ඇති බැවින් ඔහු වහා නිර්වාණාවබෝධ කරයි.
කෙනෙකු සතර සතිපට්ඨාන ධර්මයන් වර්ෂ 7ක් තුළ තද උත්සාහයෙන් යුතුව වඩනුයේ නම් රහත් බව දැන් මේ ආත්ම භවයේදීම ලැබෙන බවද එසේත් නැතිනම් අඩු ගණනේ අනාගාමී තත්ත්වය හෝ ලැබෙන බවද තථාගතයින් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී අවධාරණයෙන් යුතුව දේශනාකොට වදාරා ඇත. “මහණෙනි, වර්ෂ 7ක් කෙසේ වුවද වර්ෂ 6ක් වුවද මේ සඳහා සෑහේ.” අනිත් වාක්‍යයේදී භාග්‍යවතුන්වහන්සේ ඒ අන්දමින්ම මෙසේ පවසා ඇත. “වර්ෂ 5ක් වුවද මේ සඳහා සෑහේ” මෙසේ පිළිවෙළින් වගන්තියෙන් වගන්තියට වර්ෂ 7 වර්ෂ 6 දක්වාද, වර්ෂ 5 දක්වාද, වර්ෂ 4, වර්ෂ 3, වර්ෂ 2, වර්ෂ 1 දක්වා ද ඉන්පසු මාසය දක්වාද මාස බාගය දක්වාද අන්තිමේදී දින 7 දක්වාද භාග්‍යවතුන්වහන්සේ කරුණු ගෙන හැර දක්වා ඇත.
මේ සූත්‍ර දේශනයේදී බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ ස්ථිර ලෙස පවසා වදාරා ඇත. මේ සම්බන්ධයෙන් මීට ඉහතින් දක්වන ලද සූත්‍රවල දැක්වෙන බුදුවදන්ද සලකා බැලිය යුතු වේ. මේ ජීවිතයේදී නිර්වාණාවබෝධ කළ හැක්කේ ඉහත දක්වන ලද අවශ්‍ය ධර්මතාවයන් සෑම අංගයෙන්ම පූරණය කළහොත් පමණකින්ම බව ඉන් පැහැදිලි ලෙස දැක් වේ. එකල්හි පමණක් ම අප සියලු සංසාර බැමිවලින් නිදහස්වූ ඒ උතුම් රහත් තත්ත්වය අත්පත් කර ගැන්මේ භාග්‍යය උදාවනු ඇත.
(ධර්ම කථික ඇලෙක් රොබට්සන් මහතාගේ ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි.
පරිවර්තනය ජයසුමනා ද සිල්වා රොබට්සන් අතිනි.)