යාපනයේ ගිය ජනපතිට විරෝධය පෑ 3ක් අත්අඩංගුවට

646

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයට පැමිණෙන අවස්ථාවේදී මහා මාර්ගයේ සිට විරෝධතාවයක් දැක්වූ පිරිසෙන් තුන්දෙනකු යාපනය පොලිසිය විසින් ඊයේ (4 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස විරෝධතාවක් පැවැත්වෙන බවට තොරතුරු ලැබීමත් සමගම යාපනය පොලිසිය එම විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර එම නියෝගය නොතකා පොලිසියට බාධා කරමින් විරෝධතාව දැක්වූ පිරිසෙන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා බලන සංගමයේ පිරිස ඇතුළු තවත් මහජන සංවිධාන කීපයක පිරිස මේ අන්දමට විරෝධතාවක නිරත වූහ.

යාපනය දිසාපති කාර්යාලයට පිවිසෙන අතුරු මාර්ගයක කෙලවරක සිට මෙම විරෝධතාවයක නිරත වී තිබේ. උතුරේ ඉඩම් වහා නිදහස් කරන්න, යුද සිරකරුවන් නිදහස් කරන්න, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන්න යනුවෙන් සටන් පාඨ කියමින් ඔවුහූ විරෝධතාවය දැක් වූහ.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය නිමිත්තෙන් යාපනයේ ආරක්‍ෂාව දැඩි කොට තිබූ අතර මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනය හා වවුනියාව යන ප්‍රදේශවල දින හතරක කාලයක් රැඳී සිටිමින් විවිධ සංවර්ධන යෝජනා ක්‍රම රැසක් දියත් කිරීමට නියමිතය.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment