යුක්රේන යුද්ධය තාවකාලිකව නතර කරලීම සඳහා රුසියාව විසින් ඉදිරිපත් කර ඇති තෙදින ඒකපාර්ශ්වීය සටන් විරාමය ඊයේ (08) දිනයේ ආරම්භ වීමෙන් පසු රුසියානු ගුවන් හමුදාව විසින් යුක්රේනයේ සුමි කලාපයට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් එය උල්ලංඝනය කර ඇති බවට යුක්රේනය විසින් චෝදනා කර තිබේ. යුක්රේන බලධාරීන්ට අනුව අදාළ සටන් විරාමය ඇරඹීමෙන් පසු පෙරේදා (07) මධ්‍යම රාත්‍රියේ සිට රුසියානු ගුවන් හමුදාව විසින් උතුරුදිග යුක්රේනයේ පිහිටි සුමි කලාපයට තෙවරක් බෝම්බ ප්‍රහාරයන් එල්ල කර තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඉදිරිපත් කර ඇති තෙදින සටන් විරාමය මැයි මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර එය ඉදිරිපත් කර ඇත්තේ රුසියාව විසින් දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පැරදවීමේ 80 වැනි සංවත්සරයට සමගාමීව ය.
මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ තමා ඇමරිකාව විසින් යුක්රේන යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කර ඇති දින 30ක සටන් විරාමය වෙනුවෙන් පෙනී සිටින බවයි.