මැඩියෙක් එක්ක!

ටීවී එකේ කථා කරනවා ජනාධිපතිතුමා. මං ඇහුන්කම් දුන්නා ටිකක්:

“අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. අද පෙරවරුවේ අපි පැරිස් නුවරදී අපේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාව අවසන් කළා. නිල ණය හිමියන්ගේ කොමිටුව එක්ක අපි අවසන් එකඟත්වයකට එළඹුණා. චීනයේ එක්සිම් බැංකුව එක්කත් අවසන් එකඟත්වයකට ආවා අපි බීජිං නුවරදී. රටට සැබැවින්ම ආදරය කරන හැමෝටම මේක සුබාරංචියක්. ශ්‍රී ලංකා වොන්!”

කිසි සද්දයක් නෑ වටපිට. ‘ශ්‍රී ලංකා වොන්’ නම් රතිඤ්ඤා සද්දයක් ඇහෙන්න ඕන. ඒත් එහෙම සද්දයක් නෑ. මං බැලුවා කවුරුවත් අහන්නෙ නැද්ද කියල ජනාධිපතිතුමාගේ කතාව. නෑ, අහනවා. පුටු සෙටියේ ඉඳගෙන පූසා කතාව අහනවා. බිම බලද්දි පාපිස්සෙ ඉඳන් බල්ලාත් අහගෙන ඉන්නවා කතාව කන කහන ගමන්. මට හිතුණා තවත් ටිකක් අහන්න එතුමා කථා කරනවා.

“මේ එකඟතාවන් එක්ක විදේශ රටවල සියලු ණය වාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගන්න අපට පුළුවන් වෙනවා. ඉන් පස්සෙ සහනදායී කොන්දේසි උඩ සියලු ණය ගෙවා අවසන් කරන්න 2043 දක්වා දිගු කාලයක් ලබාගන්ටත් අවස්ථාව ලැබෙනවා. දැන් අපේ ආර්ථිකයට හුස්මක් ගන්න අවස්ථාව ලැබෙනවා. 2022 අවුරුද්දේ අපි දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9.2 ක් විදේශ ණය ගෙව්වා. දැන් අපට 2027 සිට 2032 දක්වා ඒ ගෙවීම බාගෙකින් අඩු කරගන්න අවස්ථාව හිමි වෙනවා…”

ජනාධිපතිතුමාගේ කතාව අස්සෙ හිටිගමන් ලයිට් ගියා ගෙදර. මං බැලුවා මැණිකලාගේ ගේ දිහා. මැණිකලහ ලයිට් පත්තු වෙනවා. වත්තෙ මායිම අල්ලන වයලට්ලාගේ ගෙදර දිහා බැලුවා. එහෙත් ලයිට් තියෙනවා. එතකොට මතක් වුණේ ගෙදරට රතු බිල ඇවිත් මාසෙකට වැඩියි නේද කියල. හිතට හරි නෑ. ඉන්න පුළුවන්ද කරුවලේ! ඒත් එක්කම මට ජනාධිපතිතුමාගේ කතාව මතක් වුණා. 2027 ඉඳලා 2032 දක්වා ණය ගෙවන ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් බාගෙකට අඩු කරගන්න අවස්ථාව ලැබෙනවාලු. එහෙනම් 2027 ලයිට් ගන්න පුළුවන්නෙ. මට සැහැල්ලුවක් දැනුණා.

මං ඇඳට ඇවිත් වාඩි වුණා. ඒත් ඇඟෙන් කුයිල ගඳක් ආවා. දවස් ගාණකින් නෑවේ නෑ නේද කියල හිතුණෙ එතකොට. මං නාන්න තුවාය කරේ දා ගත්තා. ඒත් ලයිට් නැතුව කොහොමද වතුර මෝටරේ දාන්නෙ? තවත් උභතෝකෝටිකයක්. මළ පෙරේතයෙක් වගේ ගෙදර ඉන්න බැරි හින්දා මං බාල්දිය අරන් ළිඳ ළඟට ගියා. ළිඳ ළඟ ඉහටත් උඩින් වැවිලා ලොක්කන්නට්ටන්. ලොක්කන් නට්ටන් කරන්න පුළුවන්ද කවදාවත්? පුළුවන් සමහර විට 2027 ත් 2032 ත් අතර කාලෙ. නෑ, ඒත් බෑ. එතකොට ඉන්නෙත් මේ කට්ටියමයි. මේ ලොක්කලාම රවුමේ යද්දි මොන නට්ටන්ද ලොක්කො!

මං වල් ගස් පීරගෙන ළිං ගැට්ටට පය තියලා වතුර බාල්දියක් ගත්තා. හීතලයි අත ගහන්න බැරි තරම්. ළිං පඩියේ මං ටිකක් වාඩි වෙලා හිටියා. වතුර හලාගන්න ඇඟ හීතලට හුරු වෙන්න ඕන. ඒත් එක පාරටම ගෙම්බෙක්ගෙ මහ සද්දයක් ඇහෙන්න ගත්තා. ගෙම්බෙක්ගෙ නෙවෙයි, මැඩියෙක්ගෙ. මැඩියා කර කර ගානවා දත්කූරු කනවා වගේ කන අස්සෙ. කන් බෙරය පැලෙයිද කියලත් හිතුණා මට. මං බැලුවා මැඩිසන් ඉන්නෙ කොහෙද කියල. දෙගොඩහරියාමේ හින්දා මැඩි තැන පේන්න නෑ.

මං ගල් ගෙඩියක් අරන් වතුරට දමලා ගැහුවා මැඩි හඬ නතර කරන්න. තත්පරයක් දෙකක් සද්දෙ නැවතුණා. ඒත් ආයෙ පටන්ගත්තා සද්දෙ. මුන් සද්දෙ දාන්නෙ ඡන්දයක් එද්දිද කියලත් හිතුණා මට. ඔව්, ඡන්දෙට කලින් සද්දෙ දානවා. ඡන්දෙන් පස්සෙ සද්දෙ නවතිනවා. සද්දෙ තියා උන්හිටිතැන් හොයාගන්නත් බැරි වෙනවා එතකොට. ඒක තමයි නියාමය. දැන් ආයෙ කර කර සද්දෙ කන්අඩි පුපුරවන තරම්. වැඩි වෙලා ඉන්න හොඳ නැති හින්දා මං වතුර ටික හලාගන්න ඇඟට බාල්දිය අතට ගන්න බැලුවා. අන්න එතකොට දැක්කෙ බාල්දිය ගැට්ටෙ ඉන්නවා මැඩියා. මාව ගැස්සුණා. මැඩියෙක්ද මූ? ඌරෙක්ද? ඌරෙක් තරම් ලොකු මැඩියෙක්! එච්චර ලොකු මැඩියෙක් ඉන්න පුළුවන්ද බාල්දි ගැට්ටක? ඉන්න බැරි ඇයි? අලි ඉන්නෙ පුටුවල වාඩි වෙලා. සමහර අලින්ගෙ කලිසන් වැටෙනවා කථා කරද්දි. ඒ කියන්නෙ අලි කලිසනුත් අඳිනවා. මං බැලුවා ළඟපාත කෝටුවක්වත් තියෙනවාද කියල මැඩියා එළවන්න. ඒත් අන්න එතකොටම කවුරු හරි කථා කරනවා ඇහුණා.

“එපා කෝටු හොයන්න. මං යනවා මෙතනින් ඉක්මනට. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා.”

හොල්මන් වුණා මාව සද්දෙට. මැඩියා ද මේ කථා කරන්නෙ? මැඩියො කොහොමද කථා කරන්නෙ?

“මට අහන්න ඕන මෙච්චරයි මහත්තයෝ. කාටද මේ ලොකු මහත්තයා ජැන්ඩියට ඇඳගෙන කථා කරන්නෙ?”

බැලුවා මං ආයෙත් හොඳට. මැඩියාමද මේ?

“ඔව්, මැඩියාම තමයි මේ.”

ඒ කතාවට මාව කරකැවිලා ගියා. මැඩියා කථා කරන විත්තිය මට පෙනුණා ඌ තොල කට එහා මෙහා කරන විධියට. පුදුම වෙන්න දේකුත් නෑ. ජීවිතාන්තය දක්වා හිරේට ගිය මිනීමරුවො පහුවදා ඇමැතියෙක් වෙලා එන රටක මැඩියෙක් කථා කරන එක මොකක්ද! මං මැඩියා අහපු ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න බැලුවා:

“කවුද ඔය ලොකු මහත්තයා කිව්වෙ?”

“ඇයි අප්පා, අර රාත්තිරියේ ණයවර ලිපි, නිල ණය හිමියන්ගේ කොමිටුව ගැන එහෙම කථා කළේ!”

මේකා මැඩියෙක්ද පොලිටික්කෙක්ද? සමහර විට ලාහට ගෙම්බො එකතු කරන කාලෙ මැඩියාත් වැටෙන්න ඇති ඒගොල්ලාගේ ලාහට.

“මේකයි මැඩිසන්, ලොකු මහත්තයාට ඕන වෙලා තියෙනවා තව පාරක් ඉල්ලන්න. ඒකනෙ අපට කථා කරන්නෙ. සුබාරංචියක්නෙ ඒක. අපට නෙවෙයි, එයාට.”

මං උත්තර දුන්නා මැඩියාගේ තැනට වැටිලා.

“අපිද ණය ගත්තෙ? අපිද ණයවලින් හොරකම් කළේ? අපිද මහබැංකුව කැඩුවෙ? අපිද බස් පිච්චුවේ? ගෙවල් ගිනි තිබ්බෙ? උද්ඝෝෂණ, වැඩවර්ජන කරලා සල්ලි, කාලය, අනාගතය නැති කළේ? අර රංජා කිව්වා වගේ උන් ඔක්කොම යාළුවො. නැත්නම් ඉස්සෙල්ලා කරන්න ඕන උන් හොරකම් කරපු සල්ලි, දේපොළ ආපහු අරගෙන රට හදන එක නේද?”

මැඩිසන් කථා කරන දේවල් ඇහුවාම මට හිතුණා මූ ළිං මැඩියෙක් වෙන්න බෑ කියල.

“එයා දැන් සැලුන් දොර ඇරලා තියෙනවා. සැලුන් දොර ඇතුළෙ ඉන්නෙත් ඇතුළට එන්න කියල ආරාධනා කරන්නෙත් රට ණය උගුලක හිරකරපු කට්ටිය. හොරා කාපු කට්ටිය. තමන්ට විතරක් නෙවෙයි, හත්මුතුපරම්පරාවටම ඇති වෙන්න හොරා කාපු කට්ටිය. ඔය කට්ටියට නේද ඔය කතාව ඉස්සෙල්ලම කරන්න ඕන.”

මං මගේ කතාව පැත්තක දාලා මැඩිතැන කථා කරනවා අහන් හිටියා. මැඩියා තව කථා කළා:

“දැන් පේනවාද? අර රතු බාප්පලා මේ දවස්වල ළමයින්ට ඉස්කෝලෙ යන එක නවත්තලා තියෙනවා. පඩි ඕන මටත්. මං ආසයි පඩි නඟින්න. පඩියෙන් පඩියට පනිද්දි මාර සැපක් දැනෙනවා. ඒත් මුන්ට නේද ආණ්ඩුව අන්තිමටම පඩි වැඩි කළේ? නෑ, අර බැංකුවේ මහත්තයා එයාගේ ගෙදර කට්ටියට අන්තිමට වැඩි කරගත්තෙ පඩි. ඒත් මේ ඉස්කෝලවල උගන්නන හොඳ මුනිලා මේ වර්ජන අස්සෙ මොනවාද කරන්නෙ කියල බලන්න ඔවුන්ගෙ ගෙවල්වලට ගිහිල්ලා. ඇත්ත වශයෙන් ඔවුන් ගෙදර නෑ. ඔක්කොම ඉන්නෙ ටියුෂන් කඩවල. ඔවුන් කඩ කරනවා. නෑ, කට්ටියක් රතු මහත්තුරුන්ගේ කාර්යාලයෙත් ඉන්නවා. එතනනෙ ඉස්ටාලින්ලා, ලෙනින්ලා, ට්‍රොට්ස්කිලා ඔක්කොම ඉන්නෙ. මෙහෙම රටක ණයවර ලිපි බල්ලො ගණන් ගනීද!”

අවට කරුවල වැටිලා කිසි දෙයක් පේන්නෙ නැති වෙන්න. මැඩියා දැන් පේන්නෙම නෑ. ඒත් පේන්න ඕන නෑ. කතාවයි වැදගත්. මං මැඩිසන්ගේ කටහඬට විතරක් ඇහුන්කම් දුන්නා.

“මට මෙතන ඇති ලබ්බක් නෑ. මං ඉන්නෙ ළිඳේ. අපට ණය ගත්තත් එකයි, මොකා කෑවත් එකයි හොරා. ඒත් මට උහුලන්න බැරි මුන්ගෙ අනඩු කතා. අර ලංකා ගුරු නෙවෙයි, ලංකා කාබාසිනියා සංගමය නේද කිව්වෙ ළමයින්ට ඔන්ලයින් එපා, කොහොම හරි ඉස්කෝලෙ පටන්ගන්න කියල. දැන් යන්තම් ළමයි ආපහු අතපහු වුණු වැඩ අල්ලගනිද්දි උන් පඩි නෑ කියල ඉස්කෝලෙ වහනවා. ඔය කට්ටිය ඉස්කෝලවල උගන්නවාද කියල ඉස්සෙල්ලා සමීක්ෂණයක් කරන්න ඕන නැද්ද?”

නාන්න හිතක් නෑ දැන් මට. මට හිතුණෙ ලොකු අවුලක් තියෙනවා කියල.

“හරි. දැන් මං යන්නම්. මීට වඩා තමුන්නාන්සෙගේ කාලය නාස්ති කරන්නෙ නෑ මං.”

බාල්දි ගැට්ටෙන් මැඩියා ළිං ගැට්ටට පැන්නා දැනුණා මට. “නෑ, මං කොහොමත් කාලය නාස්ති කරනවා. කමක් නෑ, කථා කරන්න” කියල කියන්න හිතුණා මට. ඒත් මැඩියා කථා කළා ඊට කලින්.

“මේක අමාරු කාලයක්. අමාරුයි කිව්වෙ අන්තිම සවුත්තු මිනිස්සු ඉන්න රටක් මේක. මට දුක තමුන්නාන්සේලා ගැන. තමුන්නාන්සේලාට මේවා ඔක්කොම ඉවසන්න වෙනවා. මට ගාණක් නෑ. මට ඕනෙම නෑ මුන් දිහා බලන්න. මං යනවා එහෙනම්!”

මැඩියා පැන්නා එහෙම කියල ළිඳට ජබුඃ ගාලා. මටත් හිතුණා ළිඳට පනින්න. හරි, මැඩිසන් කිව්ව දේ හරි. මුන් එක්ක ඉන්න බෑ. බලු වටින්නෙ නැති මිනිස්සු ඉන්න බලු නොවටිනා රටක්ද මේක? එහෙමම කියන්න බෑ. මේක පාරාදීසයක් කියල කියන්නෙ ලංකාවට එන සුද්දො. ඔව්, කට්ටියකට පාරාදීසයක් තමයි. මං ළිඳෙන් ගත්තු වතුර බාල්දිය ඇඟට හලාගෙන ගෙදර ගියා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment