රණවිරුවනි රට වෙනුවෙන් අපි ඔබට මෙසේ ආචාර කරමු

112

1983 ජූලි 23 වැනිදා පටන් ගත් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් පරාජය කළ යුද්ධය හරියටම අවසන් වුණේ 2009 මැයි 17 වැනිදා ද නොඑසේ නම් මැයි 18 වැනිදා ද යන්න මතභේදයට තුඩු දී තිබේ. (එහෙත් යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 ජූලි 27 දා උතුරේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් ඝාතනය කිරීම හා රහස් පොලිස් පරීක්‍ෂක ටී. එල්. බී. බස්තියන්පිල්ලේ 1978 එවැනිම පිරිසක් විසින් ඝාතනය කිරීම හරහා මෙරට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉතිහාසය තවත් ඈතට විහිදෙන්නේය.)

කොටි සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රධානියා වූ සෙල්වරාසා පද්මනාදන් 2009 මැයි 17 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. එහි මෙසේ සඳහන් විය. “අපගේ සංග්‍රාමය තිත්ත අවසානයක් කරා යොමුවී තිබේ. එබැවින් අපගේ තුවක්කු නිහඬ කිරීමට අපි තීරණය කළෙමු. අපට ඇති එකම කනගාටුව වන්නේ තවදුරටත් සටන් කිරීමට අපට හැකියාවක් නොමැති වීමත්, මියගිය අපගේ මිනිසුන් පිළිබඳවත්ය.”

ඉහත සඳහන් ඡේදයෙන් හැඟී යන්නේ අපට කලින් කොටි සංවිධානය යුද්ධය අවසන් කළ බවය. ශ්‍රී ලංකාව නිල වශයෙන් යුද්ධය අවසන් බව ප්‍රකාශ කළේ ප්‍රභාකරන්ගේ මළසිරුර හමුවූ 2009 මැයි 18 වැනිදාය. ප්‍රභාකරන් ආර්. පී. ජී. ප්‍රහාරයකින් මියගිය බවත්, ඒ අවස්ථාවේ ඔහු යුද කලාපය හරහා ගමන් කළ වාහනයක සැඟව සිටි බවත්, එම ප්‍රහාරයේ දී මුහුදු කොටින්ගේ නායක කර්නල් සුසෙයි සහ පොට්ටුඅම්මාන් ද මියගිය බව ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය වාර්තා කළාය. පොට්ටුඅම්මාන් යනු මෙලොව පහළ වූ ඉතාම දුෂ්ට මිනිසෙකි. ඔහු 88, 89 අවුරුදුවල මේ රටේ සිටි ඇතැම් පොලිස් ප්‍රධානීන් හා සමානය. එල්.ටී.ටී.ඊ. ගරිල්ලන් විසින් සිංහල සෙබළුන්ට වධ දෙනු බලා ඔහු මහත් සතුටට පත් විය. 1983 ජූලි 23 වැනිදා උතුරු නැඟෙනහිර වෙනම රාජ්‍යයක් කරන ලෙස ඉල්ලමින් ප්‍රභාකරන් සිවිල් යුද්ධයක් පටන් නොගත්තේ නම් අපේ රට මීට වඩා හොඳ ආර්ථික පදනමක සිටීමට ඉඩ තිබුණි. මෙහිදී යුද්ධය සහ සිවිල් යුද්ධය යන නම් දෙකෙහි වෙනස පැහැදිලි කළ යුතුය. යුද්ධයක් යනු නීත්‍යනුකූලව පිහිටුවන ලද රටවල් දෙකක යුද හමුදා අතර ඇති වන සන්නද්ධ අරගලයකි. උදාහරණයක් වශයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වෙලාවේ යුද්ධයක් පවතී. සිවිල් යුද්ධයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් රටක නීත්‍යානුකූල හමුදාවක් ඒ රටේම සිටින කැරළිකාර පිරිසක් සමග පවත්වාගෙන යන සටනකි. උදාහරණයක් වශයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මේ දිනවල පවතින්නේ සිවිල් යුද්ධයකි. හමාස් සංවිධානය ත්‍රස්තවාදී පිරිසක් වන අතර ඊශ්‍රායල් හමුදාව ඊශ්‍රායලය නමැති නීත්‍යනුකූල රටේ පිහිටුවන ලද නීත්‍යනුකූල හමුදාවකි. නීත්‍යනුකූල හමුදා දෙකක් අතර පවතින යුද්ධයක දී යුද නීතිවලට ගරු කරනු ලැබේ. එහෙත් සිවිල් යුද්ධයක දී යුද නීති නැත. එබැවින් සිවිල් යුද්ධය වඩා භයානකය. මේ රටේ පැවැති තිස් අවුරුදු සිවිල් යුද්ධයට ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරු මැදි වූහ. එසේම ඉන්දියාව පැත්තෙන් ඉන්දිරා ගාන්ධි, රජිව් ගාන්ධි, වී. පී. සිං, චන්ද්‍රා ශේකාර්, පී. වී. නරසිංහ රාඕ යනාදීහු මැදිවූහ. මොවුන් අතුරින් ආර්. ප්‍රේමදාස හා රජිව් ගාන්ධි යන දෙදෙනා කොටි සංවිධානය විසින් මරා දමන ලදී. පසු කාලයේ දී රජිව් ගාන්ධි ඝාතනය සිදු කළ කුමන්ත්‍රණකරුවන් පිරිසට රජිව් ගාන්ධිගේ බිරිඳ වූ සෝනියා ගාන්ධි ඇතුළු පවුලේ අය විසින් සමාව දෙන ලදී. එසේ සමාව දීම දේශපාලනයේ භයානක ස්වරූපය වේ. ගාන්ධිවරුන්ට ඉන්දියානු දේශපාලනයේ ඉදිරියට යෑමට නම් තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ සහයෝගය අවශ්‍යය. ගාන්ධි ඝාතනය කළ දෙමළ විත්තිකරුවන්ට සමාව දීමෙන් තමිල්නාඩු දෙමළ ජනතාවගේ හිත දිනා ගැනීමට ගාන්ධිවරු බලාපොරොත්තු වූහ. මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු දේශපාලනයක් වන නිසා වෙනත් දිනකට කල් තබනු ලැබේ. තිස් අවුරුදු ජනවාර්ගික යුද්ධයේ දී මේ රටේ ත්‍රිවිධ හමුදාවේත්, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේත් විශාල පිරිසක් මිය ගියහ. එසේම භික්‍ෂුන් වහන්සේලා ද මායිම් ගම්මානවල විසූ අහිංසක දුප්පත් ජනතාව ද මිය ගියහ. කොටි සංවිධානය බොහෝ විට භික්‍ෂුන් වහන්සේලා හා ගැමි ජනතාව මරණ ලද්දේ කඩු සහ මන්න පිහිවලින් කෙටීමෙනි. මේ පිළිබඳ ප්‍රමුඛ උදාහරණයක් ලෙස අරන්තලාවේ සංඝ සංහාරය දැක්විය හැකිය. මායිම් ගම්මානවල ජනතාව කවදත් ගත කළේ ඉතා දුක්ඛදායක ජීවිතයකි. ඔවුහු වන සතුන්ගේ ප්‍රහාරවලට ලක්වෙමින්, වසංගත රෝගවලට ගොදුරු වෙමින්, නිතරම ජීවිතය සහ මරණය අතර සටනක් කළහ. එසේ සටන් කළ ඒ මිනිස්සු කොටි සංවිධානයේ කඩු සහ මන්න පිහිවලට ගොදුරු වීම ඛේදවාචකයකි. මේ රට ජාතිය ආරක්ෂා කරන අදෘෂ්‍යමාන බලවේග වෙතොත් ඒවා විසින් මේ අහිංසක අසරණයන් ආරක්‍ෂා නොකරන ලද්දේ මන්ද යන කාරණය අපට අදටත් නොතේරේ. මේ තරම් දරුණු කර්මශක්තියක් ලෝකයේ නොපැවතිය යුතුය. වර්ගවාදී යුද්ධය නිසා අංගවිකල බවට පත් වූ සහ සදාකාලික බෙලහීන බවට පත්වූ ජනතාවක් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ග තුනෙහිම සිටිති. ප්‍රභාකරන් යුද ප්‍රකාශ කළේ සිංහලයන්ට එරෙහිව පමණක් නොවේ. මේ රටේ ඒකීයත්වයට පක්‍ෂ වූ සියලු දෙනාම ඔහු විසින් දක්නා ලද්දේ සතුරන් ලෙසය. එල්.ටී.ටී.ඊ.ය සමග යුද්ධයට ගොස් අද රෝද පුටුවල ජීවත් වන හමුදා සෙබළුන් සෑම රණවිරු අනුස්මරණ දිනයකදීම රථ පෙළපාලියකින් රැගෙන යනු ලැබේ. ඒ මිනිස්සු ජනාධිපතිගේ විශේෂ වේදිකාව පසුකරන අතර රෝද පුටුවේම ඉඳගෙන ජනාධිපතිට සෙලියුට් ගසති. ඒ මිනිසුන්ට කවදාවත් කෙළින් සිට ගැනීමට බැරිය. වඩාත්ම නිවැරදි ක්‍රමය වන්නේ ඒ මිනිසුන් දකින විට මේ රටේ සියලුම උසස් නිලධාරීන් නැඟිට ඒ මිනිසුන්ට සෙලියුට් ගැසීමය. යුද්ධය තරම් අමිහිරි දේවල් තවත් ඇත්තේ ඉතා ස්වල්පයකි. මහින්ද රාජපක්‍ෂගෙන් පසු මේ රටේ බලයට පත්වූ සියලුම ජනාධිපතිවරුන් එම පුටුවේ ඉඳ ගත්තේ අපේ රණවිරුවන්ට පිංසිදුවෙන්නට බව සියලු දෙනාම දත යුත්තාහ. ‘ත්‍රස්තවාදය’ට එරෙහිව හැමදාම ‘දිවයින’ සිටියේය. ඒ අපේ මාතෘ භූමිය හා උතුරේ දකුණේ ජනතාව රැක ගන්නටය. ඒ ස්ථාවරයේ අපි හැමදාම සිටිමු.


advertistmentadvertistment