රබර් කිරි බවුසරය ප්‍රපාතයට පෙරළී දෙදෙනෙක් මරුට

1253

අම්බලමහේනේ ඛේදවාචකයක්

කලවාන මතුගම මාර්ගයේ අම්බලමහේන මහා වංගුව පාලම අසලදී (කොඩිප්පිලිකන්ද සමන් දේවාලය අසල) කලවාන දෙස සිට බදුරලිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක් පමණ ප්‍රපාතයක ඇති ඇළකට වැටීමෙන් එහි රියැදුරු හා සහායක මරුමුවට පත්වී එම රබර් සමාගමේ නිලධාරියකු තුවාල ලබා ඇතැයි කලවාන පොලිසිය පවසයි.

ඊයේ (27දා) අලුයම 12.30 ට පමණ සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ රඹුක්කන පදිංචිව සිටි ජානක පැතුම් කුමාර සහ බුලත්සිංහල පදිංචිව සිටි ටී. ප්‍රියන්ත (31) නමැති දෙදෙනා බවත්, ඔවුන් බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයන් දෙදෙනකු බවත් පොලිසිය පවසයි.

තුවාල ලැබූ නිලධාරියා එම රබර් කිරි කර්මාන්ත ශාලාවේ නිලධාරියකු බවත් පොලිසිය කියයි. අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කරගත නොහැකි වී

මාර්ගයේ ලිස්සා යෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඇළට වැටුණු රථය ක්‍රේන් රථ මගින් ඊයේ උදෑසන ගොඩට ගැනීමට උත්සාහ දරමින් තිබිණි.

කලවාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එම්. එන්. කේ. හේරත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුනිල්, පොලිස් සැරයන් අජිත් (42035), පොලිස් සැරයන් රියැදුරු ජයසිංහ (34630) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කලවාන – රණසිංහආරච්චි


advertistmentadvertistment