පසුගිය සතිය අපේ රටේ දේශපාලන කරළියේ තවත් විශේෂ සතියක් ලෙස සනිටුහන් විය. ඊට එක් හේතුවක් වූයේ වත්මන් පුනරුද ආණ්ඩුවේ පළමුවැනි ජාතික නිදහස් දිනය පසුගිය හතර වැනිදාට යෙදී තිබීමයි. ජාතික නිදහස් දිනය පසුබිමේ අපේ රටේ සිදු වූ දේශපාලන සංසිද්ධීන් බොහෝය. පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක්ද වූ බැවින් එම සංසිද්ධීන්වලට වැඩි වටිනාකමක් ලැබී තිබීම දැක ගත හැකි විය.
මේ නිදහස් සතිය ආරම්භ වන්නට පෙර සති අන්තයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ කාරණා කීපයක්ම වෙනුවෙන් උතුරුකරය බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා යාපනයේ වැඩ කටයුතු ආරම්භ කළේ පළාත් පාලන ආයතන ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි. යාපනයේ ඒ වන විට පරිපාලන ප්‍රශ්න හා ගැටලු රාශියක් පැන නැගී තිබිණි. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්, දිසාපතිවරු ඇතුළු රජයේ නිලධාරීන් ආරක්ෂක ප්‍රධානීන් රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ. ජනාධිපතිවරයාගේ මෙම රැස්වීම් කටයුතු සංවිධානය කර තිබුණේ රාමලිංගම් චන්ද්‍රසේකරන් ඇමැතිවරයාය.
මෙම සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මාවෙයි සේනාධිරාජාගේ අවමඟුලට සහභාගි වීම සඳහා යාපනයේ පිහිටි ඔහුගේ නිවසට ද ගියේය. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුගේ අවමංගල්‍යෝත්සවයක් සඳහා මේ රටේ ජනාධිපතිවරයකු සහභාගි වූ විරල සිද්ධියක් ලෙස එම අවස්ථාව උතුරේ ජනතාව අතර කැපී පෙනුණු බව කිව යුතුය.
ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික්කය තුළ මහා ජනරැලි දෙකක් සංවිධානය කර තිබිණ. මහජන රැලි යයි කීවාට ඒවා තෝරාගත් පාක්ෂිකයන් විෂයෙහි පමණක් පැවැත්වූ ලොකු රැස්වීම් ලෙස සංවිධානය කර තිබිණි. එකක් යාපනය නගරයේ පැවැති අතර අවසන් රැස්වීම හවස චාවකච්චේරි දුර්ගා අම්මාන් කෝවිල් භූමියේ සංවිධානය කර තිබිණි. ඒ රැස්වීම කැපී පෙනුනේ ජනාධිපතිවරයා ජනතාව සමග වඩාත් සමීපව, ඔවුන් හා කතාබස් කරමින් ඔවුන්ගෙන් ප්‍රශ්න විමසමින් උත්තර ලබා ගනිමින් කරන ලද සාකච්ඡාවක් ලෙසයි. තමන් යාපනයේ තිබෙන ජනාධිපති මන්දිරය ප්‍රයෝජනයට නොගෙන එය පොදුජන යහපත පිණිස වන කටයුත්තකට යොදවන බව ඔහු කීවේ මහජනතාවගෙන් ද ඒ පිළිබඳ අදහස් ලබා ගනිමිනි. එබඳු කාරණා රැසක් නිසා ජනාධිපතිවරයාගේ එම කතාව උතුරුකරයේ දෙමළ ජනතාවගේ ආශ්වාදය පිණිස හේතු වූවාක් විය.
උතුරේ ජනතාව සමග ජනපති කළ සංවාදය
පහුවදා, එනම් ඉරිදා අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව රැස්වීමක් පැවැත්වූ අතර මුලින්ම ජනාධිපතිවරයා සහභාගි වූයේ තම ගම්පළාතට ඉතා ආසන්න ගල්ගමුව නගරයේ පොළ භූමිය තුළ පැවැත්වූ රැස්වීමටයි. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ඇතුළු මහජන නියෝජිතයෝ කීපදෙනෙක්ද එහි සිටියහ. පසුව කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ රැස්වීමකටද ජනාධිපතිවරයා ගියේය. අවසන් රැස්වීම කුරුණෑගල සත්‍යවාදී පිටියේ පවත්වන විට රාත්‍රී හත පමණ වී තිබීම විශේෂත්වයකි. එම සති අන්තය ජනාධිපතිවරයාට අවිවේකී දීර්ඝ සති අන්තයක් ලෙස කැපී පෙනුනාට සැකයක් නැත. එහෙත් ඒවා ප්‍රතිඵලදායක සාකච්ඡාවන් හා රැස්වීම් ලෙස වාර්තා විය.
සතිඅන්තයේ දීර්ඝ සංචාරයෙන් පසු යළි සුපුරුදු පරිදි වැඩ රාජකාරී පටන් ගත් ජනාධිපතිවරයාට 2025 වසරේ අයවැය කටයුතුවලට වෙහෙස මහන්සි වන්නට සිදුවිය. හාල් ප්‍රශ්න, වී ප්‍රශ්නවල කෙළවරක් නොවීය. පාලන මිලක් යටතේ වී මිලදී ගැනීම මෙන්ම පාලන පහසු මිලක් යටතේ ජනතාවට සහල් නිකුත් කිරීම යන කාරණා දෙක එකම කාසියේ දෙපැත්තක් මෙන් රජයට බරපතළ අභියෝග ගෙනදුන් ප්‍රශ්නයක් විය. මේ පිළිබඳ ආණ්ඩුව ඇතුලේත් විවිධ සාකච්ඡා නොතිබුණාම නොවේ. විපක්ෂයේ සිටින කාලයේ නාමල් කරුණාරත්නලා කුඹුරුවලට බසිමින් ගොවියා සමග උද්ඝෝෂණය කරමින් අමු ගොයම් කමින් එවක පැවැති රජයන්ට එරෙහිව සටන් වදින්නට වූයේ වී ගොවියාට වාසියක් අත්පත් කර දීම සඳහාය. ඔවුන්ගේ වීවලට ඉතා ඉහළ වටිනාකමක් ලබාදීම සඳහාය.
එහෙත් ආණ්ඩු බලය භාරගෙන කටයුතු කරන විට ආණ්ඩුවේ දේශපාලනඥයන්ට එක් පැත්තක් පිළිබඳ පමණක් බලා කටයුතු කරන්නට නොහැකි වූහ. මිලදී ගන්නා වී මිල ඉහළ අගයක් වන විට ඒ වීවලින් සහල් බලාපොරොත්තු වන පොදු පාරිභෝගිකයාට පහසු සාධාරණ මිලකට සහල් ලබා දීමට හැකිදැයි විමසා බලන්නටත් දැන් ඔවුන්ට සිදුව තිබේ. අද ඔවුන්ට සිදුව ඇත්තේ එක් පැත්තකට වාසි වන ලෙස ක්‍රියා කිරීමට නොව, දෙපැත්තටම අවාසියක් නොවන පරිදි මැද තැනකට පැමිණ ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ කෙසේද කියා අත්හදා බලන්නටය.
පරණ දකුණ යටට නාමල් එනවා උඩට
ඒ අතරතුර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කර පොදු ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමේ මෙහෙයුම ඉදිරියට සාර්ථක ලෙස ගෙනයෑමට තවත් දේශපාලනඥයෝ පිරිසක් උත්සාහ දරමින් සිටියහ. එහෙත් ඒ පිළිබඳ විශ්වාසය කඩ වී මෙහෙයුමෙන් ඈත් වූ කණ්ඩායම් කිහිපයක්ද පසුගිය සතියේත් අපට දැක ගත හැකි වූහ. කණ්ඩායමක් වූයේ ආශු මාරසිංහ, අකිල, නවීන් ඇතුළු සීමිත කණ්ඩායමක් වටේ ගොනුවී සිටින උගතුන් කිහිපදෙනාගේ කණ්ඩායමයි. ඔවුන් දැන් සිටින්නේ එජාපය හා සජබය එකතු කොට විපක්ෂය ශක්තිමත් කළ යුතුය යන ස්ථාවරයේ නොවේ. රනිල් ළඟ සාගල සිටින තාක් කල්, සජිත් පසුපස ලක්ෂ්මන් ෆොන්සේකා සිටින තාක් කල් ඔවුන් දෙදෙනා ඒ බලවේග දෙකට නතුවී සිටින තාක් කල් රනිල් සජිත් සමගි නොවේ යැයි ඔවුහු කියති. එසේ නම් රනිල්ගේ හා සජිත්ගේ එකමුතුවෙන් විපක්ෂය බලවත් නොවේ.
දේශපාලනයේ දක්ෂිණාංශික කඳවුර මේ අයුරින් ගරා වැටෙද්දී මැද මාවතේ යන නාමල් ඉදිරියේදී වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි ආශු ඇතුළු කණ්ඩායම විශ්වාස කරයි. ඔහු තවදුරටත් මෙසේ කියයි.
“මේ රටේ දේශපාලනය ඉස්සරහට වෙනස් කරන්නේ සුහුරු තාක්ෂණයෙන් සන්නද්ධ වයස අවුරුදු 15ත් 30ත් අතර ඉන්න පරපුර. දැනටමත් ඒ කණ්ඩායම මේ රටේ ලක්ෂ පනහක් ඉන්නවා. රනිල්ගෙන් සජිත්ගෙන් අන්න ඒ පරපුරට ආමන්ත්‍රණය කිරීමේ අභිලාෂය අතහැරෙන තරමට ඒ අවස්ථාව උකහා ගන්නේ නාමල්. මොකද අද නාමල් විතරයි තාක්ෂණය ගැන කතා කරන්නේ. ඒ අයි තාක්ෂණය, කිප්ටො කරන්සි, සුහුරු හැකියාව ගැන නාමල් කතා කරනවා.
මෙන්න මේ අවස්ථාව අපි අර නොගත්තොත් සාම්ප්‍රදායික දකුණු කඳවුරේ දේශපාලනය මේ රටින් අතුගෑවිලා යන දවස වැඩි දිනක් ඈත නෑ. මොකද ලංකාව ඉදිරි අවුරුදු පහෙන් පස්සේ යන්නේ AI driven government පැත්තට. ඒක වෙනස් කරන්න බෑ.
අපි මේ උත්සාහ කරන්නේ ඒ අවස්ථාව රනිල්ට අරගෙන දෙන්න. හැබැයි ඒගොල්ලෝ ඒක ගන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ…” ආශු එසේ කියා විස්තර කළේ අපේ රටේ දේශපාලන අනාගතය ගැනයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් තලතා අතුකෝරාල, සමගි ජන බලවේගය පැත්තෙන් රංජිත් මද්දුමබණ්ඩාර සාකච්ඡාව සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා මහන්සියක් ගන්නා බව පමණක් පෙනෙන්නට තිබිණි.
උදයගේ හෙළිදරව්ව කොයිබින් කොතැනටද
ඒ අතර පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයින් රැසක් අහඹු ලෙස ඒකරාශී කළ අවස්ථාවක් දැකගත හැකි විය. ඒ අවස්ථාව උදා වූයේ කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදීය. උත්සවය එහි උප උපකුලපති බෝදාගම චන්දිම නාහිමියන්ගේ හැට අටවන ජන්ම දිනය නිමිත්තෙන් පැවති අතර උන්වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ දෙකක් එළිදැක්වීම ද මෙම අවස්ථාවේ සිදුවිය. අස්ගිරි මල්වතු විහාරවල අනුනායක හිමියන් වහන්සේලාද රාමඤ්ඤ අමරපුර නිකායන්වල මහනායක හිමියන් වහන්සේලා ද මෙම උත්සවයට වැඩම කර සිටියහ.
මෙම උත්සවයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් චන්දන ක්‍රිෂාන්ත ඇමැතිවරයා සහභාගි වූ අතර කරු ජයසූරිය, මෛත්‍රිපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අනුර යාපා, චම්පික රණවක, සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා ඇතුළු දේශපාලනඥයෝ සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන් හා අසංග තිලකරත්න මෙහිදී දේශන පවත්වනු ලැබූහ.
ඉහත කී දේශපාලනඥයන්ට එකට සහභාගී වී කතා කරන්නට මෙම අවස්ථාව කදිම අවස්ථාවක් විය. සියල්ලෝම එක්ව කතාබහ කරේ මේ දැන් සිදුවෙමින් පවතින සිද්ධීන් පිළිබඳවය.
අනුර යාපාට මුහුණපාන්නට සිදුවූ අත්දැකීම තවමත් බොහෝ දෙනකුට ගැටලුවකි. විමල් වීරවංශ මේ දැන් සිදුවෙමින් පවතින දේශපාලන කරුණු ගැන කතා කරද්දි උදය ගම්මන්පිල සිටියේ ඔරලෝසුවෙන් වෙලාව බල බලාය.
මොකද ඔබතුමා මෙච්චර කලබලෙන්…
ඔව්… කලබලෙන් තමයි. මේකට එන්නම ඕන හින්දා ආවේ. පොත පිට කරපු ගමන් මම පොත් දෙක අරගෙන යනවා. උදය කිවුවේ තම හිතවතුන්ටය.
මොකක්ද කරන්න යන්නේ.
ආයෙත් හෙළිදරව්වක් කරන්න යන්නේ.
අර ඉමාම් වාර්තාව වගේ…?
ඒ වගේ දෙයක් තමයි. කලින් කිව්වම අගයක් නෑනේ… කියමින් උදය පිටව ගියේය.
එසේ මානෙල්වත්ත පන්සලෙන් සමු ගත් උදය ගම්මන්පිල පිටකෝට්ටේ තම පක්ෂ මූලස්ථානයට පැමිණ මාධ්‍ය ඉදිරියේ එම හෙළිදරව්ව කරනු ලැබීය.
හෙළිදරව්වෙන් ඔහු කියුවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගෝඨාභය හා හිටපු බුද්ධි අංශ නායක සුරේස් සලේ යයි කියමින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුවේ සැලසුමක් තිබෙන බවයි.
නිදහස ගාම්භීරව
පසුගිය සතියේ පාර්ලිමේන්තුව ද පැවැත්විණ. අඟහරුවාදා එනම් පෙබරවාරි හතර වැනිදා නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ පැවැත්වුණේ මහා වියදමක් නැති චාම්, එහෙත් ගරු ගාම්භීර උළෙලක් ලෙසයි. ඒ පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙක් රජයට ස්තුති කළේ වියදම් අඩුකර තිබීම සම්බන්ධවයි.
බදාදා, බ්‍රහස්පතින්දා දිනවල පාර්ලිමේන්තුව පැවැත්විණි. දින ගණනාවක් විවේක ගත් මැති ඇමැතිවරු හා පාර්ලිමේන්තුවට පැමිණ විවිධ මාතෘකා ඔස්සේ කතාබස් කරන්නට පටන් ගත්හ. ඔවුන්ට කතා බහ කරන්නට ද විවිධ මාතෘකා සමාජයේ තිබිණි.
පාර්ලිමේන්තුවේ සභා ගැබද අතිශයින් උණුසුම් විය. විපක්ෂයට තිබෙන ලොකුම ගැටලුවක් වූයේ පාර්ලිමේන්තුවේ ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද ආණ්ඩුව විසින් මහා පරිමාණයෙන් කපා දමන්නට උත්සාහ කර තිබීමයි.
විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාරක සභාවල නියෝජනය විපක්ෂයට අඩුකර තිබීම ගැන ලොකු විවේචනයක් මන්ත්‍රීවරු අතර පැවතිණි..
නීතිපති කෙරෙහිත් විශ්වාසය කඩවෙයිද
පසුගිය විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ ගැන සාකච්ඡා කරමින් පාර්ලිමේන්තු ආලින්දයේ රැඳී සිටියහ.
“නීතිපතිතුමාටත් ටිකට් එක ඇදෙයි වගේ. නීතිපති ආණ්ඩුව කියන දේ අහන්නේ නෑ කියලා ආණ්ඩු පක්ෂය ඇතුලේ ලොකු විරෝධයක් තියෙනවයි කියලයි කියන්නේ… තරුණ මන්ත්‍රීවරයෙක් කීවේය.
“නීතිපති කියන්නේ රජයේ නිලධාරියෙක් බව ඇත්ත. හැබැයි එයා ස්වාධීනව කටයුතු කරන්න ඕන. නීතිය පිළිබඳ ආණ්ඩුවට ස්වාධීන උපදෙස් දෙන්න ඕන. ඒකයි රාජකාරිය.
“ආණ්ඩුවට ඕන ඕන විදිහට ඉක්මනින් නඩු ටික දාලා දෙන්නේ නෑ කියලලු මෙයාට විරුද්ධව තියෙන චෝදනාව.
“ඔව් ඊයේ පෙරේදා… ලසන්ත ඝාතන සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරාය කියන චෝදනාවෙන් ඇතුළට අරගෙන ඉන්න තුන්දෙනාව නිදහස් කරන්න පුළුවන් කියලා නීතිපති කියලා. ඒකයි වරද…
“මල්ලිලා ඕක ඔය විදියට හෑල්ලුවෙන් විස්තර කරන්න එපා. ඕක බරපතළ කාරණාවක්. නීතිපති එහෙම එකක් කියලා නෑ. මේ ගොල්ලන්ව මෙච්චර කාලයක් තියාගෙන ඉඳීම ගැනයි එතුමා කියලා තියෙන්නේ. ඒගොල්ලන්ව තවදුරටත් තබා ගැනීමෙන් ප්‍රයෝජනයක් නෑ කියල තමයි ඒ ලියුමේ සඳහන් වෙන්නේ. අනිත් එක එයා සී.අයි. ඩියට කියලා තියෙනවා ඒ ගැන මහෙස්ත්‍රාත්ට දන්වන්න කියලා. එහෙම නැතුව නිදහස් කරන්න තීන්දුවක් දීලා නෑ. ඒක මහෙස්ත්‍රාත්තුමාගේ තීන්දුවට යටත් කාරණාවක්…
මේ කතාබස් කරන ස්ථානයේ දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ නීතිඥයෝ ද ගණනාවක්ම සිටියහ.
හැබැයි ඉතින් ආණ්ඩුවට මේ වැඩේට කේන්ති ගිහින්. ජනාධිපති කැඳවලා තියෙනවා නීතිපතිව හම්බවෙන්න එන්න කියලා. නලින්ද ජයතිස්සත් කිව්වනේ නීතිපති ගැන බලාගන්න ඕනේ කියලා.
“ඔව් ඉතින්… මං දන්න විදිහට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතෙන්ට වඩා වෙනත් තැනක. ඉහළින් නීතිපතිතුමාට කියලා තියෙනවා ෆයිල් ගණනාවකට නඩු දාන්න කියලා. හැබැයි එතුමා කියලා තියෙනවා ඒවා නඩු දාන්න තරම් ප්‍රබල සාක්ෂි සාධක නැති කාරණා නිසා නඩු දැමීමෙන් ප්‍රයෝජනයක් නෑ කියලා.
පාරින්ද රණසිංහ කියන්නේ එයාගේ පියා වගේම වැදගත්කමට නම්බු පිට රාජකාරිය ඉටු කරන නීතිවේදියෙක්… මං හිතන්නේ එහෙම අය තමයි අපේ රටට අවශ්‍ය.. ඒ කිව්වේත් නීතිවේදියෙක්.
ඒ උනාට ඉතින් මේ ආණ්ඩුවට එපා නම් මොකද කරන්නේ. මට ආරංචියි එයාව අයින් කරන්න සමහරු යෝජනා කරනවා කියලා.
නීතිපති පත්කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. ආවට ගියාට එහෙම තනතුරක් ජනාධිපතිටවත් වෙනස් කරන්න බෑ.
“එහෙම උනාට ඉම්පීච්මන්ට් එකක් ගේන්න පුළුවන්නේ..
“ඔව් එහෙම බැරි නෑ… එහෙම දේවල් මේ රටේ වෙලා තියෙනවා. එහෙම කියලා ඉල්ලා අස්වෙන්න කියලා දන්නනවා… මං ඕන්නං උදාහරණයක් කියන්නම් මෑත කාලීන.
නීතිවේදීන් බොහෝ දෙනෙක් මෙතන සිටිමින් මේ පිළිබඳ කතාබස් කළත් ඒ කිසිවක අවසානයක් නොවීය.
නලින්දගේ හෙළිදරව්ව
ඒ අතරතුර පසුගිය සතියේ දේශපාලන කරළියේ වැඩි දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ නලින්ද ජයතිස්ස ඇමැතිවරයාගේ හෙළිදරව්වක් ගැනයි. පහුගිය අරගල සමයේ අරගලකරුවන් විසින් විනාශ කර දැමුවා යැයි කියන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට ඔවුන් ලබාගෙන ඇති වන්දි මුදල් ගැන සවිස්තරාත්මක හෙළිදරව්වක් ඔහු කරනු ලැබීය.
වන්දි ලබා ගත් දේපළ 43කි. වන්දි ලබා ගත් පහුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවර ගණන 43දෙනෙකි. අඩුම වන්දි මුදල ලක්ෂ පහ ඉක්මවූ අතර එහි වැඩිම වන්දි මුදල කෝටි නමය හමාරකට මදක් වැඩිය. සියලුම වන්දිවල මුළු එකතුව රුපියල් කෝටි 122 කට වැඩිය.
මේ හෙළිදරව්ව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉදිරියේ නම් කියවමින් ඔවුන් පිළිබඳ වෙනත් විස්තර ද හාස්‍යයට ලක් කරමින් නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ඉදිරිපත් කළ ආකාරය ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විවිධ විවේචන මතුවිය. කතා බස් ඇතිවිය.
මෙම හෙළිදරව්ව නලින්ද කරනු ලැබුවේ බ්‍රහස්පතින්දාය. බ්‍රහස්පතින්දා හවස වන විට සමාජ මාධ්‍යවල මාතෘකාව වූයේ ද මෙම ලැයිස්තුවයි.
එදින හවස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද තැන් තැන්වල මේ ගැන කතාබහ කරන්නට පටන් ගත්හ.
“හරි හරි ඔය මිනිස්සු වන්දි ගත්තයි කියමුකෝ. ඔය මිනිස්සුන්ට ඔය වන්දි ගන්න පරිසරය හදලා දුන්නේ කවුද. ඔය ගෙවල් ටික ඔය විදිහට ගිනි තියලා විනාශ කරේ නැත්තං අද ඔය වන්දි ගැන කතාවක් නෑනේ…” එසේ කීවේ වන්දිවලට කිසිම සම්බන්ධයක් නැති විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි.
නෑ ඒ උනාට ඒ තක්සේරුව නම් ඉතා ඉහළයි. බැලූ බැල්මටම පේනවනේ. තමන්ගේ ගෙවල් ගැන කෝටි ගණනින් තක්සේරු කරගෙන තමන්ම තීරණය කරලා වන්දි ගැනීම හරිද වැරදිද කියලා හෘදසාක්ෂියෙන් විමසන්න ඕන… විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.
එහෙම හිතපු හිතපු විදිහට තක්සේරු කරගන්න බෑ. ඕකට තමයි තක්සේරු දෙපාර්තමේන්තුවක් ඉන්නේ.
හරියට හරි… එහෙනම් ඕව තක්සේරු කරල තියෙන්නෙත් අර මහින්ද මහත්තයාගේ නිල නිවස වර්ග අඩි 35,000ක් තියෙනවා කියලා තක්සේරු කරපු අයම වෙන්න ඇති… කියමින් මන්ත්‍රීවරු මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්හ.
මං දැක්කා ෆේස්බුක් එකේ එකෙක් ලියලා තියෙනවා මොවුන් ටික ගිහිල්ලා ගෝල්ෆේස් එකටත් ගහලා ඊට පස්සේ තම තමන්ගේම ගෙවල් ගිනි තියාගෙන ඊට පස්සේ වන්දිත් ගත්තා කියලා.
අපිත් දැක්කනේ ඒ දවස්වල වීඩියෝ ෂෙයා වෙනවා. අර නිමල් ලංසට අපි කැමති නෑ කියමු. හැබැයි අපි වීඩියෝවල දැක්කනේ අරගල වීරයෝ මිනිහගෙ ගෙදරට පැනලා එයාගේ ගෙදර බඩු ටික අරන් ගිහිල්ලා කොල්ල කාලා ගෙදරට ගිනිතියපු හැටි. අනිත් එක ඇඳේ තිබුණු බෙඩ් ෂීට් එකට අල්මාරියේ තියෙන රෙදි ටික දාලා පොට්ටනි බැඳගෙනයි ඔය අරගලකාරයෝ ගෙවල් කොල්ල කෑවේ. නෝනගෙ යට ඇඳුම් ටිකත් මුං අරං ගියා කියලයි ලන්සා කීවේ.
මං හිතන්නේ ඕවා දැන් නලින්දට අමතකයි… සිද්ධ උනේ කොහොමද කියලා.
“එදා ඒ ගිනි තියාගෙන ආපු හැටියට අර ඇමැතිවරු දෙන්නා අන්තිමට කතා කරේ පාර්ලිමේන්තුව වටලන්න. ඒක එදා එහෙම උනානම් මුං ඇවිල්ලා මේකට ගිනි තියලා. එහෙමනං නලින්දට ඔය ආඩම්බර කතා කියන්න පාර්ලිමේන්තුවක් ඉතුරු වෙන්නෙත් නෑ…” එසේ කීවේ දයාසිරි මන්ත්‍රීවරයා ය.
බුලිත ප්‍රදීප් කුමාර