මෛත්‍රිට පැනවූ වාරණය 9දා තෙක් දීර්ඝ කෙරේ

81

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ඉකුත් 4 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය ලබන මස 9 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

එම වාරණ නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 9 වැනිදාට පෙර ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙස දිසා විනිසුරුවරයා සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ දිසා විනිසුරුවරයා එම වාරණ නියෝගය නිකුත් කොට තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවට පිළිගැනීමත් එසේ ඔහුගේ තීරණ ක්‍රියාත්මක නොකරන බවටත් එම පක්ෂයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ප්‍රධාන සංවිධායක ඇතුළු පිරිසට පසුගිය 4 වැනිදා මුල්වරට එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති අත්තනෝමතිකව හිතුමතේ තීරණ ගන්නා අයකු බවත්, පක්ෂයේ ව්‍යවස්ථාව සහ ප්‍රතිපත්ති උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන අයකු බවත් පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් ඔවුන් දරන තනතුරුවලින් ඉවත් කිරීම නිසා පක්ෂය පිරිහීමට ලක්වෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිනිය සිය පෙත්සම මගින් අධිකරණයට කියා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment