යතුරුපැදිකරු එතැනම මරුට – ත්‍රිරෝද රථ රියැදුරුට බරපතළ තුවාල

29

බස් රියැදුරු අත්අඩංගුවට
රැඹෑවේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටීමෙන් මාරක අනතුරක්


අනුරාධපුර – වවුනියා ප්‍රධාන මාර්ගයේ රැඹෑව නගරයේදී ඊයේ(05දා) උදෑසන යතුරු පැදියක්, බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙකට ගැටී මාරක රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් යතුරුපැදිකරු වූ ඒ 9 පාර, රැඹෑව පදිංචි වයස අවුරුදු 75 ක තිදෙරු පියෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇත. මැදවච්චිය, ඉකිරිගොල්ලෑව පදිංචිව සිටි ත්‍රී රෝද රථයේ රියැදුරු අනතුරින් බරපතල තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රදේශවාසීන් විසින් රැඹෑව රෝහල වෙත ගෙන ගොස් ඇත. අනතුරුව බරපතල තුවාල ලබා සිටි එම පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

එම පුද්ගලයා අනුරුධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශ පැවැසූහ. ඔහුගේ තත්ත්වය බරපතල බවද එහි ප්‍රකාශකයෙකු පැවසීය.

කොළඹ සිට වවුනියාව බලා පැමිණි පුද්ගලික බස් රථයක් අධික වේගයෙන් නගර සීමාවේද ධාවනය කර ඇත. ඒ දෙසටම ඉදිරියෙන් ගමන් ගත් යතුරු පැදියේ මෙම බස් රථය ගැටී ඇති අතර බස් රථය යතුරු පැදිකරු බේරාගැනීමේ අරමුණින් ප්‍රධාන මාර්ගයේ දකුණු පසට හරවා ඇත. එහිදී ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. මිහින්තලය පොලිසිය විසින් බස් රථ රියැදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණද පොලිසිය සිදු කරයි.
මැදවච්චිය-ගයාන්


advertistmentadvertistment