යුද හමුදා සෙබළෙක් හදිසි හෘදයාබාධයකින් මාලි රාජ්‍යයේදී මියයයි

130

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරීවල නිරතව සිටි ශ්‍රී ලාංකික යුද හමුදා නිලධාරිවරයකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය.

අනුරාධපුර , විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක දෙදරු පියකු වන , ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතා ඉකුත් 11 වැනි දින පස්වරු 01.56 ට හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් අනතුරුව මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන් වන මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 14ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල්වරයා 2023 අගෝස්තු මස 17 වැනි දින මාලි රාජ්‍යයේ සිය රාජකාරී නිමා කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම්ප්‍රදායන්ට අනුකූලව, මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එම මූලස්ථානයේ දී 16 වැනි දින පෙරවරු 09.00ට මේ පිළිබඳව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබේ.

මෙසේ මිය ගොස් ඇති ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතාගේ දේහය 22 වැනි දින සවස 06.00ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත අතර , ඉන්පසුව ඒ පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී පැවැත්වීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment