රතුපස්වල නඩුවේ හමුදාවේ 4ම නිදහස්

126

එදා සිද්ධියෙන් පාසල් සිසුන් 2ක් ඇතුළු තිදෙනකු මියගොස් 50ක් තුවාල ලබලා

තුවාල ලැබූවන් අතර පාසල් සිසුහු 10ක්

මෙවැනි සිද්ධි අනුමත කරන්නේ නැහැ නමුත් අධිකරණය තීන්දුව ගතයුත්තේ සාක්‍ෂි මතයි – විනිසුරු මඬුල්ල

තීන්දුවට එරෙහිව අභියාචානා ගොනු කරන ලෙස නීතිපතිතුමාගෙන් ඉල්ලනවා – අගතියටපත් පාර්ශ්වයේ නීතිඥවරු

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරීය රතුපස්වල ප්‍රදේශවාසීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් 45 දෙනකුට වෙඩි තබා හා පහරදී තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර දේශප්‍රිය ගුණවර්ධන, විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ඩී. අරුණගේ සිරිසේන, ජේ.එම්. තිලකරත්න හා ලලිත් ග්‍රේ යන හමුදා නිලධාරීන් සිව්දෙනා සියලුම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (17දා) නියෝග කළහ.

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි, සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව එම තීන්දුව නිකුත් කළහ.

ගම්පහ නැඳුන්ගමුවේ පිහිටි එක්තරා පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත් පිරිසිදු ජලය ලබාදෙන ලෙසත් ඉල්ලමින් ප්‍රදේශවාසීන් 2013.07.27 විරෝධතාවක් ආරම්භ කොට තිබිණි. පුරා දින පහක් තිස්සේ පැවැති එම විරෝධතාව අවසන් කොට 2013.08.01 වැනිදා විසිරයමින් සිටියදී එවකට බ්‍රිගේඩියර්වරයකු ලෙස කටයුතු කළ පළමු වන විත්තිකරුගේ නියෝගය පරිදි යුද හමුදා නිලධාරීන් පිරිසක් විරෝධතාකරුවන් ඉලක්ක කොට වෙඩි තබා පහර දී ඇතැයි පැමිණිල්ලෙන් කියැවිණි. වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තිබූ අතර තවත් පාසල් සිසුන් 10දෙනකු ඇතුළු 50දෙනකු බරපතළ තුවාල ලබා තිබිණි.

රතුපස්වල නඩුවේ හමුදාවේ 4ම නිදහස්

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළ එකී අපරාධ සම්බන්ධයෙන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ විමර්ශන ආරම්භ කළත් පසුකාලීනව විමර්ශන දැඩි ලෙස අඩපනවීම නිසා එතෙක් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන කටයුතුවලින් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාරදීමට පොලිස්පතිවරයා නියෝග කොට තිබිණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, රතුපස්වල පරිසරය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුරේෂ් පෙරේරා, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් අනුව විමර්ශන කටයුතු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝග කොට තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු වූ ශානි අබේසේකර මහතාගේ මඟපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු විමර්ශන කණ්ඩායමක් සිදුකළ විමර්ශන උධෘත සලකා බැලූ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විත්තිකාර හමුදා නිලධාරීන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

යුද හමුදාව විසින් සිදුකළ පරීක්ෂණයක් අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පළමුවන විත්තිකාර බි්‍රගේඩියර්වරයා එකී අපරාධවලට වගකිවයුතු පුද්ගලයකු බවට නම්කර තිබූ පසුබිමක් මත පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා ඇතුළු විමර්ශන කණ්ඩායම විත්තිකාර යුද හමුදා නිලධාරීන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා සාක්ෂිකරුවන් 70දෙනකු නම්කර තිබූ නමුත් ඉන් අඩකගේ හෝ සාක්ෂි අධිකරණය හමුවේ මෙහෙය වීමට පැමිණිල්ල පියවර ගෙන නොතිබිණි. විත්තිකරුවන් සියලු දෙනාම නිදොස්කොට නිදහස් කරමින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිකුත් කළ එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ හා අගතියට පත් පාර්ශ්වයේ නියෝජිතයෝ ඊයේ (17දා) මාධ්‍යයට පැවසූහ.

කහදවිට ආරච්චිලාගේ දොන් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ පරණගම රාහුල්ගෙදර නිලන්ත පුෂ්පකුමාර යන තිදෙනා එලෙස එහිදී වෙඩි ප්‍රහාරවලට ගොදුරුව මියගොස් තිබිණි. පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ කිසිදු චෝදනාවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බව පිටු 242න් සිය තීන්දු ප්‍රකාශය මඟින් විනිසුරු මඬුල්ල පෙන්වා දී තිබිණි.

රතුපස්වල නඩුවේ හමුදාවේ 4ම නිදහස්
විත්තිකරුවන් ඊයේ අධිකරණයට එමින්

එකී සිද්ධියේදී තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවී ඇති බව තම අධිකරණයට පෙනී යන බැවින් එවැනි සිද්ධීන් තම අධිකරණය කිසිසේත්ම අනුමත නොකරන නමුත් තම අධිකරණය තීන්දු තීරණ ලබාදෙනුයේ ඉදිරිපත් වන සාක්ෂි මත පමණක් වන්නේ යැයි විනිසුරු මඬුල්ල එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පෙන්වා දුන්නේය.

විමර්ශනවල යම් අඩුපාඩුවක් තිබුණත් අධිකරණය හමුවේ ඒවාට මැදිහත්වීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ද විනිසුරු මඬුල්ල එහිදී විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කොට ඇති අවි ආයුධ යුද හමුදාවට නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් පෙනි සිටි නීති නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර අභියාචන කාලය අවසන් වූ පසු එම ඉල්ලීමට අවසර දෙන බව විනිසුරු මඬුල්ල පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment