කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා.
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනු අබද්ධිත සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල් ට්‍රිලියන 2.999 ක් දක්වා වර්ධනය වූ බවයි.
කාර්තුව සඳහා දල ආදායම රුපියල් බිලියන 88.10 ක් දක්වා 9.85% කින් වර්ධනය වී ඇති අතර පොලී ආදායම රුපියල් බිලියන 72.60 ක් දක්වා 3.14% කින් වර්ධනය වී ඇත. පැවති අඩු අනුපාත හේතුවෙන් බැංකුවේ වගකීම් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලී වියදම් රුපියල් බිලියන 38.38 ක් දක්වා 10.09% කින් අඩු වීම නිසා සමාලෝචනය කරන ලද මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම 23.53%ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 34.21 ක් විය.
මුළු මෙහෙයුම් ආදායම 33.40% කින් වර්ධනය වී රුපියල් බිලියන 46.62 ක් වූ නමුදු හානිපූර්ණ ගාස්තු හා අනෙකුත් පාඩු සඳහා සමූහයේ වෙන් කිරීම් 110.44% කින් රුපියල් බිලියන 7.23 ක් දක්වා වැඩි කරන ලදී. මෙහිදී තනි තනිව සැලකිය යුතු ගනුදෙනුකරුවන් සඳහා විචක්ෂණශීලී පදනමක් මත සිදු කරන ලද අතිරේක ප්‍රතිපාදන හේතුවෙන් බැංකුවේ දුර්වල ණය (අදියර 3) අනුපාතය ශක්තිමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 39.39 ක් වූ අතර එය 25.00%ක වර්ධනයකි. මෙහෙයුම් වියදම් 6.20%ක අඩු වර්ධනයක් සමඟ රුපියල් බිලියන 12.80 කට සීමා කර ගැනීමට සමූහයට ඇති හැකියාව හේතුවෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 26.59 ක් දක්වා 36.64% කින් වර්ධනය විය.
මූල්‍ය සේවා සඳහා වන බදු 48.18% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.03 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා සමූහයේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 22.56 ක් විය. එය 34.77% ක වර්ධනයකි. ආදායම් බදු 27.92% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.58 ක් වීම හේතුවෙන් සමාලෝචනය කරන ලද කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.97 ක් වූ අතර එය 38.52% ක වර්ධනයකි.
වෙනමම ගත් විට කොමර්ෂල් බැංකුව පමණක් මාස තුන සඳහා බදු වලට පෙර රුපියල් බිලියන 21.88 ක ලාභයක් සහ බදු වලට පසු රුපියල් බිලියන 14.50 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පිළිවෙළින් 35.10ක හා 38.71% ක වර්ධනයකි.