මරණාසන්න රෝගියකු මේ රටේ පෞද්ගලික රෝහලකට ගෙනගොස් භාරදීමට වඩා මල් ශාලාවකට ගෙන ගොස් භාරදීම සුදුසුය. එයට හේතුව මල් ශාලාව මළ මිනියක් භාරගන්නා විට එහි සියලු අවසන් කටයුතු සඳහා ස්ථිර ගණනක් පොරොන්දු වීමය. ඒ ගාණ මළ සිරුර යළි නැගිට්ටත් වෙනස් වෙන්නේ නැත. සමහරවිට මළ සිරුර තවත් දින කිහිපයක් මල් ශාලාවේ තබාගෙන අවසන් ගෞරව ගැනීමට ඥාතීන් කල්පනා කරන්නේ නම් එම්බාම් එක දීර්ඝ කිරීම සඳහා පමණක් මල් ශාලාව පොඩි මුදලක් අය කරයි. එහෙත් පෞද්ගලික රෝහලක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. එහි යන රෝගියා ජීවත් වුණත් මළත් විශාල මුදලක් ගෙවීමට සිදුවේ. සාමාන්‍යයෙන් පුද්ගලික රෝහලක මාසයක් පමණ ගතකරන රෝගියකුගේ අවසන් බිල සෑදීමට දවසක් පමණ ගතවේ. මරණාසන්න රෝගියෙක් පෞද්ගලික රෝහලක සතියක් තැබුවොත් ස්ථිර වශයෙන්ම බිල රුපියල් මිලියනය ඉක්මවන්නේය. මීට අමතරව ඇතැම් පුද්ගලික රෝහල් විවිධ ජාවාරම් කරති. මෙයට කලකට පෙර බොරැල්ල පැත්තේ කිසියම් පුද්ගලික රෝහලක වකුගඩු විකුණන බවට ආරංචියක් ප්‍රසිද්ධ විය. ඉහත සඳහන් පූර්විකාව අප විසින් ලියන ලද්දේ කිසියම් නිමිත්තක් සලකාය. එම නිමිත්ත මෙසේය; කොළඹ ප්‍රධාන දිසා අධිකරණය මීට දින දෙකකට පමණ පෙර පෞද්ගලික රෝහලකට සහ එහිදී සැත්කමක් කළ විශේෂඥ වෛද්‍යවරයකුට රුපියල් තිස් ලක්‍ෂයක වන්දියක් නියම කළේය. එම වෛද්‍යවරයා අදාළ රෝහලේදී නොසැලකිලිමත් ලෙස සිසේරියන් සැත්කමක් කළ බවට රෝගී කාන්තාවක් පැමිණිලි කළාය. මේ නඩුව විභාග කළ ගරු ප්‍රධාන දිසා අධිකරණය අදාළ කාන්තාවට රුපියල් තිස් ලක්‍ෂයක වන්දියක් ගෙවන්නැයි රෝහලට සහ දොස්තරට නියම කළේය. විශේෂඥ වෛද්‍යවරු හැමෝම එක හා සමාන නොවෙති. ඇතැම් විශේෂඥ වෛද්‍යවරු බලහත්කාරයෙන් රෝගීන් පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කරති. ඊළඟට එම රෝගියා රෝහලේ ඉන්නාතාක් කල් වෝඩ් රවුන්ඩ් යමින් පරීක්‍ෂා කළ බව කියමින් ඔව්හු සුවිශාල ටිකට් එකක් රෝගියාගෙන් කඩා ගනිති. ඇතැම් වෛද්‍යවරයෙක් රෝගියකු බැලීම සඳහා එක ගමන් වාරයක් සඳහා රුපියල් තිස්දහසක් අය කරයි. තවත් අයෙක් රුපියල් පනස් දහසක් ගනී. සමහරවිට එම වෛද්‍යවරයා එන්නේ රෝගීන් දිහා බැලීමට පමණක් නොවේ. ඔහුගේ නිර්දේශය මත රෝහලට ඇතුළත් කෙරුණු ලෙඩ්ඩු 10 ක් හෝ 12ක් එම රෝහලේ සිටිති. මේ නිසා එක් වතාවකට රෝගීන් පරීක්‍ෂා කිරීමට යැයි කියා වෛද්‍යතුමා රුපියල් තුන් ලක්‍ෂයක් පමණ එකතු කර ගනී. සාමාන්‍යයෙන් මෙවැනි දොස්තරලා දවසකට තුන්පාරක් ලෙඩුන් බැලීමට එති. ලක්‍ෂ තුනේ ඒවා තුනක් යනු ලක්‍ෂ 9කි. පෞද්ගලික රෝහල් හෝ ඒවායේ වැඩ කරන දොස්තරලා නියාමනය කිරීම සඳහා කිසිදු ආණ්ඩුවක් පියවර ගන්නේ නැත. දොස්තරලා තරහ කර ගැනීමට හැම ආණ්ඩුවක්ම බියය. අනෙක හැම ආණ්ඩුවකම ලොක්කන් යන්නේ ද පෞද්ගලික රෝහල්වලටය. රෝහල් ගාස්තු සහ වෛද්‍ය ගාස්තු නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම කිසිදු ආණ්ඩුවක් කර නැත. ඒ නිසා පෞද්ගලික රෝහලකින් අසාධාරණයක් වූ විට උසාවි යෑම හැර වෙන කිසිදු විකල්පයක් ලෙඩාට නැත.
ලංකාවේ තිබෙන පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය සේවා සැපයුම් ආයතන ගණන පන්සීය ඉක්මවන බව අපගේ වැටහීම වේ. මේවා අතරින් රෝහල් 20ක් පමණ තරු පහේ හෝටල් හා සමානය. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ හැටියට ආණ්ඩුවේ රෝහල් 555ක් මේ රටේ තිබේ. ලංකාවේ ජනගහනය දෙකෝටි විසි ලක්‍ෂයකි. ජනගහනයේ ප්‍රමාණයට සාපේක්‍ෂව ගත් කල රජයේ රෝහල් 555ක් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. රජයේ රෝහලකට ගියවිට ඇඳන් උඩද, ඇඳන් යට ද, මහපොළොවේ ද, රෝහල් කොරිඩෝවල ද, බංකු උඩද, බංකු යට ද කොට තාප්ප මතද රෝගීන් සිටින අයුරු අපට දැකගත හැකිය. මෙයින් හැඟී යන්නේ මේ රටේ රෝගී සෞඛ්‍යයට නිසි ප්‍රතිකාර ලබාදීමට කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයකුට නොහැකි වූ බවය. අපේ රටේ රාජ්‍ය අංශයේ මගී ප්‍රවාහනය අක්‍රීය වූ විට ප්‍රයිවට් බස්කාරයෝ එතැනට රිංගා ගත්හ. අපේ රටේ සමුපකාර ක්‍රමය කඩාවැටුණු කල්හි සුපර් මාර්කට් සංස්කෘතිය එතැනට ආදේශ විය. අපේ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අබලන් වූ නිසා පෞද්ගලික රෝහල් මුදලාලිලාට තැන ලැබිණ. මේ රටේ ඇතැම් පෞද්ගලික රෝහල් සහ ඇතැම් ප්‍රයිවට් බස් අතර සමානකමක් ඇත. ඇතැම් පෞද්ගලික රෝහල් විශාල ගාස්තු අය කළ ද රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දෙන්නේ ද නැත. ඇතැම් ප්‍රයිවට් බස් විශාල මුදලක් අය කළාට ජනතාවට පහසු ගමන් වාරයක් ලබා දෙන්නේ නැත. මේවා වැඩිපුර නියාමනය කරන්නට ගියහොත් කේස් ෆයිල් වෙයි. ප්‍රයිවට් බස්කාරයන්ට වැඩිපුර පාට් දමන්නට ගියොත් ඔව්හු වර්ජනය කරති. ඒ අනුව ප්‍රයිවට් බස්කාරයන්ට උවමනා ලෙස හැසිරෙන්නට ආණ්ඩුවටත්, මගීන්ටත් සිදුවී තිබේ. ඒ නිසා මෙහි මුල සඳහන් පෞද්ගලික රෝහලට සහ දොස්තරට ගරු අධිකරණය නියම කළ රුපියල් තිස් ලක්‍ෂයේ දඩය වැනි දැඩි දඩ මුදල් පෞද්ගලික අංශය අතට පත්ව තිබෙන සෑම රජයේ සේවාවක් වෙනුවෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. රුපියල් තිස් ලක්‍ෂයේ දඩය කෑ රෝහලේ නමත් විශේෂඥ වෛද්‍යතුමාගේ නමත් අපි දනිමු. එහෙත් එය නැවත නැවතත් පළ කිරීමෙන් අනවශ්‍ය ආරවුල් ඇති විය හැකි බැවින් අපි මෙතැනින් නවතිමු.