ජේම්ස් ප්‍රනාන්දු පියාටත් නෝනා බබා විද්‍යාපති මවටත් දාව 1923 මාර්තු 21 වෙනිදා කොට්ටාව පන්නිපිටියේදී නවරත්න සෝමබන්දු ප්‍රනාන්දු උපත ලබයි. පසු කලෙක මොහු සෝමබන්දු යන නමට තම
මවගේ පෙළපත් නාමය එක් කරගනිමින් සෝමබන්දු විද්‍යාපති නමින් චිර ප්‍රසිද්ධියට පත්විය. සෝමබන්දුගේ පියා පන්නිපිටියේ විසූ සම්ප්‍රදායික නැට්ටුවෙකි. සිත්තරයෙකි. මූර්ති ශිල්පියෙකි. ළමා කාලයේදී එකල ප්‍රසිද්ධ විහාර බිතුසිතුවම් අඳින ශිල්පියකු වූ සාර්ලිස් මාස්ටර් පන්නිපිටිය ගමේ පන්සලේ චිත්‍ර අඳිනව දැක තමා තුළද චිත්‍ර ශිල්පියකු වීමේ සිතුවිල්ල සෝමබන්දුගේ සිත තුළ පැලපදියම් වුණි.
ප්‍රවීණ ජනමාධ්‍යවේදී හිටපු පුවත්පත් කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් ලියන ලද ලිපියක සෝමබන්දු පසු කලෙක පවසා ඇත්තේ “තමාගේ ජීවිතයේ මුල්ම වීරයා සාර්ලිස් මාස්ටර්” වුණු වගයි. පසුකාලීනව මොහු චිත්‍ර හා මූර්ති කලාවට අත්පොත් තැබුවේ එකල නර්තන ශිල්පියකු, චිත්‍ර ශිල්පියකු ලෙස තමන් දිනාගෙන සිටි ආතා කෙනකු වූ කොරනේලිස් සිත්තර ගුරුන්නාන්සේගෙන්ය. පන්නිපිටියේ මොරකැටියේ පරමධම්ම විහාරස්ථානයේ චිත්‍ර අඳිමින් සිටි අතර ඒවා දැක බලා ගැනීමෙන් පසුව සෝමබන්දුට චිත්‍ර ශිල්පියකු වීමට ඇති අවශ්‍යතාවය තව තවත් වැඩිවිය. සෝමබන්දු විද්‍යාපති බහුවිධ කලා මාධ්‍යය රැසකට උරුමකම් කියූ අදීන කලාකරුවෙකි. චිත්‍ර ශිල්පියකු, මූර්ති ශිල්පියකු, නර්තන ශිල්පියකු, වේදිකා පසුතල නිර්මාණය කළ කලා අධ්‍යක්ෂවරයකු. වේදිකා නාටක, ඇඳුම් ආයිත්තම්, නිර්මාණ ශිල්පියකු ද, වේදිකා වෙස් නිරූපණ ශිල්පියකු වශයෙන්ද විටින් විට ඒවා තුළ කැපී පෙනෙන චරිතයක් විය.
සෝමබන්දු විද්‍යාපති මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගමේ දෙපානම පාසලෙන්ද පසුව 1930 වසරේ කොට්ටාව ආනන්ද විදුහලයෙන්ද, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලෙන්ද ඉගෙනුම ලැබීය. පසුව 1940 වසරේදී මුල්ම ශිෂ්‍යයා ලෙස පන්නිපිටියේ ධර්මපාල විදුහලට ඇතුළත් වී සිප්සතර හැදෑරීය. එයට අමතරව සෝමබන්දු ගමේ නාඩගම් මඩුවේ දුටු කෝලම් මෙන්ම පිරිත් පිංකම්, ඒවායේ සැරසිලි, උඩරට හා පහතරට නාට්‍ය අංග වෙතද සිත ඇදී ගිය අතර ඒවා විටින් විට නරඹා මහත් ආශ්වාදයක් විදිමත තම කලා ජීවිතය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගත්තේය. මේ නිසාම ඔහු ධර්මපාලයේ ශිල්ප ලබන කාලයේ රඟ දැක්වූ මාර්ටින් වික්‍රමසිංහගේ “රෝහිණී” නව කතාව ඇසුරින් නිෂ්පාදනය කළ නාට්‍යයේ ඔහු රඟපෑවේ එම නාට්‍යයේ වේදිකා සැලසුම් හා වෙස් සැලසුම්, ඇඳුම් ආයිත්තම් ද නිර්මාණය කරමින්ය. පසුව සෝමබන්දු සිතුවම් කලාව ප්‍රගුණ කරන අතරම තම අන් කලා හැකියාවන් වර්ධනය කර ගැනීම උදෙසා චිත්‍රසේන කලායතනයට ඇතුළත් විය. එහිදී ඔහු කථකලී නැටුම් හා වෙනත් ඉන්දීය නර්තන ඉගෙන ගැනීම කළේය.
පසුකාලීනව ඇස්. පී. සකලසූරිය ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ 1945 වසරේ ඉන්දියාවේ කල්කටාවෙහි ශාන්ති නිකේතනය බලා යන්නේ ය. එහිදී ඔහු මහා කවි රබීන්ද්‍රනාත් තාගොර්තුමාගේ මඟපෙන්වීම යටතේ කලා විශාරද නන්දලාල් බොස්ගෙන් චිත්‍ර කලාව හදාරන ලදී. එයට අමතර රාම් කිංකර් යටතේ ප්‍රතිමා, මූර්ති කලාවන් ප්‍රගුණ කළේය.
ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය අවසන් කර ලක්දිවට පැමිණෙන සෝමබන්දු රජයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත නැවත කේරළයේ
‘රැවන්කෝර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දකුණු ඉන්දියානු චිත්‍ර කලාව ද පාරම්පරික කථකලි නැටුම් කලාවද, බිතුසිතුවම් ඇදීම සහ පිටපත් කිරීම ගැනද මනා අවබෝධයක් ලැබ එයින් දෙවසරකට පසු තම මව්බිමට පැමිණෙන්නේය’.
භාරතයේ සිට ලංකාවට පැමිණීමෙන් අනතුරුව සෝමබන්දු විද්‍යාපති සිත්තරා සෘජුවම වේදිකා පසුතල නිර්මාණයට, ඇඳුම් නිර්මාණයට හා වෙස් ගැන්වීමට අත තබනු ලබයි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පබාවතී”,
“හස්තිකාන්ත මන්තරේ”, චිත්‍රසේනයන්ගේ “කරදිය”,
“නලදමයන්ති”, “රාවණා”, “චන්ඩාලි”, “හිමකුමරිය”,
“ගිනිහොරා ප්‍රේමකුමාර එපිටවලගේ “සැළලිහිණි සංදේශය”, “තිත්ත බත”, “සාරහමි”, “දියසේන”,
“දියවන්නා”, මකලොළුවගේ “දෙපානෙද පහතින්”
“පහනට” වැනි නාට්‍යවල පසුබිම් පසුතල නිර්මාණවල ශිල්පියා වූයේ සෝමබන්දු විද්‍යාපතිය. එම නාට්‍යවල මූලික හරය නොනැසන පරිදි තම ශිල්ප හැකියාව දායාද කර දුන් ප්‍රමුඛ පෙළේ ලාංකික ශිල්පියා වනුයේ සෝමබන්දු විද්‍යාපතිය. මේ අතරවාරයේ මොහු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ චිත්‍ර කලා උපදේශක ලෙස පත්වීමක් ලබන්නේය. සෝමබන්දු
විද්‍යාපතිගේ චිත්‍ර කලාව ගැන විචාරයක යෙදෙන සිහිල් එම්. සිරිසේන මෙසේ පවසා ඇත. “සෝමබන්දු විද්‍යාපති අතින් නිම වී ඇති සිත්තම්වලින් නිරූපණය වන්නේ පෙරදිග ඌරුව ගත් නව කලා ආරක ශිල්පියාටම ආවේණික මේ ශෛලිය ගොඩනඟාගෙන ඇත්තේ චීන, සියම්, බුරුම හා ඉන්දීය ආදී පෙරදිග චිත්‍ර කලාවත් අපරදිග චිත්‍ර කලාවත් මනාව අධ්‍යයනය කරමිනි.
සෝමබන්දු චිත්‍රකලාවේ නව ශක්තියක් පෙන්නුම් කරන අතර චිත්‍ර සියල්ලම සප්‍රාණිකබාවයෙන් යුක්තය. සෑම පුද්ගලයකු තුළම ප්‍රකම්පනයක් ඇති කරවන මෙම චිත්‍රවල වර්ණ භාවිතය ද නව ආරක් ගනියි. ඔහු භාවිතා කරන වර්ණ දිස්නයක් නොදෙන අතර නිතර නෙතට නොගැටෙන වර්ණ තමා භාවිතයට ගෙන ඇති වග ඔහුගේ චිත්‍ර මංජරිය දෙස බැලීමේදී අපට පෙනී යන කරුණකි.
මෙයට හොඳම උදාරණයක් ලෙස ප්‍රේම කුමාර එපිටවලගේ සැළලිහිණි සන්දේශයට ඇඳි දෑකැත්තක් රැගෙන රෙද්දක් සහ හැට්ටයක් සහිත ඇඳි ගැමිලිය අපට ගතහැක. ඇඳුරු පැහැයට හුරු බන්ට්සියානා හා දුඹුරු පැහැයන් යෙලෝ ඕචර් වර්ණයන් මුසු කරමින් ඇඳි මෙම චිත්‍රය 1950 අඳින ලද එකකි. එයට අමතරව දෙඅත් දෙපැත්තට දමමින් සැහැල්ලු ඉරියව්වකින් සිටින නැටුම් ශිල්පිනියක් දැක්වෙන දළ රූ සටහන ද ඉතා චමත්කාර ජනක වන අතර තැඹිලි සහ කහ පැහැය මෙයට උපයෝගි කරගත් නිසා බලන්නා තුළ නැවුම් සංකල්පයන් බිහි වේ. තවද අහස් නිලෙහි ප්‍රභේද භාවිතා කරමින් දෙවුර වසාගෙන නර්තන ඉරියව්වකින් සිටින නැටුම් ශිල්පියාගේ ඇත්තේ චාම් හැඩ හා රිද්මය කැටි වූ හැඩතලය. මේ සියල්ලම වේදිකා සම්බන්ධ කරන වස්ත්‍ර නිර්මාණ ලෙස අපට දැක්විය හැක.
70 ව 80 දශකවලට භික්ෂූන් වහන්සේලා දනට වැඩම කළේ පංචතූර්ය වාදනය සහිත අලංකාර වියතක් යටය. සදාතනික ධාතු කරඬුව ගිහියකුගේ හිස මත තබා පාවහන් නොමැතිව වටාපත් දරමින් වියන යටින් භික්ෂුන් වහන්සේලා වැඩම කිරීම එකල සිරිතයි. ගම නාගරිකකරණය වූ පසු ඒ සියල්ල වෙනස් වී ගියේය. මේ බව කලින්ම සෝමබන්ධු සිත්තරාගේ ඉවට දැනුනාක් මෙන් ඉහත කී සිදුවීම ඉතා අපූරු ආකාරයට තෙල් සායමින් නිරූපණය කර ඇත. තැඹිලි පැහැයත් සුදු, නිල්, කොළ පැහැයන් මූලික කරගෙන ඇඳි මෙම චිත්‍රය අද සිටින ජනතාවට එදා භික්ෂුන් වහන්සේලා වැඩි ආකාරය දැනුවත් කරන කැඩපතක් බඳුය. එයට අමතරව මොහු අතින් නිර්මාණය වූ විශාල ගස් දෙකක් අතුරින් ගොවි යුවලක් ද, ගොවියා අසලින් ගොනෙකු ද සියලු දෙනාටම පිටුපසින් බල්ලෙකු යන චිත්‍රය ද ඉතා අගනා සිත්තමකි. අපරදිග ඝනිකවාදී ශෛලියකට ගස් වල අතු ඇඳ ඇත. මානව රූ හා සත්ව රූප තමා ලැබූ ඉන්දීය ශෛලීය මූලික කරගෙන ගොඩනඟා ඇත. කළු, නිල්, කහ, සුදු මිශ්‍ර රඹ සහ පච්ච වර්ණයෙන් නිර්මාණය වී ඇත.
එමෙන්ම ප්‍රංශයේ මොනාබ්‍රිස්මාර්ක් පදනම මගින් පැවැත් වූ සමූහ ප්‍රදර්ශනයට සෝමබන්දු විද්‍යාපති ශූරීන්ගේ “ගැමි දර්ශනය” නම් චිත්‍රය තෝරාගත්තේය. ගමක් මැදින් යන ඉතා අලංකාරයට සැරසූ බර භාගයක් දැක්වෙන අතර ඒ අසලින් කාන්තාවන් දෙදෙනෙක් ද ඔවුන්ගේ හිස මත විශාල එළවළු හෝ පලතුරු පිරවූ වට්ටිද පෙන්නුම් කෙරේ. ගැළ පිටුපසින් අලංකාර ඇඳුමක් ඇඳගත් කොළු ගැටයෙක් යන අතර තෙලි පහරින් සියුම් ඉරි සැකසෙන සේ පියකරු වර්ණ සංකලනය කරමින් මෙම චිත්‍රය ශෝභාමත් කර ඇත.
විචාරකයන්ගේ ඒකමතික තීරණයට අනුව සෝමබන්දුගේ චිත්‍රකලා ජීවිතයෙහි ස්වර්ණමය යුගය වශයෙන් අපට ගත හැක්කේ බෙල්ලන්විල විහාර සිතුවම්ය. ඇල්බට් ධර්මසිරි සම්පාදනය කළ බෙල්ලන්විල බිතුසිතුවම් නම් ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි සෝමබන්දු චිත්‍ර නිර්මාණ බෞද්ධ බිතුසිතුවම් කලා ඉතිහාසයේ අග්‍රගණ්‍ය පිටුවක් පෙරළයි. බෙල්ලන්විල රජමහ විහාරයේ මුලින් දක්නට ලැබුණේ සාර්ලිස් පරම්පරාවෙන් පැවත එන්නා වූ වැලිගම පී. ලිවේරිස් විසින් ඇඳි බිතු සිතුවම්ය. පසුව 1993 දී බෙල්ලන්විල විමලරතන හිමිගේ ඉල්ලීම පරිදි මේ භාරදූර කාර්යය සෝමබන්දු විද්‍යාපති ශූරීන්ට පැවරීය.
වෙන් වෙන් වශයෙන් ඒකාකාරී ශෛලියකට මෙම චිත්‍ර සමූහය ඇඳි නිසා අනිත් බිතු සිතුවම්වලට වඩා වෙනස් බවක් දක්වයි. බුදු සිරිතේ අවස්ථා, වැදගත් සිදුවීම් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ බුද්ධකාලීන සිතුවම් බෙල්ලන්විල විහාරයට සම්බන්ධ සිද්ධීන් ටෙම්පරා ක්‍රමයට සිතුවම් කර ඇත.
බෙල්ලන්විල විහාරයේ දක්නට ඇති මේ බිතු සිතුවම් අතර සම්මතයෙන් ඔබ්බට ගොස් සෝමබන්දු විද්‍යාපති ශූරීන් සිතුවම් නිර්මාණය කර ඇත. සතර පෙර නිමිති දක්වන තැන මහල්ලෙකු අංග විකල වූ දරුවකු මළකඳ ඔසවාගෙන සිටින අයුරු නිරූපිතය.
සෝමබන්දු ශූරීන් මාරපරාජය සිතුවම නිර්මාණය කළ අයුරු මෙසේ දක්වා ඇත. “පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීම් අනුව මාර යුද්ධය කියන අදහස වෙනස් කරලා දස මරුන් පරදා කියන තේමාව මතයි මා එය නිර්මාණය කළේ ‘දසමරුන් කියන්නේ තණ්හාව, ආශාව, මමත්වය, බිය, සැක වගේ මිනිස් සිතේ ඇතිවන දේවල්” වල දුර්වලකම් වලටයි. මෙම කොටස සෝමබන්දු ප්‍රකාශ කර තිබුණේ 1997 ජූනි 21 “දිවයින” පුවත්පතේ පළ වූ බෝමැඩ අභියස පෙළහර නම් ලිපියටයි.
මාර්ටින් වික්‍රමසිංහ වරක් චිත්‍රය වර්ණයෙන් කරන ලද කාව්‍යයක් ලෙස සඳහන් කර ඇත. එම සිතුවම් දෙස බැලීමේදී මාර්ටින් වික්‍රමසිංහ කළ ප්‍රකාශය වඩාත් ගැළපෙන්නේ බෙල්ලන්විල බිතු සිතුවම් සමූහයට බවයි.
1968 වර්ෂයේ සෝමබන්ධු සිත්තරා පවසන හැටියට “මගේ චිත්‍රවලින් කාව්‍යමය ලක්ෂණ මතුකරවන්නැයි මම කැමති සිද්ධි මාලාවක්ද එකට පෙනී සිටින විදිහේ චිත්‍ර වලටයි මම කැමති. යම් කිසිවක් කාරණයක් චිත්‍රයකට නැඟුවහම ඒක තනි කවියක් වගෙයි කියලා කියන්න පුළුවන් සිද්ධි කීපයක් එකට ගෙතුනු විදිහට ඇඳෙන චිත්‍රය සම්පූර්ණයෙන් කාව්‍යයක් වගෙයි” යනුවෙන් 1968 ජූනි 23 සරසවිය පුවත්පතට පවසා ඇත.
නැටුම් ශිල්පියකු වුණු නිසා සෝමබන්දුගේ චිත්‍රවල කිසියම් රිද්මයක් ඇති වග බොහෝ විචාරකයෝ පවසති. බෙල්ලන්විල විහාරයේ ඇඳ ඇති “අංගුලිමාල දමනය” එයට හොඳම උදාහරණයක් ලෙස අපට ගත හැක. තවදුරටත් සෝමබන්දු පවසන හැටියට “මගේ චිත්‍රවලට රිද්මයක් ලැබෙන්න හේතුව මම නැටුම් ශිල්පියෙක් වීමයි. මේ නිසා ශරීර අංගෝපාංගවල චලනය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා” සෝමබන්දු කියා ඇත.
මූර්ති කලාව ප්‍රගුණ කළ සෝමබන්දු විශිෂ්ඨ ගණයේ මූර්ති ශිල්පී තිස්ස රණසිංහයන් හා සමතැනක තිබිය හැකි සෝමබන්දුගේ විශිෂ්ඨතම මූර්තියක් ලෙස කොළඹ 07 තුන්මුල්ල හන්දියේ පිහිටා ඇති ලක්සල භූමිභාගයේ ඉදිකර ඇති තොළුවිල බුදුපිළිමය සිහිගන්වන සමාධි ධ්‍යානයකට සමවැදී සිටින අයුරින් සුදු පැහැය වර්ණාලේපිත කර ඇති සමාධි බුදු පිළිමය අපට ගත හැක.
බෙල්ලන්විල රජමහා විහාරය හැරුණු කොට සෝමබන්දු සිත්තරා ඇඳි චිත්‍ර සහිත විහාරයක් ඇති බව දන්නෝ විරල වෙතැයි මම සිතමි. එම විහාරය නම් අම්බල්නගොඩ ශ්‍රී විජයාරාමයයි. එහි විශේෂත්වය වනුයේ දැව පෘෂ්ඨයක් මත චිත්‍ර ඇඳ තිබීමයි. තවද කතරගම කිරිවෙහෙර හා සෝමාවතී වෙහෙර යන චෛත්‍යවල ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ එහි ගර්භයේ නිධන් කිරීම සඳහා පිඟන් ගඩොල් මත සිතුවම් නිර්මාණය කිරීමෙන් දායකත්වය ලබා දුන්නේ මෙම සිත්තරාය.
එයට අමතරව සෝමබන්දු සිත්තරා රුසියාවේ පැවැත්වූ කලා උළෙලකට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඒ වගේම ලන්ඩනයේ තේ මධ්‍යස්ථානයේ සෝමබන්දු චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වමින් ජගත් කීර්තියට පත් විය. ඒ වගේම “වෙසතුරා සිරිත” චිත්‍රපටියේ කලා අධ්‍යක්ෂ වශයෙන් කළ වෙස් ඇඳුම් සහ පසුතල නිර්මාණයන් ද ඉතා මනරම්ය. නිර්මාණාත්මකය.
සෝමබන්දු විද්‍යාපති අවුරුදු 82 ක් ආයු වළඳා 2006 පෙබරවාරි 18 වන දින අප අතරින් සදහටම වෙන් වී ගියේය.
චන්දන රණවීර
හිටපු චිත්‍ර උපදේශක
ව/ගිරි/අලව්ව මහරච්චිමුල්ල කන්දේගෙදර මහ විදුහලේ